මධූෂ් ජාලය | දිනමිණ

මධූෂ් ජාලය

ශ්‍රී ලංකාවට අදාළ මත්කුඩු ජාවාරම පිළිබඳ සම්පූර්ණ කතාන්දරය නිරීක්ෂණය කරන විට පෙනීයන්නේ එය සංසාර - චක්‍රය මෙන් දිග - පළල එකක් බව ය. කුඩු ජාවාරම්කරුවන්ගේ සම්බන්ධතා, ප්‍රභූ සමාජය, වෘත්තිකයන්ගේ සමාජ, කලා සමාජ, මාධ්‍ය සමාජ දක්වා ද පැතිර ඇත. ඇතැම් පූජකතුමන්ලා, භික්ෂූන් වහන්සේලා කුඩු නායකයන්ගෙන් ආධාර හා උපකාර ලබාගෙන ඇත. පින්කම් සඳහා අත දිගහැර කෝටි ගණන් වැය කිරීම අපරාධකාරයන්ගේ සිරිතකි. පින් තකා හෝ සමාජයේ හොඳ නමක් ඇතිකර ගැනීම සඳහා හෝ අපරාධකාරයන් පින්කම් කරනවා විය හැකිය. එහෙත් මෙහි ප්‍රතිඵලය අප සිතන තරම් සරල නැත.

මාකඳුරේ මධූෂ් නම් අපරාධකාරයා මේ වන විට සමාජයේ තරුවක් බවට පත්ව සිටී. තව වැඩි දවසක් යෑමට පෙර ඔහුගේ කොණ්ඩ මෝස්තරය හා රැවුළ කපන විලාසය අපේ තරුණයන් අතර ව්‍යාප්ත වන්නටත් ඉඩ තිබේ. ඔහු තරුවක් බවට පත්වූයේ ජනමාධ්‍ය ඔස්සේ ය. මේ වනවිටත් රටේ ප්‍රධාන මාතෘකාව මාකඳුරේ මධූෂ් ය. ඔහුගේ පියාගේ අවමංගල්‍ය උත්සවය පවත්වා ඇත්තේ රටේ නායකයකුගේ අවමංගල්‍ය පවත්වන ආකාරයට ගුවන් යානයකින් මල් ඉසිමින් ය. රටේ නමගිය අපරාධකාරයකු වටා මෙතරම් ජයට මිනිසුන් ඒකරාශී වන්නේ කෙසේ ද?

මාකඳුරේ මධූෂ් නම් ජාවාරම්කරුවා සමාජයේ වරදින් අපරාධවලට යොමු වී ඇතැ’යි තහවුරු කිරීම සඳහා පිරිසක් ඉදිරිපත් වී සිටිති. එහි අරමුණ ඔහුට සමාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීම විය හැකි ය. සමාජයේ වරදින් අපරාධකාරයන් බවට පත් වූ අය සිටින්නට පුළුවන. එහෙත් ඒ පමණින් ඔහුට නීතියෙන් ගැලවීමට ලැබෙන්නේ නැත. මධූෂ් සිය ගෝල - බාලයන් යොදවා සිදුකර ඇති මිනිස් ඝාතන ගණනාවක් තිබේ. ඒවා පමණක් නොව; කුඩු ජාවාරම ඔස්සේ සිදුකළ තවත් අපරාධ රැසකට ද ඔහු වගවිය යුතුය. එයින් ගැලවීමක් නැත. මධූෂ්ගේ පාර්ශ්වයෙන් කුමන බලපෑම් එල්ලවුව නීතිය හරියට ක්‍රියාත්මක විය යුතුය.

ගිය ඉරිදා පුවත්පත් කිහිපයක්ම පෙන්වා දී තිබූ අන්දමට ඇතැම් දේශපාලකයන්ට කුඩු වෙළෙඳුන් සමඟ සබඳතා තිබේ. එම සබඳතා අංශ කිහිපයක් ඔස්සේ විහිදී ඇති බව පුවත්පත් වාර්තා පෙන්වා දෙයි. සමහර දේශපාලකයෝ කොකේන් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. ඇතැම් කෙනකුගේ චෝදනාවට අනුව සමහර මහජන නියෝජිතයෝ කුඩු පානය කොට පාර්ලිමේන්තුවට පවා එති. ඒවායෙහි ඇත්ත/නැත්ත අපි නොදනිමු. එහෙත් මේ චෝදනාව ගෙන එන්නේ මහජන නියෝජිතයන්ම බැවින් එය පහසුවෙන් ඉවතලිය නොහැකි බව පෙනෙයි.

