බලපොරය මැද බඩගින්න | දිනමිණ

බලපොරය මැද බඩගින්න

ධම්මික සෙනෙවිරත්න

“අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවට සාමය අවශ්‍ය නෑ. ඔවුන්ට අවශ්‍ය සූරාකෑමටයි. යුද්ධය හරහා ඔවුන් කරන්නේ සූරාකෑම, කයිවාරුව හා ආධිපත්‍ය පැතිරවීම. ඔවුන්ට අවශ්‍ය සාමය නම් ඉරාකයේ වෙන්නෙ මොකක්ද? ලෙබනනයෙ වෙන්නෙ මොනවාද? පලස්තීනයේ මොකද වෙන්නෙ? පසුගිය වසර සිය ගණනක් තිස්සෙ ලතින් අමෙරිකාවේ සහ ලෝකයේ මොකද වුණේ...?”
හියුගෝ චාවේස්

දෙදිනකට පෙර බී. බී. සි. ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වූ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ, අමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ ආණ්ඩුව හඳුන්වා දුන්නේ අන්තවාදීන් රැළකගේ ආණ්ඩුවක් වශයෙනි. වෙනිසියුලාවේ උද්ගතව ඇති අර්බුදය පිළිබඳ ඔහු අමෙරිකාවට චෝදනා කළේ, ආධිපත්‍ය පැතිරවීමට ඔවුන් දරන වෑයම දැඩිව විවේචනය කරන අතරය. තම රටට අමෙරිකානු “මානුෂීය ආධාර” ඇතුල්වීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මදුරෝ කීවේ, අමෙරිකාව මැදිහත්වීම් සාධාරනීකරණය කරන්නේ ‘මානුෂීය ආධාරවලට, මුවාවෙමින් බව පවසමිනි.

ජනාධිපති මදුරෝ මානුෂීය ආධාර අනවශ්‍ය බව කියාසිටියදී, අන්තර්වාර ජනාධිපති ලෙස තමන් විසින්ම හඳුන්වා ගන්නා හුආන් ගුවයිඩෝ අමෙරිකාවෙන් ඉල්ලා සිටින්නේ මානුෂීය ආධාර එවන ලෙසය. ඉදිරි සති කිහිපය තුළ ඒවා ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂාවෙන් සිටී. තමා විසින්ම තමා ජනාධිපති යැයි කියා සිටි ගුවයිඩෝගේ පාලනය පිළිගන්නා බව මුලින්ම කියාසිටියේ අමෙරිකාවය. ඉන්පසු තවත් බටහිර රටවල් ගණනාවක් ගුවයිඩෝගේ පාලනය පිළිගන්නා බව කීහ.

අමෙරිකා මැදිහත්වීම

එසේ වුවද ලතින් අමෙරිකා රටවල් බහුතරය තවමත් වෙනිසියුලාවේ ජනාධිපති ලෙස පිළිගන්නේ නිකො‍ලස් මදුරෝය. රුසියාවේ සහ චීනයේ ස්ථාවරය ද එයමය. මදුරෝගේ පාලනය විවේචනය කරන ඇතැම් මාධ්‍ය පවා වෙනිසියුලානු ජනයාගේ මෙන්ම ආරක්ෂක හමුදාවල සහායද, කැමැත්ත ද තවමත් ඇත්තේ මදුරෝ සමඟ බව පිළිගනී. එහෙත් ඉක්මන් ජනාධිපතිවරණයකට යායුතු බවට ඔවුන් හඬනඟන්නට පටන්ගෙන ඇත. ප්‍රශ්නය ඇත්තේ හදිසි ජනාධිපති මැතිවරණයක් අවශ්‍යනම්, එය තීරණය කළ යුත්තේ වෙනිසියුලාවද නැතිනම් අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් විසින්ද යන්නය.

වෙනිසියුලාව සම්බන්ධයෙන් කෙරෙන අමෙරිකා මැදිහත්වීම් අනුමත නොකරන බව රුසියාව කියාසිටී. විදේශ ඇමැති සර්ජි ලැව්රොව් දැඩිව කියා තිබුණේ, වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් කෙරෙන සියලු බාහිර මැදිහත්වීම් මෙන්ම බලය යෙදවීම් මෙන්ම වොෂින්ටනයේ තර්ජනවලට රුසියාව එරෙහිවන බවය. එමෙන්ම එවැනි මැදිහත්වීම් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කිරීමක් බව ද රුසියානු විදේශ ඇමැතිවරයා පෙන්වාදී තිබිණි. ආරක්ෂක මණ්ඩල යෝජනාවකට මුවාවෙමින් වෙනිසියුලාවේ පාලන වෙනසක් (රෙජිම් චේන්ජ්) කිරීමට අමෙරිකාව දරන ප්‍රයත්නයට ඉඩ නොතබන බවද ඔහු අවධාරණය කරයි. වෙනිසියුලාවේ උද්ගතව ඇති තත්ත්වය ඔවුන් විසින්ම විසඳාගතයුතු යැයි පවසන රුසියාව, බාහිර අතපෙවීම් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක් බවද කියා සිටී. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව, සාකච්ඡා මේසයේදී ප්‍රශ්න විසඳාගැනීමට අවශ්‍යනම් සහාය දැක්වීමට සූදානම් වුවද මැදිහත්වීම් අනුමත නොකරන බව රුසියාවේ ස්ථාවරයයි.

