රටට අවශ්‍ය විද්‍යාත්මක ආණ්ඩුකරණයක් | දිනමිණ

රටට අවශ්‍ය විද්‍යාත්මක ආණ්ඩුකරණයක්

චමීර ඇල්ලදෙණිය

ජනප්‍රිය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් රටට අවශ්‍ය​ බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

මෙතෙක් කල් පැවැති සියලුම ආණ්ඩු ජනප්‍රිය සටන් පාඨ දේශපාලනයක් සිදු කළ බවත් එයින් රට ඉදිරියට නොව පසු පසට ගමන් කර තිබෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ කලුතර ජනපියස වැඩසටහනින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

රටක් ඉදිරියට යාමට නම් ජනප්‍රිය ආණ්ඩු සංකල්පයෙන් මිදී විද්‍යාත්මක ආණ්ඩුකරණයක් ඉතාමත් වැදගත් බවත් ඒ අනුව අරටට අවශ්‍ය ඉලක්ක ජයගත හැකි බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ ජනප්‍රිිය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් අපි ගෙනාවොත්, අපට මේ රට බොහොම ඉක්මනින් ආපහු හරවන්න පුළුවන්. මොකද මේ රට මෙතනට පත් වෙලා තිබෙන්නේ බාල ජනකාන්ත වාදය නිසයයි. මට මතකයි මම පොඩි කාලේ මොන්ටිසෝරි යනකොට තමයි පළවෙනි දේශපාලන සටන් පාඨය ඇහුණේ. මොකද්ද සටන් පාඨය, අපෙ අම්මා ලඟ එනවා හාල් සේරු දෙක දෙනවා. ඒ කවුද අපේ අම්මා සිරිමාවේ මැතිණිය. එතුමිය ඇයි හාල් සේරු දෙක දෙන්නේ ඩඞ්ලි මහත්තයා හාල් සේරුව දීපු නිසා. ඩඞ්ලි සේනානායක හාල් සේරුව දුන්නම, මැතිණිය දෙක දෙනවා කිව්වා. ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා ධාන්‍ය රාත්තල් අටක් දෙනවා කියලා. පස්සේ මැතිණියගෙන් ඇහුව්වා හාල් සේරු දෙක කොහෙන්ද දෙන්නේ කියලා. හඳෙන් හරි ගෙන්නලා දෙනවා කියලා කිව්වා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙන් ඇහුවා කෝ දැන් ඇට අට කියලා. එතුමා කිව්වා ඒක පිටි කරලා දැන් කඩවල්වල තියෙනවා ගන්න කියලා. මේවා තමයි මේ ජනකාන්තවාදයේ ගියේ. තුනයි පනහේ පාන් දෙනවා කිව්වා, 2, 500 ජනසවිය. 350 පොහොර ඔහොම ඔහොම ඇවිත් තිබෙනවා. දැන් අපි කියනවා මෙහෙම සපත්තු කුට්ටම් දෙක ගානේ දෙනවා කියලා. ඇඳුම් කට්ටල් දෙක ගානේ දෙනවා. පාසල් පොත් දෙනවා. ටී.වී., මොබයිල් ෆොන් ඉස්සරහට ඔක්කොම නිකන් දෙනවා කියයි. රජයකට මෙහෙම යන්න බැහැ. අපි අපේ ප්‍රාග්ධන ප්‍රමුඛතා හඳුනා ගන්න ඕනේ. සෞඛ්‍යයේ මොනවද කරන්න ඕනේ, අපි නර්ස්ලා හදනවාද, දොස්තරලා හදනවද, පහල සෞඛ්‍ය සේවකයෝ හදනවාද? රෝග බෝවීම වැලැක්වීමට උපක්‍රම හදනවද?. අධ්‍යාපනයේ මොකද්ද අපි කරන්නේ. ප්‍රාථමික අධ්‍යාපනය නංවනවාද? උපාධි අධ්‍යාපනය නංවනවාද? පර්යේෂණ අධ්‍යාපනය නංවනවාද? බල ශක්තියේ මොකද්ද අපි කරන්නේ. ගල් අඟුරු කරනවාද? ඞීසල් කරනවාද? බලශක්තිය ඉතුරු කරන ක්‍රියාමාර්ග ගන්නවාද? නැත්නම් සූර්ය බලය සුලං බලය නංවනවාද? ප්‍රවාහනයේ මොකද්ද කරන්නේ අධිවේගී පාරවල් හදනවාද? බස් ප්‍රමුඛතා මංතීරු හදනවාද. මේ වගේ අපි විද්‍යානුකූලව අපේ ප්‍රමුඛතා හඳුනාගෙන මේ තිබෙන සීමා සහිත ප්‍රාග්ධනය නිවැරදිව වැය කරන්න ඕනේ.

