මොනරාගල ගොවියෝත් අර්තාපල් වවති | දිනමිණ

මොනරාගල ගොවියෝත් අර්තාපල් වවති

  •  අත හිත පිරෙන සරු අස්වැන්නක්
  •  වගාව ප්‍රචලිත කරන්න කෘෂිකර්මයෙන් 50%ක දායකත්වය

වැල්ලවාය විශේෂ ආර්. ගරුසිංහ

අපට නිෂ්පාදනය කළ හැකිව තිබිය දී පිටරටින් ගෙන්වන ආහාර බෝග ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ අර්තාපල් වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගිය දා ක්‍රියාත්මක කළේය.

මෙම වැඩසටහනේ නියමු ව්‍යපෘතියක් බඩල්කුඹුර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයට අයත් හිඟුරුකඩුව කොට්ඨාසයේ වසම් හතරක ක්‍රියාත්මක කළ අතර එම ආදර්ශනවල අස්වනු නෙළීම ඉකුත් දා (12) මොනරාගල කලාපය භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්. ඒ. සෙල්ලහේවා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අර්තාපල් වගාව දේවතුර , මියනකඳුර, ඇත්පට්ටිය, කැලිවැස්ස යන වසම්වල ආදර්ශන ආකාරයට ආරම්භකර තිබූ අතර ඒ සෑම වගාවකින්ම සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙන අයුරුදක්නට ලැබුණි.

මේ සඳහා අවශ්‍ය බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවින්ට නොමිලේ ලබා දී තිබූ අතර පුහුණු වැඩසටහන්, දැනුම හුවමාරු කර ගැනීම හා අත්දැකීම් බෙදා හදා ගැනීමට වැලිමඩ බොරලන්ද ප්‍රදේශයේ පුහුණූ අල ගොවීන් පිරිසක් සම්බන්ධකර තිබුණි .

නව වගාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැලිවැස්ස, කෙහෙල් අගල ප්‍රෙද්ශයේ පදිංචි ගොවි මහතෙකු වන ඩි. එම්. ටිකිරිබණ්ඩා මහතා මෙසේ කීය.

මම එළවලු හිටවන නිසා කෘෂිකර්ම උපදේශක මහත්තයා ඇවිත් ඇහුවා අර්තාපල් හිටවන්න කැමති ද කියා. ගෙදරට ගෙනා අලවලින් පැළවුණු අලයක් දෙකක් හිටවලා තිබුණ නිසා මටත් අර්තාපල් වවන්න කිව්වම ලොකු ආසාවක් ඇති වුණා. මාස දෙක හමාරක් විතර යනකොට අස්වැන්න ගන්න පුළුවන් වෙයි කියාත් ඔහු කිව්වා. වැලිමඩ එක්කගෙන ගිහින් අපිට පුහුණුව දුන්නා. බිජ ටික ගෙනල්ලා දුන්නා. ඒ මහත්වරු කියන තාලෙට අපි වගාව කළා. එතුමලාට පින්සිද්ධවෙනවා. අර්තාපල් කවදාවත් මේ පැත්තේ අය හිටවලා තිබුණේ නෑ. ලබන කන්නෙත් මම අනිවාර්යෙන්ම අර්තාපල් හිටවනවා. ඒ වගේම ගමේ තව අයටත් මේ වගාව කරන්න කියා කියනවා. පවුලේ කිහිපදෙනා එකතුවෙලා කරනවානම් මේ අල වගාවෙන් හොඳ ලාභයක් ගන්න පුළුවන් .

දේවතුර පදිංචි ඒ. එම්. ආරියවංශ ගොවි මහතා -

අපි කාලයක් තිස්සේ වගාකරනනේ බොංචි, තක්කාලි, වම්බටු, මිරිස් වගේ දේවල්, අල හිටවලා තිබුණේම නෑ . කෘෂිකර්මේ මහත්තයා ඇවිලාල, කිව්වා අල වවන්න කැමති ද කියා. අපි කැමති වුණා . අපිට අවශ්‍ය දැනුම පුහුණුව දුන්නා. නිලධාරී මහත්වරු ගොඩාක් ඇවිත් පුහුණූ වැඩසටහන් කළා. මාස දෙකක් විතර යනකොට අල බැස්සා. අපි නොවැම්බර් මාසේ තමයි හිටෙව්වේ. මේ වගාව ලබන කන්නෙත් කරන්න දැන්නම් අපිට හිතිලා තියෙන්නේ .

