බදුල්ලට අලුත් මල් වගා ව්‍යාපෘතියක් | දිනමිණ

බදුල්ලට අලුත් මල් වගා ව්‍යාපෘතියක්

බණ්ඩාරවෙල සමූහ ආනන්ද හපුගොඩ

සිතට සතුටත් - අතට ධනයත් ලබා දෙමින්, සොබාදහමේ දායාද අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ අරමුණින් බදුල්ල නගරයේ දී ඉකුත්දා ජීවන සහයෝගිතා මධ්‍යස්ථානය ආරම්භ විය.

විසිතුරු පැළ හා මල් වගාව, කාබනික පොහොර නිෂ්පාදනය, බිම්මල් වගාව, කාබනික එළවළු හා පලතුරු වගාව, උද්‍යාන අලංකරණය, ව්‍යාපාරික ඇන්තූරියම් වගාව හා ඕකිඩ් වගාව මෙම මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක ව්‍යාපෘති අතර වේ.

එමෙන්ම විසිතුරු පැළ හා මල් වගාව ව්‍යාප්ත කිරීම, කාබනික වගාවන් හරහා නව නිෂ්පාදන ඇති කිරීම, නව ඇන්තූරියම් වගා ප්‍රභේද ව්‍යාප්ත කිරීම, වගාවන් සඳහා කාබනික දියර පොහොර හුරු කිරීම, වස විසෙන් තොර ජීවන රටාවක් ගොඩනැගීම, වස විසෙන් තොර පලතුරු නිෂ්පාදනය හා පරිභෝජනයට හුරු කිරීම, ගෘහ ආශ්‍රිත රැකියා අවස්ථා ඇති කිරීම, කෘෂිකාර්මික හා තාක්ෂනික ශිල්පීය දැනුම ප්‍රවර්ධනය, කෘෂි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳපොළ බිහි කිරීම හා ශ්‍රී ලාංකීය ජෛව විවිධත්වය සුරක්ෂිත කිරීම මෙම මධ්‍යස්ථානයෙන් සිදු කරන කාර්යයන් අතර වේ.

මෙමඟින් නව රැකියා අවස්ථා උදා කිරීම, කෘෂි ආශ්‍රිත නව තාක්ෂණික දැනුම ලබා ගැනීම, නව මල් හා පැළ ප්‍රභේද ලබා ගැනීමේ හැකියාව, නිසි ප්‍රමිතියානුකූල නිෂ්පාදන වෙළෙඳපොළ සඳහා යොමු කිරීම, ස්ථාවර වෙළෙඳපොළක් සඳහා නිෂ්පාදන ලබාදීමේ හැකියාව, සාධාරණ මිල ගණන් යටතේ නිෂ්පාදන ලබාදීමේ හැකියාව, සොබාදහමේ ආශ්චර්යයන් භුක්ති විඳීමේ අවස්ථාව හා පරිසරය සමඟ සතුටින් හා නිරෝගී බවින් පිරිපුන් ජන කොටසක් වශයෙන් ජීවත්වීමේ අවස්ථාව හිමිවීම ජනතාවට ලැබෙන ප්‍රතිලාභ වේ.

බදුල්ල, ගඟබඩ මාවතේ කොස්ගස් හන්දිය අසළ පිහිටා ඇති ජීවන සහයෝගිතා මධ්‍යස්ථානයේ ව්‍යාපෘති කළමනාකරු වශයෙන් දිමුතු සම්පත් රාජපක්ෂ මහතා ද, ව්‍යවසායකත්ව සංවර්ධන කළමනාකරු ලෙස එස්.එම්.ගුණවර්ධන මහතා ද, ආරක්ෂන සේවා උපදේශන කළමනාකරු ලෙස ඊ.ඩබ්. එස්.ජී. වඩුගේ මහතා ද කටයුතු කරති.

 

ඡායාරූප:- බණ්ඩාරවෙල සමූහ

නව අදහස දක්වන්න