බලය බෙදීම ගැන එජාපය කිසිම ලියවිල්ලක් හදලා නැහැ | දිනමිණ

බලය බෙදීම ගැන එජාපය කිසිම ලියවිල්ලක් හදලා නැහැ

චමීර ඇල්ලදෙණිය

බලය බෙදීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු ලියවිල්ලක් සකස් කර නොමැති බව පැවසූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධව සාකච්ඡාවට ලක් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා බවත් එදා එම යෝජනා අනුමත කළ අය අද ඒ යෝජනාවලින් රට බෙදන්න ක්‍රියා කරන බවට චෝදනා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දේශපාලන බංකොලොත්කම නිසා රට බෙදනවා කියමින් ජනතාව මුලා නොකර අද කළ යුතුව ඇත්තේ සියලුදෙනා එක්ව දේශපාලන විසඳුමක් ඇති කර ගැනීම බව වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පෙරේදා (14) යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ නිල සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ සිදුකළ සංවර්ධන වැඩකටයුතු පිළිබඳව නිරීක්ෂණය කරමින් ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡා පැවැත්වූ අතර එහිදී සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමද සිදු කෙරිණි.

වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවය අමතා තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

අද වැදගත් උත්සවයක් වීරසිංහ ශාලාවේදී පවත්වනවා. මේ රටේ නියඟය එක කන්නයක් නොවෙයි. කන්න කිහිපයක්ම තිබුණා. මේ රටේ නියඟය නිසා ග්‍රාමීය ජනතාවට විශාල ප්‍රශ්නයක් ඇතිවුණා. එයින් වැඩි බලපෑමක් කාන්තාවන්ට සිදුවුණා. තමන් ගත් ණය ගෙවීමට කාන්තාවන්ට ආදායමක් නොතිබීමෙන් මෙම ණය ගෙවීමට අවස්ථාවක් නොලැබුණා. කාන්තාවන් ක්ෂුද්‍ර ණය ලබාගැනීම නිසා මෙය වැඩියෙන්ම බලපෑවා.

මයික්‍රො ෆිනෑන්ස් ආයතන මගින් ගමට පැමිණ ක්ෂුද්‍ර ණය ලබාදීම අලුත් විසඳුමක් ලෙස ඔවුන් දුටුවා. මයික්‍රො ෆිනෑන්ස් ආයතනය මගින් ණය ලබාගෙන ගෙවීමට හැකි බව ඔවුන් සිතුවා. නමුත් නියාමනයට ලක් නොවන සමහර ආයතන මගින් ගත් මෙම ණය සඳහා ගෙවීමට ඇති පොලිය දෙස බැලීමේදී බෙල්ල වටා දැමූ තොණ්ඩුවක් හා සමානයි. ඔවුන් ලබාගත් මෙම ණය නියඟය හා විවිධ හේතු නිසා ගෙවීමට අපහසු වුණා. කෘෂිකර්මාන්තයෙන්, වී වගාවෙන් ග්‍රාමීයව ජීවත් වන්නන්ට සහ වගාවක් නොමැතිව ජීවත් වන ජනතාවට මෙම ණය ගෙවීම අපහසු වුණා.

ඒ සඳහා මුදල් අමාත්‍යතුමා යෝජනාවක් ගෙනාවා. එම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව නියඟය පවතින දිස්ත්‍රික්කවල කාන්තාවන් මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය නිදහස් කිරීමේ වැඩසටහනක් හඳුන්වා දුන්නා. මේ සඳහා රුපියල් මිලියන 1400ක් මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කළා. මෙම වැඩසටහන මගින් මෙම පවුල්වල පැවැති විශාල ණය බරක් ඉවත් කර තිබෙනවා. මේ වැඩසටහන වැදගත් එකක්.

නියඟය දෙමළ ජනතාවට පමණක් සීමා වූයේ නැහැ. සිංහල ජනතාවට සීමා වූයේත් නැහැ. මුස්ලිම් ජනතාවට සීමා වුණේත් නැහැ. වියළි කලාපයේ ජීවත් වූ සෑම දෙනාටම මේ නියඟය එක හා සමානව බලපෑවා. තේ වගා කරන කලාපයේ සිටියා නම් සිංහල, දෙමළ, මුස්ලිම් වුවත් මේ සියලුදෙනාටම මෙය බලපෑවා.

එසේනම් විශේෂයෙන් මේ කාන්තා කණ්ඩායම වෙනුවෙන් මුදල් අමාත්‍යතුමා විසින් ආරම්භ කළ වැඩසටහන අපි අගය කළ යුතු වෙනවා. මේ වැඩසටහන මගින් ණය බර ඉවත් කළා. ඒ වගේම දැන් තව මාර්ගයක් තිබෙනවා. එනම් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙතෙක් කල් ණය නොලැබුණු අයට ණය ලබාදී තිබෙනවා.