මියනකඳුර පදිංචි බි. ජී. කිරිවන්තේ ගොවි මහතා- බෝංචි, තක්කාලි වගා කර කර හිටපු මට අර්තාපල් හිටවන්න කිව්වම මුලදි පොඩි බයකුත් ඇති වුණා . මේක හරියයි ද දන්නේ නෑනේ. නමුත් කෘෂිකර්ම උපදේශක මහත්තයා නිරන්තරයෙන් ඇවිල්ලා උපදෙස් ලබා දුන්නා. වගාව හරිම සාර්ථකයි. ලබන කන්නෙත් අල හිටවන්න තමයි බලාපොරොතුවෙන්නේ. මේ පැත්තේ කවුරුවත් මේ අල වවන්න දන්නේ නෑ. එම මාස් කන්නේදි ගමේ තවත් අයට මේ වගාව කරන්න කියන්න ඕනේ.

වසම භාර කෘෂිකර්ම උපදේශක කේ. ඩි. එම්. දුමින්ද ප්‍රේමලාල් මහතා- මොනරාගල දිස්ත්‍රික්කයේ විවිධ දේශගුණික ප්‍රදේශ තියෙනවා. වැලිමඩ නුවර එළිය ප්‍රදේශවල තියෙන සීතල ගතියක් මේ පැත්තේ ඇතැම් ස්ථානවල තිබෙනවා. මේ නිසා නිසා අර්තාපල් වගාව අත්හදා බලන්න ඕන කියලා හිතුනා . ඒ අනුව කොට්ඨාසයේ අපි වසම් හතරක් තොරා ගත්තා. මේ සම්බන්ධයෙන් නියෝඡ්‍ය අධ්‍යක්ෂ තුමා දැනුවත්කළාම එතුමා කිව්වා ආදර්ශනයක් හැටියට පටන් ගන්න කියා. විෂයභාර නිලධාරී ඩබ්ලිව්. ඩි. ලුමින්ද මහත්තයාට මේ සම්බන්ධයෙන් මතක් කළාම එතුමා යටතේ ක්‍රියාත්මක වන අල බෝග ප්‍රවර්ධන ව්‍යපෘතියෙන් මේ ගොවීන් හතරදෙනාට බිඡ අර්තාපල් කිලෝ 200ක් ලබා දුන්නා .

මෙම ගොවීන් වැලිමඩ බොරලන්ද ප්‍රදේශයට රැගෙන ගිහින්, එහි අල ගොවීන් සම්බන්ධ කර පුහුණූව ලබා දුන්නා. කෘෂිකර්ම දෙපාර්තමේතුවේ සියලු නිලධාරීන් ප්‍රධානීන් සමඟ ක්ෂේත්‍ර දිනයක් වගේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා. දැනට අපිට පේන විදිහට මේ වගාව මේ ප්‍රදේශයට ගැළපෙනවා. අර්තාපල් වගාවේ අස්වනු නෙළීම සඳහා මාස තුනක් ගත වුණත් මේ ප්‍රදේශයේ මාස දෙකෙන් දෙක හමාරෙන් අස්වැන්න ගලවන්න හැකිවෙලා තිබෙනවා. ඉදිරියේ දී මේ වගාව ගොවීන් අතර ජනප්‍රිය කරන්න අපි බලාපොරොතුවෙනවා. 50% දායකත්වය යටතේ ඉදිරි මාසේ කන්නයේ දී තවත් විශාල පිරිසක් අතර මෙම වගාව ව්‍යාප්ත කරන්න කටයුතු කරනවා.

අර්තාපල් වගාව මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රචලිත කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රක් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්. කේ. පි. ජයලත් මහතා මෙසේ කීය.

අපිට නිෂ්පාදනය කරනන පුළුවන් ආහාර බෝග පිටරටින් ගෙන්වීම අඩුකිරීම යටතේ නව බෝග ප්‍රදේශවලට හදුන්වාදීම සිදුකරගෙන යනවා. ඒ අතරදි තමයි අපි මෙම අර්තාපල් වගාව මෙම හිඟුරුකඩුව හා මැදගම ආශ්‍රිතව හඳුන්වාදීම සිදුකළේ . මේ වනවිට අපේ රටේ අර්තාපල් නිෂ්පාදනය 05% - 10% අතර ප්‍රමාණයක්. මේ නිසා වගාව විශාල වශයෙන් ව්‍යාප්ත කිරීමේ ඉඩකඩ තියෙනවා. එහි ආදර්ශනයක් හැටියට අපි ක්‍රියාක්මක කළ මෙම වැඩසටහනේ සාර්ථකත්වයක් තියෙනවා කියා නිලධාරීන් වගේම ගොවියනුත් කියනවා. අර්තාපල් මොනරාල දිස්ත්‍රික්කයේ සුදුසු ප්‍රදේශවල හදන්න පුළුවන් නම් ඉදිරියේ දී ගොවීන් මේ වගාව සඳහා අනිවර්යෙන් ම යොමු වෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ සඳහා දෙපාර්තමේන්තුවක් විදිහට අපි උපරිම සහයෝගය ලබා දෙනවා. අපේ ප්‍රධාන අරමුණ නව වගාවන් ගොවීන් අතර ප්‍රචලිත කිරීමයි .

 

නව අදහස දක්වන්න