දේශපාලනයේ රැඩිකල් වෙනසකට විධායක ජනපති ක්‍රමය අහෝසි කරමු | දිනමිණ

දේශපාලනයේ රැඩිකල් වෙනසකට විධායක ජනපති ක්‍රමය අහෝසි කරමු

චමීර ඇල්ලදෙණිය

රට එකතැනක හිරවී තිබෙන තත්ත්වය නැවැත්වීමට දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතු බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා පැවසීය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළට දැන් යොමුවිය යුතු බවද කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

ඒ මහතා මේ අදහස් පළකළේ, පසුගියදා (17) මොණරාගල දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 40ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිත සූර්ය විදුලිබල උද්‍යානයේ ප්‍රථම අදියර කටයුතු නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට සහභාගි වෙමිනි.

එහිදී ඇමැතිවරයා මෙසේද කීය.

අපිට නිදහස ලැබුණා කියලා කතා කළාට සැබෑ ආර්ථික නිදහස ලැබිලා තියෙනවාද. නිදහස වචනය පාවිච්චි කර සමහර අය අන්තවාදීව කටයුතු කරනවා. තවත් අය ජාතිභේද ඇති කරනවා. අපිට අවශ්‍ය වන්නේ රට වෙනුවෙන් කතා කරන්න පුළුවන් නායකයන් බිහි කිරීමයි. අවුරුදු 71 ක් තිස්සේ අපි විධායක බලතල ඇතිවත් විධායක බලතල නැතිව මේ රට පාලනය කර තිබෙනවා. එදා 1978 මේ ක්‍රමය රටට ගෙනාවේ මේ ක්‍රමය රටට සුදුසුයි කියලා හිතපු නිසයි. නමුත් ජේ.ආර්. ජයවර්ධන, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, රණසිංහ ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ මේ හැමෝම මේක හොඳයි කිව්වට වැඩිකල් යන්න ඉස්සෙල්ලා මේක නරකයි කියලා හැමෝම කියන්න ගත්තා. අහෝසි කරන්න ඕනැයි කියන මතයට ආවා. මම දැනුත් කියන්නේ අපි ජනතාවට දුන්න පොරොන්දුව වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළට අපි යොමුවිය යුතුයි. මේකෙන් වෙන්නේ එක්කෙ‍නෙක් වටා රොක්වෙන එක පමණක් නිසා. අපි මේක අහෝසි කිරීමේ වැඩපිළිවෙළට යොමුවන්න අවශ්‍යයි. ජනාධිපතිටත්, අගමැතිටත් මේක කරන්න අවශ්‍යයි. මම විපක්ෂයෙනුත් ඉල්ලන්නේ සියලුම පක්ෂ මේ අවස්ථාව උපයෝගි කරගෙන රටට අවශ්‍ය පාර්ලිමේන්තු ක්‍රමයකට ඒ තියෙන වටිනාකම් එකතු කරලා වෙනසක් ඇති කරන්න. අපට අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා නෙමෙයි, විධායකය අහෝසි කරගෙන මේ රටේ ජනතාවගේ හදවතින් එන ව්‍යවස්ථාවක් ඇති කිරීමයි. මම නැවතත් කියන්නේ අපි රැඩිකල් වෙනසක් ඇතිකළ යුතුයි. ඡන්දෙ කාලෙට ඇවිත්, මම එන්නේ මේ ක්‍රමය අහෝසි කරන්න, වෙනසක් කරන්න කියලා ජනතාවට කියන එක නෙමෙයි. ඒ වෙනස ඇති කරලා ඒ අලුත් ව්‍යවස්ථාවකින් අපි ඡන්දයකට යායුතුයි. ඒ ව්‍යවස්ථාව, ඒකීයභාවයත් රැකගෙන රටේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීලා, අනෙකුත් ආගම්වලටත් සමතැන දීලා කටයුතු කළ යුතුයි. මේ රට එක තැනක හිරවෙලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇතිකළ යුතුමයි.

අද හැමකෙනාම කියන්නෙ මම ජනාධිපති වෙනවා කියලා, ඒක නෙමෙයි අවශ්‍ය වන්නේ. අපි ආවේ ඒක අහෝසි කරනවා කියලා. මම දන්නවා ජනාධිපතිට ඒක කරන්න අවශ්‍යයි. අගමැතිවරයාට ඒ වරම දීලා තිබෙනවා. ඒ නිසා විපක්ෂයේ එක්කෙනෙක් දෙන්නෙක් අවශ්‍යතාව ගැන පමණක් නොසිතා, මේ විධායක ක්‍රමය අහෝසි කරලා, රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කර යුතු දේ අපි කළ යුතුයි. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි යන අය ජීවත පරිත්‍යාග කළෙත් මේ විධායක ක්‍රමය අහෝසි කරන්න අවශ්‍යයි කියලා. එයාලා දැනගත්තා ඒ වෙලාවේ මේක ගෙනාවට, එක්කෙනක් දෙන්නෙක්ට හොඳ වුණාට මේ ක්‍රමය රටට ගැළපෙන්නේ නැහැ කියලා. මේ තුළින් හොඳ දේවල් කළාට, වැඩි දෙනෙක් කළේ රටට අහිතකර දේවල්. අපි සියලුදෙනාම මේ පාර ඡන්දයට ආවේ මේ විධායක ක්‍රමය අහෝසි කරනවා කියලා. අපෙන් වෙන්ව සිටින ගරුතර සෝභිත ස්වාමීන් වහන්සේත් කිව්වේ මේ ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා.

නව අදහස දක්වන්න