මුදල් අමාත්‍යතුමාගේ මේ වැඩසටහනින් ණය නොලැබුණු පුද්ගලයන් ණය ලබාගෙන කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලැබී තිබෙනවා. අනික් අතින් මේ ණය ලබා දෙන්නේ ක්‍රමයටයි. මොකද ණය පොලියෙන් කොටසක් මහ ආණ්ඩුවෙන් ගෙවනවා. අපි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා.

ගිය ආණ්ඩුව විශාල වශයෙන් ණය ලබාගත්තා. එසේ ණය ගැනීම අප නවත්වා දැම්මා. දැන් ඒ වෙනුවට ජනතාවට මේ ණය ලබාදෙනවා.

අක්කර 5000ක් පමණ හඳුනාගෙන උතුරු පළාතේ වැඩසටහනක් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් මම ඇමැතිතුමාටත් කතා කළා. එය අක්කර 100, 200, 300 විය හැකියි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් වන්නියේ ජනතාවට, කාන්තාව ප්‍රධාන පවුල්වලට විශේෂත්වයක් කිරීමට වුවමනායි. ඒවගේම යුද්ධයට සහභාගි වූ අයටත්, වෙනත් ස්ථානවල රැකියා ලබා ගත් අයටත් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකි වෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යතුමා කරන ලද මෙම වැඩසටහන පිළිබඳව මම ප්‍රශංසා කරනවා.

ඇමැතිතුමා වැඩසටහන් කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් එකක් නම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනයි, අනෙක් වැඩසටහන ගම්පෙරළියයි. මේ සමඟම තවත් වැඩසටහන් ගණනාවක් තිබෙනවා. අපේ අධ්‍යාපන ඇමැතිතුමා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මහාමාර්ග ඇමැතිතුමා මහා මාර්ග හදනවා. ඒවගේම අපේ අනෙකුත් ඇමැතිවරු පුළුල් සංවර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාවට නංවා තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල ඊළඟ මාස කිහිපයකින් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

මේ රටේ ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ණය අරගෙන විශාල ණය බරකට මේ රට පත් කරලා තිබෙනවා. මේ රටේ ජනතාවට මේ වසරේ පමණක් ණය සඳහා ඩොලර් බිලියන 6500ක් ගෙවීමට තිබෙනවා.

අපි එක් පැත්තකින් ණය බර බාරගත්තා. අපි මේ වන විට ණය බර විසඳීමට කටයුතු කරමින් සිටිනවා. ගිය මාස කිහිපය තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් රාමුවක තිබෙන බව අපි දුටුවා. ඒ ශක්තිමත් රාමුවෙන් තමයි අපි ඉදිරියට යෑමට උත්සාහ කරන්නේ.

කඩා වැටුණු ආර්ථිකය, කඩා වැටුණු ප්‍රජාතන්ත්‍රවාදය, නැතිවුණු සංහිඳියාව අපි යළි ඇති කරනවා. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමඟ එකට වැඩකටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. අද හුඟක් දුරට එය සාර්ථක වී තිබෙනවා. අද අපි සංහිඳියාව ඇතිකරගෙන උතුර – දකුණ, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ඒ සම්බන්ධය ඇති කරගෙන ඉදිරියට යනවා.

අපි දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට උත්සාහ කරනවා. අපි ඒ ගැන සාකච්ඡා කරනවා. එහෙත් ඇත්ත වශයෙන්ම අපි ව්‍යවස්ථා කෙටුම්පතක් තවම සකස් කර නැහැ. සමහරු කියනවා අපි මේ රට බෙදන්න යනවා කියලා. බලය බෙදීම ගැන එක්සත් ජාතික පක්ෂය කිසිම ලියවිල්ලක් දී නැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි මොකක්ද එහෙනම් ද්‍රවිඩ සන්ධානය සමඟ සාකච්ඡා කරන්නේ. අපි මේ සාකච්ඡා කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සර්ව පාක්ෂික සම්මේලනය මගින් ඉදිරිපත් කළ යෝජනා ගැනයි. ඒ සර්ව පාක්ෂිික සම්මේලනයට අපි ගියේ නැහැ. නමුත් ඒ සම්මේලනයේ වාර්තා පදනම් කරගෙන අපි ද්‍රවිඩ සන්ධානය සමඟ සාකච්ඡා කරනවා.

