චෙන්නායි යන අලුත් පාර! | දිනමිණ

චෙන්නායි යන අලුත් පාර!

කන්කසන්තුරේ වරායත්, තලෙයිමන්නාරමේ ජැටියත් නවීකරණයට ‍යොමු වී ඇත. මෙහි ඉලක්කය වන්නේ දකුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා සාංස්කෘතික ගනුදෙනු තවදුරටත් ශක්තිමත් කිරීම ය. දකුණු ඉන්දියාව ශ්‍රී ලංකාවට හොඳ වෙළෙඳ පොළක් සපයන අතර දකුණු ඉන්දියාවට ශ්‍රී ලංකාව ද හොඳ වෙළෙඳ පොළක් වනු ඇත. මේ ක්‍රියාවලිය ඔස්සේ භාණ්ඩ හා මගී ප්‍රවාහනයට තවත් අලුත් මාර්ගයක් ඇතිවෙයි. එය දුම්රිය හා නාවුක ගමන් ඒකාබද්ධ වූ වේගවත් මාර්ගයකි. උදෑසන කොළඹින් දුම්රියට නගින කෙනකුට මේ ඔස්සේ පැය කිහිපයකින් චෙන්නායි නුවරට ළඟාවිය හැකි ය. මෙහි වාසිය වන්නේ ටිකට්පත ඉතා අඩුවීම ය.

දකුණු ආසියාවේ ආර්ථික තොරතුරු විශ්ලේෂණය කරනවිට පෙනීයන්නේ අපේ ආර්ථික ගනුදෙනුවලින් 80% කටත් වැඩි ප්‍රමාණයක් දකුණු ආසියාව තුළම සිදුවන බව ය. ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය, මාලදිවයින, බංගලිදේශය, ශ්‍රී ලංකාව, භූතානය හා ඇෆ්ගනිස්ථානය දකුණු ආසියාවට අයත් රටවල් ය. සමස්තයක් ලෙස ගත්කල මෙය සුවිශාල වෙළෙඳ පොළකි. කලාපයේ භූමි ප්‍රමාණය, සාගර වපසරිය හා ජනගහනයේ ප්‍රමාණය සලකනවිට වෙළෙඳ පොළෙහි විශාලත්වය හා කාර්ය-සාධනය හඳුනාගත හැකි ය. මේ වෙළෙඳ පොළ නිසි ලෙස කළමනාකරණය කර ගතහොත් යු‍රෝපීය වෙළෙඳ පොළ සම්බන්ධයෙන් කරදර විය යුතු නැත.

ඈත අතීතයට ගියහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සිදු වී ඇත්තේ ද අන්තර්ජාතික සබඳතා ගොඩනැගී ඇත්තේ ද වරායවල් ඔස්සේ ය. රට වටා දියුණු වරායවල් ගණනාවක් පැවැති බව ඉතිහාසය සනාථ කරයි. මේ වරායවල් සමඟ බැඳුණු මාර්ග පද්ධතියක් ද රට අභ්‍යන්තරයට විහිදී තිබිණි. අනුරාධපුර - මහාතිත්ථ මාර්ගය, අනුරාධපුර - ජම්බුකෝල පට්ටන මාර්ගය, අනුරාධපුරය - ගෝකණ්ණ මාර්ගය, අනුරාධපුරය - ඌරුවෙල පට්ටන මාර්ගය, අනුරාධපුර - පල්ලවංක මාර්ගය මීට නිදසුන් ය. ඉතිහාසයේ සාක්ෂිවලට අනුව මෙකී මාර්ග ඉතා පුළුල් ව සකස් කර තිබූ බව පෙනෙයි. ඒ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ය. විදේශිය වෙළෙඳුන් පැමිණ මේ මාර්ග ඔස්සේ සිය වාණිජ කටයුතු මෙහෙයවා ඇත.

කන්කසන්තුරේ වරාය හෙවත් කේ. කේ. එස්. වරාය යුද්ධය ආරම්භ වනතෙක් ම හොඳින් ක්‍රියාත්මක වූ බව පෙනෙයි. අභ්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනයට සේම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනයට ද මධ්‍යස්ථානයක් ලෙස කේ. කේ. එස්. වරාය පැවැතිණි. කොළඹ සිට විශාල භාණ්ඩ ප්‍රමාණයක් උතුරට ප්‍රවාහනය කිරීමේ දී යොදාගත් ප්‍රවාහන මාධ්‍ය දෙකක් තිබිණි. එක; නාවුක මාර්ගය යි. දෙක දුම්රිය මාර්ගය යි. මේ ප්‍රවාහන මාධ්‍ය දෙක ම ලාභ සහිත ය. ආරක්ෂාකාරීය. යුද්ධය හා ත්‍රස්තවාදය නිසා එම ප්‍රවාහන මාධ්‍ය දෙක ම උතුරට අහිමි විය. උතුරට මෙන් ම නැ‍ඟෙනහිරට ද එය අහිමි විය. ගෝකන්න හෙවත් ත්‍රිකුණාමලය වරාය රටේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස පැවැතිණි. එය නැ‍ඟෙනහිර පළාතේ ආර්ථික මර්මස්ථානයක් ලෙස ද සැලැකිය හැකි ය.

