රන්ජන්ගේ ප්‍රකාශය ගැන සොයන්න කමිටුවක් | දිනමිණ

රන්ජන්ගේ ප්‍රකාශය ගැන සොයන්න කමිටුවක්

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙහි සිටින බවට රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත්කළ බව සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇති අතර රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආෂු මාරසිංහ,මහත්වරුද නීිති ලේකම් ලෙස නිශ්ශංක නානායක්කාර මහතාද මේ කමිටුව නියෝජනය කරන බවත් සභානායකවරයා සඳහන් කෙළේය.

රන්ජන් රාමනායක මහතා සිදුකර ඇති මේ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ ලෙස පරික්ෂණ ආරම්භ කර ඇති අතර කතානායකවරයාටත් වෙනම විමර්ශනයක් සිදුකළ හැකි බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නම් සඳහන් කිසිඳු ලැයිස්තුවක් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා විසින් අගමැතිවරයාට, කතානායකවරයාට, එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාට , රහස් පොලිසිය හෝ වෙනත් කිසිවකු වෙත ලබාදී නොමැති බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කෙළේය.

එබැවින් රන්ජන් රාමනායක මහතා විසින් සිදුකර ඇති මේ බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා මේ කමිටුව එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ බවත් සභානායකවරයා පැවැසීය. රන්ජන් රාමනායක මහතා විසින් සිදුකර ඇති මේ ප්‍රකාශය හේතුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දෙනාගේම ගෞරවයට හානියක් වන බවත් මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙසත් සඳහන් කරමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කළ කරුණු වලට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා සිදුකර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (20) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ද වැඩි අවධානයක් යොමුකළ බවයි

එම අවස්ථාවේදී මුල‍සුනේ සිටි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කිසිඳු මහජන නියෝජිතයකුගේ නමක් කතා‍නායකවරයා වෙත ලබාදී නොමැති බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරු 24ක් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට බරපතළ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. කතානායකවරයා වෙත මෙම නම් රන්ජන් රාමනායක මහතා විසින් ලබාදි තිබේනම් ඒවා හෙළි කරන්න. මොකද මේ අය ගැන රට දැනගත යුතුයි. ඒ අය කව්ද කියා‍ හෙළි නොකළොත් අනෙක් සියළු මැති ඇමතිවරුන්ට සිදුවන්නේ බරපතල අසාධාරණයක්. ‍

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා(එජනිස)

මේ වනවිට එස් එම් එස් එනවා, මේ සම්බන්ධයෙන් ‍සොයා බැලීම සඳහා අමාත්‍ය කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව. මෙය බරපතල ප්‍රකාශයක්. සමස්ථ පාර්ලිමේන්තුවටම එල්ල වී ඇති මේ චෝදනාව නිරාකරණය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. සමස්ත පාර්ලිමේන්තුවම ඩී එන් ඒ පරික්ෂණයකට ලක්කර හෝ මේ ගැන විමර්ශන සිදුකරන්න.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා

පාර්ලිමේන්තුවම ඩී එන් ඒ පරික්ෂණයකට ලක්කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා 24 දෙනා‍ ගැන පමණක් පරික්ෂාවට ලක් කරන්න. කොකේන් කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති අය ඉන්නවා.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදීත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. හෙළිදරව් වූ තොරතුරු අනුව මේ අයගේ නම් අගමැතිතුමාට, කතානායක තුමාට, පක්ෂයේ සභාපතිතුමාට, රහස් පොලිසියට, හෝ වෙන කිසිවකුට ඉදිරිපත් කර නැහැ. මෙය බරපතල ප්‍රකාශයක්. ‍ඒ නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට මගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළා. රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර යන පිරිස එම කමිටුව නියෝජනය කරනවා. අපි ඉතාමත් ඉක්මනින් මේ ගැන වාර්තාව ලබා දෙනවා. ඒ පරික්ෂණය කරන්නේ එක්සත් ජාතික පෙරමුණ ලෙසයි.ඊට අමතරව කතා‍නායකවරයාටත් පියවර ගතහැකියි.

ඇමති රවී කරුණානායක මහතා

සාමාන්‍යයෙන් මේ මන්ත්‍රීවරයා එවැනි ප්‍රකාශ කරනවා. මෙවැනි ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ සිදුකරමින් ජනප්‍රියත්වය අපේක්ෂා කරනවා. ඒ නිසා මෙහෙම නම් තිබෙනවාද කියා‍ ප්‍රථමයෙන් මේ සභාවට හෙළිකරන්න. නැත්තම් අපි සියලු දෙනාම විහිළුකාරයෝ වෙනවා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි

එවැනි නම් ලැයිස්තුවක් රන්ජන් රාමනායක මහතා විසින් ලිඛිතව ලබාදී නොමැති බව කතානායකවරයා සඳහන් කළා. මම මේ බව සඳහන් කරන්නේ වගකීමෙන් .

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා(එජනිස)

එතුමා කියනවා , තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවට.ඒ නිසා‍ ඉල්ලා අස්කර නොගන්නේ නම් එහි වගකීම එතුමා භාරගන්නවා.

නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා

අපිත් මෙය අනුමත කරන්නේ නැහැ. රන්ජන් රාමනායක මහතාගේ වගකීම තමයි, අපේ පක්ෂයේ වුනත් මේ ගැන ‍කියන්න ඕන. එතුමා එහෙම දෙයක් කියනවා නම් එි නමිටික හෙළිකිරිම එතුමාගේ වගකීමක්.මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගත්තා‍. ඒ හරහා කරුණු රැසක් අනාවරණය ‍වෙමින් තිබෙනවා.‍ මේ කරන්නේ හෙළිදරව් වසාගන්නට කරන කොන්ත්‍රාත්තුවක්ද.මේ මඟින් අපේ පාර්ලිමේන්තුව හෑල්ලු වෙනවා‍.

නව අදහස දක්වන්න