හැඩවින්නේ මිනිස්සු වතුර ප්‍රශ්නයකට පාරට බසිති | දිනමිණ

හැඩවින්නේ මිනිස්සු වතුර ප්‍රශ්නයකට පාරට බසිති

ලුණම සමූහ සනත් ගමගේ අම්බලන්තොට සමුහ රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

මාර්ග අලුත්වැඩියා කටයුතුවල දී තම පානීය ජල නල පද්ධතිය යටවීම හේතුවෙන් අම්බලන්තොට හැඩවින්න පවුල් 432ක් පානීය ජල හිඟයෙන් පීඩා‍ විඳිති. නව නල පද්ධතියක් එලන්නැයි අදාළ කොන්ත්‍රාත් සමාගමට හා මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා සිටියත් වසර දෙකක් ගත වනතුරු එය ඉටු නොකිරීම නිසා මේ පිරිස් නෝනගම ඇඹිලිපිටිය මාර්ගය හරස් කරමින් ඊයේ (20) විරෝධතාවක නියැළුණාහ.

විරෝධතාකරුවන් කියා සිටින්නේ මීට අවුරුදු 3ක පමණ පෙර ජලනල පද්ධතිය සකසා දෙන බව පවසමින් මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මාර්ගය සකස් කළත් මේ වන තුරු කිසිදු ආකාරයක සොයා බැලිමක්වත් සිදු නොකළ බවයි. මාර්ගය කාපට් කිරීමේ දී ජලනල පද්ධතියේ කොටසක් යටවීම හේතුවෙන් එම නල පිරිසුදු කිරිමට හැකියාවක් නැති කමින් කළුපාට ජලය පානය කිරීමට සිදුවන බව ද ජනතාව පැවසූහ. අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් විජේගුණරත්න මහතාගේ මැදිහත් වීමෙන් මාර්ග සංවර්ධන අධිකාරීයේ සහ අදාළ කොන්ත්‍රාත් සමාගමේ නි‍ලධාරීන් කැඳවා අද සිට පානීය ජලනල මාර්ග අලුත්වැඩියා කරන බවට ජනතාව වෙත ලබා දුන් ‍පොරොන්දුවෙන් පසු මාර්ගය විවෘත කරමින් විරෝධතාව අවසන් විය. විරෝධතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් නෝනාගම සිට ඇඹිලිපිටිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබිණි.

ඡායාරුපය- අම්බලන්තොට සමුහ


නව අදහස දක්වන්න