අන්තර්වාර ජනාධිපති බව කියාගන්නා ගුවයිඩෝ පත්කළේ කාගේ ඡන්දයෙන්දැයි විමසන ‘ප්‍රව්දා’ පුවත්පත ඔහුගේ පක්ෂයට මැතිවරණයේදී ලබාගත හැකිවූයේ 10%ක ඡන්ද ප්‍රතිශතයක් බවද පෙන්වාදී තිබිණි.

කිසියම් රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු සඳහා අතපෙවීම, මැදිහත්වීම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මෙන්ම අන්තර්ජාතික නීතියද උල්ලංඝනය කිරීමකි. එසේවුවද අමෙරිකාව ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම එය කළේය. යළිත් වරක් වෙනිසියුලාව සම්බන්ධයෙන් කරමින් සිටින්නේද එයමය.

වෙනිසියුලාවේ හිටපු ජනාධිපති දිවංගත හියුගෝ චාවේස්ගේ නායකත්වය යටතේ එරට දිළිඳුකම විශාල ලෙස පහත දැමීමට හැකිවිය. රටේ ණය බරද අඩුකෙරිණි. ඔහුගේ අනපේක්ෂිත අභාවයත් සමඟ රටේ අනාගතය බාරවූයේ නිකොලස් මදුරෝටය. පළමු‍ වතාවේදී තියුණු ජයග්‍රහණයක් ලබා බලයට පත්වූ ඔහු දෙවන වටයේදී ද විශාල ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළේය. එහෙත්, අමෙරිකාව විපක්ෂ කණ්ඩායම් මෙන්ම ඇතැම් බටහිර රටවල් ද චෝදනා කළේ මැතිවරණ නිදහස් හා සාධාරණ ඒවා නොවූ බව කියමිනි. එතැන් පටන් මදුරෝගේ පාලනය අවසන් කිරීමට නොයෙක් ප්‍රයත්න දැරිණි. එරට මත බලපැවැත්වූ අමෙරිකා සම්බාධක රටේ ආර්ථිකයට බලපෑම් ඇති කළේය.

හියුගෝ චාවේස් වරෙක කියා සිටියේ, අපි අමෙරිකාවේ සාමාන්‍ය ජනයාට සීත කාලයේදී අපේ තෙල් දෙනවා. අපට ඔවුන් ගැන අහිතක් නැතැයි කියාය. එසේ වුවද, වෙනිසියුලාවටද දැනට බලපවත්වා ඇති සම්බාධක එරට තෙල් වෙළෙඳාමටද බලපෑම් කර තිබේ. මේ වනවිට ආසියාකරය දෙසට හැරෙන්නට එරට තෙල් වෙළෙඳපොළට සිදුවී තිබේ. වසර කිහිපයක් තිස්සේ උද්ගතවූ ආර්ථික පීඩනය එරට ජනයා මදුරෝගේ පාලනය කෙරෙහි කුපිත කරවීමට විපක්ෂය හා බාහිර පාර්ශ්ව විසින් හැසිරවූහ. මදුරෝ යනු චාවේස්ගේ අනුගාමිකයකු මිස චාවේස් වැනි බලසම්පන්න නායකයකු නොවේ. එහෙත් අමෙරිකාවෙන් එල්ලවන පීඩනය හමුවේ ඔහුද සටන අත්හරින්නට සූදානම් බවක් පෙනෙන්නට නැත.

ආර්ථික අර්බුදය

මදුරෝගේ පාලනයට එරෙහිව එල්ලවී ඇති චෝදනා අවි අතර දූෂණය මෙන්ම මානවහිමිකම් උල්ලංඝනය කිරීමද තිබේ. රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට හේතුව ලෙස බාහිර පාර්ශව දක්වන්නේ දූෂණයයි. එරට මත බලපවත්වා ඇති සම්බාධක ගැන ඔවුන් කිසිවක් සඳහන් කරන්නේ නැත. ආසන්න වසර කිහිපය තුළ වෙනිසියුලාවේ ජනජීවිතය දුෂ්කරවීම හේතුවෙන් රටින් සංක්‍රමණය වන පිරිස් වැඩි බවට නිරන්තර මාධ්‍ය වාර්තා පළවේ. මේ තත්ත්වය බොහෝ දුරට දශක පහකටත් වැඩි කාලයක් තිස්සේ අමෙරිකා සම්බාධකවලට මුහුණදුන් කියුබාව අත්විඳි තත්ත්වයට සමානය. එහිදී ද බටහිර මාධ්‍ය හුවාදැක්වූයේ කියුබානුවන් එරටින් පලායමින් ඇති බවය.