දැන් මේ සියලු වරායවල් නවීකරණයකොට ආර්ථිකයට නව පණක් දීමට රජය තීන්දු කර තිබේ. කේ. කේ. එස්. වරාය හා තලෙයිමන්නාරමෙහි ජැටිය නවීකරණයට පත්වන්නේ ඉන්දීය ණය - ආධාර ක්‍රමයක් යටතේ ය. ඉන්දීය රජය මේ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන පනහකට ආසන්න මුදලක් ලබා දෙයි. අගමැතිවරයා හඳුන්වාදුන් අපනයන ගම්මාන වැඩසටහන සමඟ ද මෙය ඒකාබද්ධ කළ හැකි ය. එක කලාපයක නිෂ්පාදනය කරන අපනයන භාණ්ඩ එම කලාපයට ආසන්න වරාය ඔස්සේ නැව්ගත කළ හැකි ය. එක් ආර්ථික විශේෂඥයකුගේ මතයට අනුව ශ්‍රී ලංකාවේ බෝතල් වතුරවලට දකුණු ඉන්දියාවේ සාර්ථක ඉල්ලුමක් තිබේ. වතුර බෝතල නිෂ්පාදනය කරන කම්හලකට අවශ්‍ය සාර්ථක වෙළෙඳ පොළ චෙන්නායි නුවරින් සොයාගත හැකි ය. ඒ සඳහා පහසු ප්‍රවාහන මාර්ගයක් ද දැන් තිබේ.

කන්කසන්තුරේ වරායේ ජැටිය මීටර් එකසිය හැට හතක් දිගට හා මීටර් විසි දෙකක් පළලට ගොඩනැගීම මේ වනවිටත් ආරම්භ කර තිබේ. එහි වගකීම භාරගෙන ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය බව සඳහන් ය. ඉතා කෙටි කාලයකින් කේ. කේ. එස්. ජැටිය ඉදිකොට අවසන් වනු ඇත. තලෙයිහි ජැටිය ද ඊට සමගාමී ලෙස ඉදිකිරීම් නිම කරනු ඇත. වයඹ පළාතේ නිෂ්පාදන පිටරට පැටවිය හැකි හොඳම ස්ථානය තලෙයි මන්නාරම බව කිව යුතු ය. ඒ සඳහා ගොඩබිම් ප්‍රවාහනයට යොදා ගත හැකි හොඳම මාධ්‍යය ලෙස දුම්රිය සේවාව හඳුනාගෙන ඇත. තලෙයි මන්නාරම දක්වා දුම්රිය මාර්ගය අලුතෙන් තනවා ඇත. එය ජැටිය දක්වාම දීර්ඝ කිරීමේ අදහසක් ද ඉදිරිපත් වී ඇත. එය සම්පූර්ණ වුවහොත් ජැටිය දක්වා භාණ්ඩ ප්‍රවාහනය ඉතා පහසු වනු ඇත.

භාණ්ඩ ප්‍රවාහනය, ආර්ථික ගනුදෙනු හැරුණුකොට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සාංස්කෘතික හා ආගමික බැඳීම බලවත් ය. දඹදිව වන්දනාව අපේ බෞද්ධයන්ගේ මහඟු බලාපොරොත්තුවකි. පාරම්පරික ඉඩම් උගසට තබා දඹදිව වන්දනාවේ යන අය සිටිති. වාර්ෂිකව දඹදිව වන්දනාවට යොමුවන පිරිස වර්ධනය වෙති. එහෙත් මේ සඳහා අධික මිලක් වැය කළ යුතු ය. විශේෂයෙන් ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල දුප්පතකුට දරාගත නොහැකි ය. මේ හැරෙන්නට ඉන්දියාවේ ප්‍රසිද්ධ කෝවිල් වන්දනා මාන කිරීම සඳහා ද දෙවියන් උදෙසා බාර-හාර වීම සඳහා ද ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් අඛණ්ඩව ඉන්දියාව බලායති. මේ සියලු දෙනාට ම ලාභදායී හා පහසු ප්‍රවාහන මාධ්‍යයක් මේ ඔස්සේ ඇතිවෙයි.

කොළඹ දී දුම්රියට ගොඩවන වන්දනාකරුවාට දකුණු ඉන්දියාව තෙක් ගමන් කිරීමට මෙන් ම සිය කටයුතු නිමවා ආපසු ඒමට අවශ්‍ය පහසුකම් ද සපයන තනි ප්‍රවේශ පත්‍රයක් මිලට ගත හැකි ය. දුම්රිය ගමනට, නාවුක ගමනට මෙන් ම ආපසු ගමනට ද එම ප්‍රවේශ පත්‍රය භාවිත කළ හැකි ය. අලුත් මාර්ගය නිසා දඹදිව වන්දනාවේ යන පිරිස වැඩිවිය හැකි ය. එලෙස ම ඉන්දීය සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම ද වැඩිවිය හැකි ය. මෙය හොඳ තත්ත්වයකි. එක අතෙකින් ආර්ථික ගනුදෙනු පුළුල් වන අතර තව අතෙකින් දෙරටෙහි සාංස්කෘතික සබඳතා ද තවදුරටත් තහවුරු වනු ඇත. ඉන්දියාවට ශ්‍රී ලංකාව මෙන්ම ශ්‍රී ලංකාවට ඉන්දියාව ද හැම අතකින්ම වැදගත් ය.

මේ අලුත් මාර්ගය හැඳින්විය හැක්කේ දෙරටේ සබඳතා පුළුල් කරන නව ප්‍රවේශයක් හැටියටය. එය නිසි ලෙස භාවිත කරන්නේ නම්; බොහෝ සුබදායක දේවල් සිදුවනු ඇත.


නව අදහස දක්වන්න