මම හිටියා 2006 මහින්ද රාජපක්ෂ මහත්මයා පත් කරලා සිමා ආයතනයේ අධ්‍යක්‍ෂකයෙක් හැටියට. එතකොට අපිව හම්බවෙන්න ආවා ගුවන් සේවාවෙන්, අයෝටා එකේ කට්ටියයි. ගුවන් සේවාවේ හිටපු ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාගේ සහෝදරයා එහෙම ඇවිත් අපට කිව්වා අවුරුදු 10 කින් කටුනායක ගුවන් තොටුපල උපරිම ධාරිතාවයට එනවා කියලා. කටුනායක ගුවන් තොටුපලේ ගුවන් පථයේ බාන්න පුළුවන් දවසකට යානා 200 යි. ඒ යානා 200 අවුරුදු 10 කින් එනවා කිව්වා. ඒ කියන්නේ 2015, 2016 වෙනකොට එනවා කියලා. ඒ නිසා ඒ ගොල්ලෝ කිව්වා ඉක්මනට දෙවන ගුවන් පථය හදන්න කියලා. ඒ ගැන වාද විවාද ගියා. ගෙවල් කැඩෙනවා අච්චරක් මෙච්චරක් කියලා කතා කිය කිය හිටියා. අන්තිම කොහෙද ගුවන් පථය ගැහුවේ. මත්තල. ඒකේ හැටි එහෙමනේ. අධ්‍යාපන ඇමැති ඉන්නේ කොහෙද එහේ ගහනව ජාතික පාසල. උසස් අධ්‍යාපන ඇමැති ඉන්නේ කොහෙද වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය එහේ හදනවා. වරාය ඇමැති කොහේ හරි තැනකනම් එයාගේ ගමේ තමයි වරාය හදන්නේ. වරායක් ඕනෙද නැද්ද කියන එක වැදගත් නැහැ. ජනාධිපති කොහේ හරි උනහම එයාගේ දිස්ත්‍රික්කෙ තමයි ඔක්කොම කරන්නේ. ඔන්න ගැහුවා මත්තල. දැන් මොකද තත්ත්වය කටුනායක දෙවෙන පථය හැදුවා නම් අද කටුනායකට තවත් ගුවන් යානා 225ක්, 240 ක් එනවා. ?ට ගුවන් තොටුපලක් නෙමෙයි ඒක මාලූ කඩයක්. ඒක අපට පාලනය කරන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. සංචාරකයෝ මිලියන ගණන් එනවා කිව්වාට ගෙන්නන්න ගුවන් තොටුපලක් තියෙන්න එපැයි. දැන් ගුවන් තොටුපල තියෙනවා මත්තල. එහි ආදායම කීයද? 2018 වාර්ෂික ආදායම මිලියන 14 යි. වියදම 5, 600 යි. රුපියලක් ලැබෙන කොට 395 ක් වියදම් කරනවා. මෙන්න විද්‍යානුකූල භාවය. දැන් මේ ගුවන් පථය කටුනායක ගැහුවා නම් මේ වන විට ගුවන් යානා 400 ක් ලංකාවට එනවා. තව අතිරේක වශයෙන් දශ ලක්ෂයක් මේ රටේ සංචාරකයින් අලූතෙන් එනවා. මේ සල්ලි අවුරුදු 6 ක් ඇතුළත අපට ලැබෙනවා. මෙයයි මේ විද්‍යානුකූළ අණ්ඩුකරණයෙයි, ජනප්‍රිය ආණ්ඩුකරණයෙයි තිබෙන වෙනස යැයි පැවැසීය.


නව අදහස දක්වන්න