අරුවක්කාලු ව්‍යාපෘතියේ කසළ ගැනීම මාර්තු 15දා | දිනමිණ

අරුවක්කාලු ව්‍යාපෘතියේ කසළ ගැනීම මාර්තු 15දා

මුළු රටේම කසළ ගැටලුවට විද්‍යාත්මකව පරිසර හිතකාමී ස්ථිරසාර විසඳුමක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලබාදෙමින් පුත්තලම අරුවක්කාලුහි ඉදිකරගෙන යනු ලබන සනීපාරක්ෂක කසළ රඳවන ව්‍යාපෘතියේ ප්‍රථම අදියරේ කසළ භාරගැනීම මාර්තු 15දා ආරම්භ කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පැවැසීය.

රජය රුපියල් බිලියන විසිදෙකක (22) මුදලක් වැය කර ක්‍රියාවට නංවනු ලබන මේ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ප්‍රථමයෙන්ම කසළ ලබාගැනීම සිදුකරනුයේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් බවත් ඉංජිනේරු රූපසිංහ මහතා ප්‍රකාශ කළේය. ඉදිරි වසර අසූවක් පුරාවට මුළු රටේම කසළවලට විද්‍යාත්මක ස්ථිර විසඳුමක් මෙහි දී ලැබෙන බවත් රූපසිංහ මහතා අවධාරණය කළේය.

පළවන අදියර යටතේ ටොන් හයසියයක කසළ මේ කසළ රඳවනයට යොමු කළ හැකි වන බව සඳහන් කළ ඉංජිනේරු රූපසිංහ මහතා පුත්තලම දිස්ත්‍රික්කයට අවස්ථාව සලසා දීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයේ කසළ මේ ස්ථානයට යැවීමට කටයුතු කරන බවත් පැවැසීය. අනතුරුව ‍මුළු රටම ආවරණය වන ආකාරයට කසළ මේ ස්ථානයේ දී කළමනාකරණයට පියවර ගන්නා බවත් ඉංජිනේරු රූපසිංහ මහතා පෙන්වා දුන්නේය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න, සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂ ගාමිණී බණ්ඩාර, මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහේෂ් ජයවීර, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක, හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, මධ්‍යම උපදේශක කාර්යාංශයේ විපුල ජයසිංහ මහත්වරු සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජා මහත්මිය සහ සෝල්හි දොගොවා ඉංජිනේරු සමාගමේ උප සාමාන්‍යාධිකාරි කිම් මියුන්ගොයි මහතා සහභාගි වූහ.

කමනි අල්විස් සහ තරුෂි බෝපෙආරච්චි


නව අදහස දක්වන්න