කසළ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් දෙන විට විරුද්ධවීම බාල දේශපාලනයයි | දිනමිණ

කසළ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් දෙන විට විරුද්ධවීම බාල දේශපාලනයයි

එය පරාජය කළ යුතු බව චම්පික කියයි

කසළ කඳු ගොඩගැහෙද්දි මීතොටමුල්ලේ තිස්තුන්දෙනකු මිය යද්දී හර්තාල් කිරීමට අපොහොසත් වූවන් කසළ ගැටලුවට විද්‍යාත්මක විසඳුමක් ලබාදීමේදී පාරට බසින බාල දේශපාලනය පරාජය කිරීමට පියවර ගත යුතු බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

ඇමැති රණවක මහතා මේ බව පැවසුවේ පසුගියදා (14) කළුතර පැනොරාමා හෝටලයේ පැවැති මෙගා මයින්ඩ්ස් වැඩසටහනට එක්වෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවැසීය.

නාගරිකරණයේ ප්‍රශ්න, අපට තිබෙන ප්‍රශ්න, ගංවතුර, කැළිකසළ, වාහන තදබදය, පැල්පත්, ඩෙංගු අපේ නාගරීකරණයේ තිබිච්ච දෙයකි. ජනප්‍රිය මතවාද තමයි, මල් පෝච්චි ටිකක් තියලා, පාරවල් හදලා, පේව්මන්ට් හදලා එතකොට නගරෙ ලස්සනයි. කොළඹ නගරයේ පානීය ජලය ගෙන යන නල අවුරුදු 150 ක් පරණයි. ඒක හදන්න කවුරුත් නැහැ. මලාපවහන පද්ධතිය අවුරුදු 150 ක් පරණයි.

ඒක හදන්නත් කවුරුත් නැහැ. ඒ වගේම වැසි ජලය ගෙන යන එකත් ඒ වගේම පරණයි. කනගාටුයි කියන්න අද කොළඹ නගරයේ මලපහයි වැසි ජලයයි දෙකම ගෙනයන්නේ එකම පද්ධතියේ. ‍ෙම්වා හදන්නේ නැහැ. ඒ වෙනුවට මල්පෝච්චි තියලා ලස්සන කරනවා. නගරය පිරිසිදු කරලා මීතොටමුල්ලේ කුණු කන්දක් හදනවා. ප්‍රශ්නෙ විසඳන්නේ නැහැ. විසඳන්න යන හැමවෙලාවෙම පටන්ගන්නවා මොකක්ද, කොළඹ කුණු අපට එපා කියලා උද්ඝෝෂණය කරනවා. කුණු කඳු ගොඩගැහෙනවා. මිනිස්සු ඒවට යටවෙනවා. මට හරිම කනගාටුයි කියන්න මේ ආගමික නායකයොයි අනෙක් අයයි හැමදෙනාම මේ ප්‍රශ්නය ඉතාම බාල දේශපාලන ප්‍රශ්නයක් කරගෙන එය විසඳන්න දෙන්නෙ නැහැ.

නමුත් කොළඹ කුණු ගොඩගැහුණා මීතොටමුල්ලේ, ගොඩගැහිලා ඒ ප්‍රශ්නෙ විසඳගන්න බැරිවුණාම 2017 අපේ අමාත්‍යාංශයට ආවා. අපි කොළඹ නගරයේ කසළ එකතු කිරීම විධිමත් කළා. කසළ වෙන්කරලා භාරගත්තා. අද කොළඹ නගරයේ කසළ 90% ක් වෙන්කරලා එන්නේ. කෙරවලපිටියට යන සෑම දිරායන කසළ බිඳක්ම කොම්පෝස්ට් වෙනවා.

ඒවගේම වසරකට මිලියන 600 ක් එනම් දශ ලක්ෂ හයසීයයක් ලැබෙනවා කොළඹ නගරයේ තිබෙන දිරා නොයන කසළ ප්ලාස්ටික්, පොලිතින්, කඩදාසි ආදියෙන්. අද එය විධිමත් කර තිබෙන්නේ. ඒ වගේම කොළඹ කසළවලින් බලශක්තිය නිපදවන ව්‍යාපෘතියක් අපි දියත් කැර තිබෙනවා. මම හිතන්නේ මේ වසරේදී අපට එය පටන්ගන්න පුළුවන්. ඒ වගේම කාගෙත් විරෝධතා තිබුණත් අපි අරුවක්කාලු හැදුවා. අවුරුදු 80 ක් ඕනේ නම් මේ මුළු ලංකාවෙම කසළ ගෙනයන්න පුළුවන් කසළ අංගනයක්. දැන් එයට විරුද්ධව හර්තාලයක් කරනවා කියලා තිබෙනවා. මම ඒකට කනගාටු වෙනවා.

නව අදහස දක්වන්න