මෙරට 10කින් 6කට දියවැඩියාව වැළඳෙනවා | දිනමිණ

මෙරට 10කින් 6කට දියවැඩියාව වැළඳෙනවා

සන්ධ්‍යා කරුණාරත්න

සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති බව සුව ඇමැති කියයි

මෙරට ජනගහනයෙන් දහ දෙනකුගෙන් හයකට දියවැඩියාව වැළඳෙන බවට සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මීට වසර දහයකට පෙර පුද්ගලයන් දහ දෙනකුගෙන් තුන් දෙනකු පමණක් දියවැඩියා රෝගයට ගොදුරු වූයේ යැයි ද, බෝ නොවන රෝග අතරින් දියවැඩියාව වැළඳෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පසුගිය දා (12) ප්‍රකාශ කෙළේය.

බෝ වන රෝග බොහොමයක් මේ වන විට පාලනය කැර තිබෙන බවත් සරම්ප, රුබෙල්ලා, එච්.අයි.වී. ඒඩ්ස්, ඩෙංගු යනාදි බෝ වන රෝගයන් පාලනයට කිරීමට පවතින බවත් ඇමැතිවරයා පැවැසුවේය.

දියවැඩියාව, පිළිකා, වකුගඩු, හෘද යනාදි බෝ නොවන රෝග පාලනය කිරීමේ අභියෝගය ශ්‍රී ලංකාවට පවතිනවා. ජනගහනයෙන් බහුතරයක් පුද්ගලයන් මේ රෝගවලට ගොදුරු වෙනවා. පිළිකා රෝගය මෙරට දෙවැනියට වාර්තා වන රෝගය බවට වාර්තා වෙලා. බෝ නොවන රෝග මර්දනය සඳහා සුවදිවි සායන 800 කට වඩා රට පුරා ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙනවා. අපේ සුවදිවි සායන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා ඇගැයීමට ලක් කර තිබෙනවා. අපේ රටේ සුවදිවි සායනවල සාර්ථකත්වය හේතුවෙන් ඉන්දියාවේ පවා සුවදිවි සායන ඉදි කිරීමට තීරණය කැර තිබෙනවා.

වසරක දී ඉන්දියාවේ සුවදිවි සායන ලක්ෂ එක හමාරක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙනවා. වසර 2017 දි මෙරට මාතෘ හා ළමා මරණ අනුපාතය අමෙරිකාව හා සමාන වුණා. ඒ තරමටම අපේ රටේ සෞඛ්‍ය දර්ශක දියුණු රටවල මට්ටමට ළඟා වෙලා තිබෙනවා. එය මෙරට ජනගහනය ලබා ඇති ජයග්‍රහණයක්. රටක සෞඛ්‍ය සංවර්ධනය සඳහා ඒ රටේ ආර්ථිකය බලපාන්නේ නැහැ. ඊට හොඳම උදාහරණය ශ්‍රී ලංකාව බව නෙල්සන් මැන්ඩෙලා මහතාගේ බිරිය ලෝක සෞඛ්‍ය සමුළුවකදී ප්‍රකාශයට පත් කළා. එය අපේ රටට ආඩම්බරයක්. අතීතයේදි හෘද රෝගයන් වැළඳෙන පුද්ගලයන් හයදෙනකුගෙන් පස් දෙනකු මරණයට පත් වුණා. දැන් එම සංඛ්‍යාව එක් අයකු දක්වා අඩු වී තිබෙනවා.

රෝගී ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා වත්මන් ආණ්ඩුවෙන් සහන රැසක් ජනතාවට ලබා දී තිබෙනවා. නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීම මඟින් රෝගී ජනතාවට විශාල සුබ සිද්ධියක් උදා වී තිබෙනවා. රෝගී ජනතාව මේ සම්බන්ධයෙන් පැසසුම් ලබා දෙනවා. රට පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රාථමික සෞඛ්‍ය ඉහළ නැංවීම මඟින් ඉදිරියේදි වඩාත් නිරෝගී ජනතාවක් අපට බිහි කැර ගැනීමට හැකි වේවි.

මේ අවස්ථාවට උතුරු මැද පළාතේ ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාතේ ආණ්ඩුකාර පේශල ජයරත්න මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න