මරණයේ සීතල සෙවණැල්ලත් අරන් නිවාඩුවට ගෙදර ආ අයේෂා | දිනමිණ

මරණයේ සීතල සෙවණැල්ලත් අරන් නිවාඩුවට ගෙදර ආ අයේෂා

බෙන්තර, මහවිල ගමම ක්ෂණයකින් කඳුළු විලක් බවට පත් වූයේ අනපේක්ෂිත මොහොතකය. ඒ නාවික හමුදාවේ ගාල්ලේ දක්ෂිණ නාවික කඳවුරේ සේවය කළ දිසානායක මුදියන්සේලාගේ අයේෂා සෙව්වන්දි නැමැති නව යෞවනියගේ හදිසි මරණය ගැන සවනත වැකුණු බාල මහලු තරුණ කවුරුත් ඒ නිවෙසට දිව ඒමත් සමඟය. මහවිල කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, ඇළකාක මහ විදුහලෙන් උසස් අධ්‍යාපනයත්, ලැබූ අයේෂාගේ සිතේ කුඩා කල සිට තිබූ ලොකුම සිහිනය වූයේ නාවික සෙබළියක වීමයි. පාසලේදී විවිධ ක්‍රීඩාවන්ට දස්කම් පෑ ඇය නාවික කැඩේට් පුහුණුවක්ද ලබා ඇත. ඒ නිසාම නාවික හමුදාවට එකතු වීමේ සිහිනය සැබෑ කර ගත් සතුට ඇයගේ සිතේ රැඳී තිබුණේ වසරකටත් අඩු කාලයකි. ඒ සිහින පොදි සියල්ලම සුණු විසුණු වී ගියේ ඇයට ජීවිතය නැති කර ගැනීමට තරම් පසුබිමක් සකසමිනි. ඒ ඇයට පැමිණි විවිධ බලපෑම් නිසා ඇයට රැකියාව එපා වූ නිසා යැයි ඇය මිය යාමට පෙර ලියා තිබූ ලිපියක සඳහන් කර තිබිණි. තමාගේ චේන් පට උකස් කොට රුපියල් තිස් දහසකින් පමණ කළ හැකි පින්කමකට යොදවන ලෙසත්, එය තමාගේ විශාල බලාපොරොත්තුවක්ව තිබූ බවත්, ඇය එහි වැඩිදුරටත් ලියා තිබූ බව නිවැසියෝ පවසති. පසුගිය පස් වැනිදා ඇය දින දහයක නිවාඩුවක් ලබා ගෙන නිවෙසට පැමිණියේ දහසය වැනිදා යළි ගාල්ලේ කඳවුරේ සේවයට වාර්තා කිරීමේ අදහස ඇතිවය. පස් වැනිදා ඇය නිවෙසට පැමිණෙද්දී සිත් පිත් නැති රුදුරු මරුවාද ඇය පසුපසින් නිවෙසට පැමිණ ඇත්තේ ඇයට යළි සේවයට යාමට කෙසේවත් ඉඩ නොදෙන අදහසක් ඇතිව බව නිවැසියන් දැන ගෙන ඇත්තේ 15 වැනිදා සන්ධ්‍යාවේදීය. ඒ ඇයගේ රුව හැඩ වැඩ වන පරිදි හැඳ පැළඳ ගිය සාරි පොටකින් අයේෂා තම කාමරයේ එල්ලී සිටිනු දැකීමත් සමගය. ඉන් පසුව මවුපියන්ටත්, සොහොයුරු සොහොයුරියන්ටත්, අසල්වැසියන්ටත්, කළ හැකිව තිබුණේ කඳුළු උල්පත් සිදෙන තුරු හඬා වැටීම පමණෙකි.

මවත්, පියාත්, තවත් කතා කළ නොහැකි තරමටම හැඬුමෙන්ම හෙම්බත් වී සිටිනු දකින කාගේත් දෙනෙත් තෙත් වී යන්නේ ඇසිල්ලකිනි. වැල නොකැඩී ඒ නිවෙසට එන හැම කෙනෙක්ම නිවෙසින් පිට වී යන්නේ මවුපියන්ගේ මහා දුක් කන්දරාවෙන් බිඳක් හෝ රැගෙන යැයි ඔවුන්ගේ මුහුණුවලින් මනාව පැහැදිලි වේ. ඒ මවුපියන්ට තවත් හැඬීමට වැලපීමට නොහැකි තරම්ය. කෑමක් බීමක් නොගෙන මේ දෙපළ මේ දින දෙක පුරාවටම කර ඇත්තේ හැඬීමත් වැලපීමත් පමණී. අයේෂාගේ මව අයිවරි කුමාරසිරි දිසානායකය

අයේෂාගේ පියා ඩී. ඇම්. ජයසිංහ මහතා යුද හමුදාවේ සේවය කළ විශ්‍රාමිකයෙකි. වැඩිමහල් සොයුරිය චතුරංගී යුද හමුදා සෙබළියකි. වැඩිමහල් සොහොයුරා ඩිල්ෂාන් ගුවන් හමුදාවේය. බාල සොහොයුරා පැතුම් දේශාන් තවමත් පාසල් දිවිය අවසන් කොට නැත. ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් අපේ රට රැකීමට පෙරමුණ ගත් මෙවැනි පවුල්වලට මෙවැනි පෙර අකුසල් පල දීම නම් ඇදහිය නොහැක්කකි. ඇසූ ඇසූ අයගේ දෙනෙත් තෙත් කරවන මේ සුන්දර යුවතියගේ දිවි ගමන වසර විසි එකක් නිමාවන්නටත් පෙර සිදු වීම දෛවයේ අසාධාරණම ඉරණමක් යැයි කීම මුසාවක් නොවේ. රටට වැඩදායක ජීවිතයක් මෙන්ම බලාපොරොත්තුවලින් සපිරි ජීවිතයක් නිකම් හිතුමතේ නැති කර ගැනීමට තරම් බාල බොළඳ ළදැරියක් සේ ඇය හැසුරුණා යැයි අප උප කල්පනය නොකළ යුතුය. මෙවන් ජීවිතවල වටිනාකම අප කවුරුත් දැන ගත යුතුය. අයේෂා සෙව්වන්දි තරුණියගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (18) පස්වරු 3.00 ට මහවිල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

ඉඳුරුව සමූහ ඇම්. පී. මුනිදාස සහ
බලපිටිය සමුහ


නව අදහස දක්වන්න