නැඟෙනහිර කාර්යාලය කඩිනමින් පිහිටුවනවා | දිනමිණ

නැඟෙනහිර කාර්යාලය කඩිනමින් පිහිටුවනවා

සුභාෂිණී සේනානායක

නැඟෙනහිර පළාතේ ජාතික ඒකාබද්ධතාවය ඇති කරලීමට කඩිනමින් මධ්‍යස්ථානයක් පිහිටුවන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක ජාතික ඒකාබද්ධතා , රාජ්‍ය භාෂා සමාජ ප්‍ර‍ගති, හින්දු ආගමික කටයුතු ඇමැති මනෝ ගනේෂන් මහතා පවසයි.

උතුරු පළාතේ කාර්යාලය කිළිනොච්චියේ ස්ථාපිත කර ඇති බවත් මේ කාර්යාලය කඩිනමින් මඩකලපුවේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කියා සිටියේය.

මේ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් දමිළ පුද්ගලයන් සිංහල භාෂාවෙන් සන්නද්ධ කිරීමත් සිංහල පුද්ගලයන් දමිළ භාෂාවෙන් සන්නද්ධ කිරීමත් සිදු කෙරේ.

ජාතික ඒකාබද්ධතාව සංහිඳියාව අර්ථ දැක්වීම් සිදු කරමින් සිටීමෙන් පලක් නොවන බව කියා සිටි මනෝ ගනේෂන් මහතා වසර ගණනාවක් පුරා පැවැති ගැටලු වලට විසඳුම් ලබා දීම මෙන්ම සිංහල දමිළ ජාතීන් දෙකට අයත් පුද්ගලයන් ඔවුනොවුන් තේරුම් ගැනීමට ඇති පාලම වන භාෂාව ශක්තිමත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

ඉකුත් 12 වනදා මඩකලපුවේ මනෝ ගනේෂන් මහතාගේ විමධ්‍යගත අරමුදලින් සිදු කළ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සදහා පැවැති දිස්ත්‍රික් කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

මඩකලපුව දිස්ත්‍රික් කාර්යාලයේ දමිළ භාෂාවෙන් සන්නද්ධ වී සේවය සදහා පැමිණි හොරණ සහ කුරුණෑගල කාන්තාවන් ඇතුලු තරුණ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟ මනෝ ගනේෂන් මහතා දමිළ භාෂාවෙන් අදහස් හුවමාරු කර ගත්තේය.උතුරු පළාතේ ඇතැම් පළාත්වල සූළු සේවා පුරප්පාඩු වලට සිංහල සේවකයන් පත් කළා කියලා උතුරු පළාතේ අයට එම අයිතිය නැති වුණා කියලා දෝෂාරෝපණය කර තිබෙනවා මම දැක්කා.මම නම් ඒවාට බය නැහැ.උතුරු පළාතේ අයට දකුණේ පුරප්පාඩු වලට ඉල්ලීම් කළ හැකියි.හැමදාම මේ ප්‍රශ්න ඉදිරියට ගෙන යාම හොඳ නැහැ.ජාතික ඒකාබද්ධතාවය අද මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබෙනවා

සිංහල සේවකයන් දමිළ භාෂාවෙන් නැගෙනහිර පළාතේ ජනතාවට සේවය කරනවා මේකයි වෙන්න ඕන.මම මේ කාර්යාලය කඩිනමින් විවෘත කරනවා.එහි දමිළ සිංහල භාෂා පන්ති ස්ථාපිත කරනවා.කවුරු දොස් කිව්වත් මම මේ වැඩපිළිවෙළ දිගටම සිදු කරනවා.

මේ කාර්යාලය විවෘත කරන්නේ කවදාදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දූන් ඇමැතිවරයා නව ව්‍යවස්ථාවට ගෙන ඒමට පෙර එම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව අවධාරණය කළේය.

මෙහිදී නැගෙනහිර දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් 15 ක් පමණ නිරීක්ෂණය කිරීමට එක් වූ ඇමැතිවරයා ඇතැම් ස්ථාන විවෘත කිරීමටත් පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව කිහිපයකට එක් වීමටත් කටයුතු කළේය.

නව අදහස දක්වන්න