මදුරෝට විරෝධතා

හමුදාමය මැදිහත්වීමක්ද විකල්පයක් ලෙස ඇතැයි අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ වෙනිසියුලාව අමෙරිකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා බිඳදමන බව ප්‍රකාශ කළේය. බී. බී. සී. යට ජනාධිපති මදුරෝ පසුගියදා ලබාදුන් සාකච්ඡාව විරළ අවස්ථාවක් බව බී. බී. සී. ය වාර්තා කර තිබිණි. බලසම්පන්න ලෝක ජනමතයකින් ධවල මන්දිරයේ අන්තවාදී කල්ලිය පරාජය කළ යුතු යැයි මදුරෝ මේ සාකච්ඡාවේදී කියා සිටියේය. වෙනිසියුලාවේ අද තත්ත්වය ගැන බී.බී.සියේ බර්ලා ගුවෙරින්ට ඔහු ප්‍රතිචාර දැක්වූයේ එය දේශපාලන යුද්ධයක් බව දක්වමිනි. එක්සත් ජනපද අධිරාජ්‍ය වෙනිසියුලාව අත්කරගැනීමට මානබලන බව ඔහුගේ චෝදනාව විය.

මෑත වසර කිහිපය තුළදී අමෙරිකාව මදුරෝගේ අමෙරිකානු වත්කම් තහනම් කිරීමට පියවර ගෙන තිබිණි. වෙනිසියුලාවට අමෙරිකා වෙළෙඳපොළවලට පිවිසීම සීමාකර තිබිණි. රන් වෙළෙඳාමට අදාළ ගනුදෙනු ද අවහිර කර තිබිණි.

අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙගේ මදුරෝගේ පාලනය හඳුන්වා දෙන්නේ ඛේදවාචකය ආඥාදායකයින් වශයෙනි. ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් කියන්නේ මදුරෝ නීත්‍යානුකූලව බලයට පත්වී නැති බවය. එහිදී මතුවන ප්‍රශ්නය අමෙරිකාව පැය 24ක් තුළ පිළිගත් ගුවයිඩෝ පාලනය නීත්‍යානුකූලව ඇතිවූවක්ද යන්නයි. කවර තත්ත්වයක් යටතේ වුවද මදුරෝ බලයට පත්වූයේ, එරට ජනතාවගේ ඡන්දයෙනි. ඔහු ගෙදර යායුතු නම් එය තීරණය කළයුත්තේ ද වෙනිසියුලානුවන් විසින්මය. ඊට අවස්ථාවක්ද එළැඹේ. ඒ ඊළඟ ජනාධිපතිවරණයයි. එහෙත්; ගුවයිඩෝට සහ ඔහු මෙහෙයවන බලවේගවලට එතෙක් ඉවසීමට නොහැකි බව පෙනෙන්නට ඇත.

ගතවූ දින කිහිපය තුළ ජීවිත හානි ගණනාවක් ද වෙනිසියුලාවෙන් වාර්තාවූයේ මෙවැනි පසුබිමකය. අමෙරිකාව සහ බටහිර රටවල් පසුබිමෙහි තබාගනිමින් ගුවයිඩෝ ද සටන් බිමේ සිටී.

ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිළිබඳ මේ දිනවල ඔහුගේ උද්වේගකර කතා අසන්නට වෙනිසියුලානුවන්ට අවස්ථාව ලැබී තිබේ. අන්තර්වාර ජනාධිපති ලෙස හඳුන්වාගන්නා හෙක්ට ගුවයි‍ඩෝ ගැන වෙනිසියුලාව පවා හරිහැටි දැනසිටියේ නැත. සෙසු ලෝකය කොහොමටත් එවැනි අයකු ගැන අසා තිබුණේ නැත. මේ දිනවල ඔහු කරමින් සිටින්නේ තමන් වෙතට ලෝකයේ රටවල සහාය දිනාගැනීමට වෑයම් කිරීමය. එමෙන්ම කෙසේහෝ අමෙරිකාවේ මානුෂීය ආධාර වෙනිසියුලාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීමය. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ආධාරවලට නම් එරටට ලඟාවීමට හැකිවේදැයි සැක සිතෙන්නේ දැනටමත් වෙනිසියුලා ආරක්ෂක අංශ ඒවා පැමිණෙන මාර්ග අවහිර කර ඇති බැවිනි. ‘බාලසංදර්ශන’ ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස වෙනිසියුලා උප ජනාධිපති සිල්සි රොඩ්‍රිග්වෙස් අමෙරිකාවෙන් ඉල්ලා තිබු‍ණේ “මානුෂීය ආධාර” පිළිබඳ යථාර්ථය දන්නා නිසාය.


නව අදහස දක්වන්න