ඒ යෝජනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ හොඳයි. මේ සංහිඳියාව ඇති කරන කාලයේ මේක ද්‍රෝහීයි. ඒවා ද්‍රෝහී යෝජනා නම්, රට බෙදන යෝජනා නම්, රට බෙදීමට ගියේ අපි නෙවෙයි. මහින්ද රාජපක්ෂයි. අපේ ජනමාධ්‍යයත් මේ කිසිවක් සොයා බලන්නේ නැතිව රට බෙදනවා, රට බෙදනවා කියමින් ප්‍රචාර ගෙන යනවා. ඔය මාධ්‍යවලින්ම තමයි එදා කිව්වේ මේ තමයි දුටුගැමුණු රජ්ජුරුවෝ, එයා ගේන යෝජනාවලින් රට එකතු කරන්න පුළුවන් කියා. ඒ යෝජනා ගැන අද අපි කතා කරද්දී ඒ ජන මාධ්‍යයම වෙන තාලයක් වාදනය කරනවා.

අද මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම දේශපාලන වශයෙන් බංකොලොත් වුණු කණ්ඩායමක්. අද මේ රටේ ඇති කළ ආර්ථික ප්‍රශ්නය අපි විසඳමින් යනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා තිබෙනවා. නිදහස ලබා දී තිබෙනවා. මේ අය තමන්ගේ දේශපාලන බංකොලොත් භාවය පෙන්වා දීමට රට බෙදන බවට ආරංචි පතුරනවා. රට බෙදනවා නම් කරුණාකරලා ගිහින් මහින්ද රාජපක්ෂ සමඟ කතා කරන්න. මේ යෝජනාව හොඳ නැතිනම් එයාට කියන්න සර්ව පාක්ෂික සම්මේලන යෝජනා ඉවත් කරගන්න කියලා. අපිට කියලා වැඩක් නැහැ.

සියලූදෙනා සමඟම එකතු වී මේ රටේ ජනතාවට එකට ජීවත් වීමට හැකි දේශපාලන විසඳුමක් ලබාදීමයි මේ රජයේ අපේක්ෂාව.

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව තිබෙද්දි මම දන්නවා 2015 ට පෙර සිටම ද්‍රවිඩ ජනතාවගෙන් අපිට ලැබුණ සහයෝගය. එහෙනම් උතුරේ ජනතාවට අනිත් ජනතාවට වගේ අයිතිවාසිකම් තිබීමට අවශ්‍යයි. ජීවත් වෙන්නට අවස්ථාව තිබිය යුතුයි. ඒවා ලබාදීමට අවශ්‍යයි. ඒවායින් ඈත්වීමට බැහැ. එය රට බෙදීමක් නෙවෙයි. ද්‍රවිඩ ජනතාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලබා දුන් සහය අගයමින්, ඔවුන්ගේ ගැටලු විසඳීමට අප ක්‍රියා කළ යුතුයි.

ඩී.එස්. සේනානායක මැතිතුමන් එදා කිව්වා ජාතික ගීය දෙමළෙන් ගයන්න කියලා. ඉන්පසු ළඟදී ජාතික ගීය දෙමළෙන් ගායනා කරද්දී එය අපරාධයක් බව ඇතැම් අය පැවසුවා. අපි නැවතත් ඉඩ දුන්නාම කීවේ රට පාවලා දෙනවා කියලා. අද සෑම දෙනාම එකට එකතු වී ජාතික ගීය සිංහලෙනුත් දෙමළෙනුත් ගායනා කරනවා. සිංහලෙන් වෙන්න පුළුවන් දෙමළෙන් වෙන්න පුළුවන් අපි සියලූ දෙනාම එක මවකගේ දරුවන් කියලා කීම වැරැද්දක් ද?

යුද්ධයෙන් විනාශ වුණු මේ උතුර දියුණු කිරීමට අපගේ විශේෂ වගකීමක් තිබෙනවා. අද ඇමැතිවරුන් ගණනාවක් සමඟ මම යාපනයට පැමිණියේ මේ ප්‍රශ්න ගැන කතා කරන්න. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කියන්න කැමතියි අපි උතුරේ තිබෙන ප්‍රශ්න විසඳන්නට සීග්‍රයෙන් ක්‍රියා කරනවා කියලා. ඒ ගැන කිසිම සැකයක් තබාගත යුතු නැහැ. නැවත මාස තුනකින් ඇවිල්ලා ඇමැතිවරු සමඟ මේ ප්‍රගතිය බලනවා කියලා මම කියන්න කැමතියි. මේ වැඩසටහන ආරම්භ කිරීම ගැන ඇමැතිතුමාටත්, අමාත්‍යාංශයේ සියලුදෙනාටත්, බැංකුවලටත් අපි ස්තුති කරමින් මාගේ කතාව මෙතනින් අවසන් කරනවා.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී හා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සුමන්තිරන්, එස්. ශ්‍රීධරම්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් ද සහභාගිව සිටියහ.

අදහස් 1ක් ඇත

mun eke theruma danneth nathinam , kohomada balaya beda ganne!!

නව අදහස දක්වන්න