වාර්තාගත තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සැරසෙයි | දිනමිණ

වාර්තාගත තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සැරසෙයි

දෙවැනි ටෙස්ට් තරගය අද පෝර්ට් එලිසබෙත්හිදී ඇරඹෙයි

පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරමින් ටෙස්ට් තරගාවලියේ පෙරමුණේ සිටින සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිනා ගත් ජයග්‍රහණය රැක ගැනීමේ ඒකායන අරමුණින්ද, අනපේක්ෂිතව ලද පරාජය යළිත් ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගනිමින් තරගාවලියට යළිත් ජයග්‍රාහීව පිවිසීමේ ස්ථිර අදිටනින් යුතු සත්කාරක දකුණු අප්‍රිකානු පිල දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා අද (21 දා) පෝර්ට් එලිසබෙත්හි ශාන්ත ජෝන් පාක් ක්‍රීඩාංගණයට පිවිසෙති. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30 ට ආරම්භ වනු ඇත.

ඉකුත් වසර කීපය පුරාම පරාජයන්වලින් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමටනොතිබූ ජයග්‍රහණයකට ශ්‍රී ලංකාව කැඳවාගෙන ගිය කුසල් පෙරේරා, සුපිරි වීරයෙක් බවට පත්වූ ඩර්බන්හි තරගයේදී ලද එක් කඩුල්ලේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම සීඝ්‍ර ඉහළ යෑමකට ලක්ව තිබීම කණ්ඩායමක් වශයෙන් සුභ ලකුණක් ලෙසින් සඳහන් කළ හැක.

වර්ණභේදවාදය හේතුවෙන් 21 ක් වසරක් දකුණු අප්‍රිකාව තුළ ක්‍රිකට් ක්‍රීඩා නොකළද ඔවුන්ගේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය 1898 වසර දක්වා ඈතකට විහිදී තිබේ. එවන් ඉතිහාසයක් ඇති දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමේදී පරාජය කිරීමට සමත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය පමණි. ඒ අනුව මේ වන විටත් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටින දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරගාවලියකදී දකුණු අප්‍රිකාව ඔවුන්ගේ මව්බිමේදී පරාජයට පත් කිරීමට සමත් තෙවැනි රට බවට පත්වීමට ආසන්නතම අවස්ථාවක් පවතියි.

මෙහිදී ජයග්‍රහණයට වඩා ඉහත සඳහන් කළ පරිදිලබා සිටින ජයග්‍රහණය රැක ගැනීම ප්‍රමාණවත් වනු ඇත. තවත් විදියකින් පවසන්නේ නම් අද ආරම්භ වන ටෙස්ට් තරගය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වුවහොත් එකී ඓතිහාසික අවස්ථාව ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලියැවෙනු ඇත. එමෙන්ම මෙතෙක් ටෙස්ට් තරග අංශයට අඩුපාඩුවක්ව පැවැති පරිණත නායකයකුගේ ගැටළුවද නිරාකරණය වනු ඇත.එහෙත් ශාන්ත ජෝන්පාක්හි අවසන් වසර 20 ක ටෙස්ට් තරග ඉතිහාසය ගෙන බැලීමේදී ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත්තේ අවස්ථා 2 කදී පමණකි.

අද තරගය පැවැත්වෙන ශාන්ත ජෝන් පාක් තණතීරුව, පළමු තරගය පැවැති තණතීරුවටත් වඩා දඟ පන්දු යවන්නන්ට සහයෝගයක් දැක්වීම ශ්‍රී ලංකාවට වාසි දායක තවත් කරුණකි. පෝර්ට් එලිසබෙත් ක්‍රීඩාංගණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් වංශ කතාවේ සුවිශේෂී සංධිස්ඨාන කිහිපයකටම උරුමකම් කියන ක්‍රීඩාංගණයකි. දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ පළමු ටෙස්ට් තරගය මෙන්ම (1889) පළමු ජාත්‍යන්තර රග්බි තරගයද (එංගලන්තයට එරෙහිව 1891) පවත්වා ඇත්තේ මෙම ක්‍රීඩාංගණයේදීය.

පුහුණුවීම් අතරතුර ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අද තරගයට බොහෝ විට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරනු ලබන බවට එරටින් ලැබෙන ආරංචි මාර්ගවල සඳහන් වේ. පසුගිය ඉනිම කීපයේදී දක්වන ලද දුර්වල පිතිකරණය හේතුවෙන් මෙන්ඩිස්ව කණ්ඩායමෙන් ඉවත් කළද ඒ පිළිබඳව පුදුම විය යුතු නැත. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් බොහෝ විට එම අවස්ථාව ඇන්ජලෝ පෙරේරාට හිමිවනු ඇත.

සත්කාරකයින් මෙම තරගයට ඔවුන්ගේ ප්‍රධානතම වේග පන්දු යවන්නකු වන වර්නන් පිලෙන්දර් රහිතවය. කලව ප්‍රදේශයේ හට ගෙන ඇති ආබාධයක් හේතුවෙන් පිලන්ඩර් ට මෙම තරගය අහිමි වන අතරම, තණතීරුවේ පවතින ස්වභාවය අනුව පැයට කිලෝ මීටර 145 කට වඩා වේගයන් පන්දු යවන ඩුවන් ඔලිවර් විවේක ගන්වනු ඇති බවට අනුමාන කළ හැක. එසේ වුවහොත් තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති තුන් ඉරියව් ක්‍රීඩක වියාන් මුල්ඩර් ට අද තරගයේදී ටෙස්ට් වරම් හිමිවීමේ ඉඩ කඩක් පවතිනු ඇත.

අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම - දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස් හෝ ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, කසුන් රජිත, විශ්ව ප්‍රනාන්දු.

දකුණු අප්‍රිකානු කණ්ඩායම - ෆෆ් ඩු ප්ලෙසිස් (නායක), ඩීන් එල්ගර්, එයිඩන් මක්‍රම්, හෂීම් අම්ලා, ටෙම්බා බව්මා, තෙයුනිස් ඩි බ්‍රයන්, කොන්ටන් ඩි කොක්, වායින් මුල්ඩර්, කෙෂව් මහරාජ්, කගිසෝ රාබඩා, ඩේල් ස්ටේන්.

- චමිල

නව අදහස දක්වන්න