ශ්‍රී ලංකාවේ මුල්වරට පාපන්දු ඇකඩමි සැණකෙළියක් | දිනමිණ

ශ්‍රී ලංකාවේ මුල්වරට පාපන්දු ඇකඩමි සැණකෙළියක්

ජයග්‍රහණයක් සමරන ජාවාලේන් ඇකඩමියේ 12න් පහළ ක්‍රීඩකයෝ

පාපන්දු ක්‍රීඩාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මුල්වරට සංවිධාන කළ පාපන්දු ඇකඩමි සැණකෙළිය සිටිලීග් පිටියේදී පෙරේදා පැවැත්විය.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පාපන්දු ඇකඩමි 54න් පළමු අදියරට පාපන්දු ඇකඩමි 26ක් සහභාගී වූ අතර දෙවැනි අදියර මාර්තු 9 වැනිදා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. සිටිලීග් හී පැවැති ඇකඩමි සැණකෙළියට කොළඹ, වෙන්නප්පුව, පානදුර, වත්තල, වේයන්ගොඩ, මීගමුව, ගම්පහ, කළුතර, ගාල්ල, බලංගොඩ සහ යාපනය ආදි ප්‍රදේශ නියෝජනයවී තිබිණි.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගේ අදහසක් අනුව මේ පාපන්දු ඇකඩමි සැණකෙළිය පැවැත්වූ අතර සහභාගීවූ සියලු 12න් පහළ දරුවන්ට සහතික පත්‍රයක් පිරිනැමූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රාදේශීය සංවර්ධන සභාපති හා සිටිලීග් පාපන්දු සභාපති ආර්. පුවනේන්ද්‍රන් මහතා පැවැසීය. “මේ වැඩ පිළිවෙළට විශාල මුදලක් වැය වෙනවා. මෙයින් අපට පාපන්දු ක්‍රීඩාවට ලැදි දක්ෂ දරුවන් හඳුනාගත හැකියි.

පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා හිටපු ජාතික පාපන්දු නායකයෙක්. ඔහු දන්නවා කුඩා දරුවන් පාපන්දු ක්‍රීඩාවට යොමු කිරීමෙන් ලැබෙන වාසිය. මේ දක්ෂයන් හඳුනාගෙන ඉතා ක්‍රමානුකූල වැඩ පිළිවෙළකින් ඔවුන් ඉදිරියට ගැනීම පාපන්දු සම්මේලනයේ බලාපොරොත්තුවයි” පුවනේන්ද්‍රන් මහතා සඳහන් කළේය.

මේ වැඩ සටහන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික අධ්‍යක්ෂවරුන් වන සම්පත් පෙරේරා, චමින්ද ස්ටැන්වෝල් හා ඩඩ්ලි ස්ටැන්වෝල් මහතා ඇතුළු තාක්ෂණික දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුවිය.

 

නව අදහස දක්වන්න