පන්සලකට, පල්ලියකට, දේවස්ථානයකට පින් තකා ඕනෑම කෙනකුට ආධාර කළ හැකි ය. එය පින්කමක් බැවින් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැත. එහෙත් පින්කමට සහභාගී වන පුද්ගලයන් ගැන ද, පින්කම සඳහා විය - පැහැදම් කිරීමට මුදල් ලැබෙන ආකාරය ගැන ද විමර්ශනයක යෙදීම පූජ්‍ය පක්ෂයේ සදාචාරාත්මක අයිතියකි. මුදල්, ගොඩනැඟිලි වෙනත් භෞතික සම්පත් ගැන පමණක් ම අවධානය යොමු කිරීම ඒ තරම් සුදුසු නැත. මධූෂ් නම්; අපරාධකාරයා සංඝාවාස ඉදිකර දී ඇති බවද, දානශාලා ඉදිකර දී ඇති බව ද වාර්තාවී ඇත. ඒවා සත්‍ය වාර්තා නම්; සිදුවී ඇත්තේ කනගාටුදායක දෙයක් බව කිවයුතු ය. ඊට හේතුව වන්නේ මේ මඟින් අපරාධකාරයා පින්වතකු විය හැකිය යන්න ය.

අපරාධකාරයා කලාකරුවන් සමීප කරගන්නේ ඇයි? පූජ්‍ය පක්ෂය ඇසුරු කරන්නේ ඇයි? දේශපාලකයන්ට සහයෝගය ලබා දෙන්නේ ඇයි? මේ මඟින් අපරාධකාරයාට විශාල සමාජ රැකවරණයක් ලැබේ. එම රැකවරණය ඔහුගේ පැවැත්මට මෙන්ම ජාවාරමෙහි පැවැත්මට ද වාසිදායක ය. අද වන විට මාකඳුරේ මධූෂ් වෙනුවෙන් පෙනී සිටින අය සිටිති. ඔහු වෙනුවෙන් ශෝක වන අය සිටිති. ඔහු බේරාගැනීම සඳහා විවිධ උපායමාර්ග සොයන අයද සිටිති. අපරාධකාරයකු වෙනුවෙන් පෙනී සිටීම හා ඔහු නිවැරැදි පුද්ගලයකු ලෙස දැක්වීම බලවත් වැරැද්දකි. මධූෂ් වැනි ජාවාරම්කාරයකු වෙනුවෙන් පෙනී සිටීම ජාතික අපරාධයක් හැටියට අපට පෙනෙයි.

මධූෂ් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු යැයි මතයක් තිබේ. එහි අරමුණු කුඩු ජාවාරම හා දේශපාලන සබඳතා හෙළිදරව් කර ගැනීම විය හැකි ය. එහෙත් මධූෂ් වැනි අපරාධකාරයකු ගැන පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක් තුළ සංවාදයක් ඇති කිරීම කෙතරම් යෝග්‍යය ද යන්න වරක් - නොව කිහිපවරක්ම කල්පනා කළ යුතු ය. පාර්ලිමේන්තුව මේ අපරාධකාරයා ගැන සංවාද කරන විට ඔහු තවදුරටත් සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු බවට පත් විය හැකිය. මධූෂ් අපරාධකාරයකු වුව දැන් ඔහුට ඇත්තේ යම් තරමක ප්‍රතිරූපයකි. අපරාධ යටගොස් ඔහුගේ ප්‍රතිරූපය මතු වුවහොත් ඔහුට දඬුවම් ලබාදීම පවා ප්‍රශ්නයක් වනු ඇත.

ජනාධිපතිවරයා කුඩු ජාවාරමට එරෙහිව බරපතළ සටනක් ගෙන යයි. එය කෙතරම් බලවත් ද යත් ප්‍රධාන කුඩු ජාවාරම්කාරයන් වෙනුවෙන් එල්ලුම්ගහ විවෘත කරන තැනෙක ජනාධිපතිවරයා සිටී. පිලිපීනය මත්කුඩු ජාවාරම වැළැක්වීම සඳහා මරණ දඬුවම යොදාගෙන ඇත. එහි ප්‍රතිඵලය සාර්ථක බවද වාර්තා වී ඇත. කුඩු ජාවාරමේ නායකයන්ට මරණ දඬුවම ලබාදුන්න ද සමාජය ඒ ගැන ශෝකවන්නේ නැත. ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට රට පුරා හොඳ ප්‍රතිචාරයක් ඇති බව ද පෙනීයයි. සමාජය මේ සම්බන්ධයෙන් දරන මතය වැදගත් වන්නා සේම සමාජය මේ සම්බන්ධයෙන් දක්වන ක්‍රියාකාරකම් ද වැදගත් ය. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එබඳු සාධනීය ක්‍රියාකාරකම් දකින්නට නැත.

ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් සංවර්ධනය කරා ගෙන යෑමේදී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් අතිශයින්ම වැදගත් වෙයි. මත්ද්‍රව්‍ය නිසා විනාශ වෙමින් පවතින රටක් අපට දැන් දකින්නට ලැබේ. මෙය වැළැක්වීම අත්‍යවශ්‍ය සාධකයකි. ඒ සඳහා සියලු සමාජ කණ්ඩායම් අත්වැල් බැඳගත යුතු ය.

 

නව අදහස දක්වන්න