සුපිරි ඕවරයෙන් එස්.එස්.සී දිනයි | දිනමිණ

සුපිරි ඕවරයෙන් එස්.එස්.සී දිනයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ බ්ලුම්ෆීල්ඩ් පිටියේ පැවැති තරගයකදී සුපිරි ඕවරයෙන් ජය ගැනීමට එස්.එස්.සී ක්‍රීඩකයෝ සමත් වුහ.

සැරසන්ස් පිල සමග පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී පිල සියල්ලන් දැවී ලකුණු 145ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 145ක් රැස් කළහ.

ඊයේ පෙරවරුවේ පැවැති මේ තරගවලදී ජයග්‍රහණ අත්කර ගැනීමට කෝල්ට්ස්, නාවික හමුදාව, එන්.සී.සී., වරාය අධිකාරිය සහ බදුරලිය ක්‍රීඩා සමාජ සමත් විය. කෝල්ට්ස් පිල පොලිසියට එරෙහිව මුවර්ස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 39ක ජයක් අත්කරගත් අතර නාවික හමුදාව කටුනායක පැවැති තරගයෙන් රාගමට එරෙහිව කඩුලු 4කින්ද, එන්.සී.සී පිල පානදුරට එරෙහිව සී.සී.සී. පිටියේදී ලකුණු 31කින්ද ජය අත්කර ගත්තේය. කෝල්ට්ස් පිටියේදී ගුවන් හමුදාවට එරෙහිව වරාය අධිකාරිය ලකුණු 18ක ජයක් අත්කර ගනිද්දී බදුරලිය ක්‍රීඩකයෝ ලන්කන් පිලට එරෙහිව පනාගොඩදී කඩුලු 4ක ජයක් අත්කර ගත්හ.

මේ තරගවලදී මෙවර තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සදීර සමරවික්‍රම සමත් විය. පන්දු 65කින් ශතක රැස්කළ සදීරගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 3කින් වර්ණවත් වූ අතර විශ්ව ප්‍රනාන්දු සමග එක්ව පළමු කඩුල්ලට පන්දු 72කින් ලකුණු 105ක් එක්කිරීමටද ඔහු සමත් විය. ප්‍රනාන්දු හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 63ක් රැස් කළේ පන්දු 36කිනි.

දසුන් ශානක (එස්.එස්.සී), නිපුන් කරුණානායක (සැරසන්ස්), මංජුල ජයවර්ධන (පොලිසිය), ජනිත් ලියනගේ (රාගම), යොහාන් චානුක (වරාය) සහ රවිඳු සෙම්බුකුට්ටිගේ (ගුවන්) මේ තරගවලදී අර්ධ ශතක රැස් කළහ.

අද පැවැත්වෙන තරග

එන්.සී.සී.-බ්ලුම්ෆීල්ඩ්, මුවර්ස්-එස්.එස්.සී (බී.ආර්.සී)
සැරසන්ස්-පානදුර, සී.සී.සී-පොලිසිය (පනාගොඩ)
කෝල්ට්ස්-මීගමුව, හලාවත-කළුතර (පොලිස් පිටිය)
යුද හමුදාව-නාවික හමුදාව, රාගම-වරාය (බ්ලුම්ෆීල්ඩ්)
ගුවන් හමුදාව-කුරුණෑගල යූත්, ද්‍රවිඩ සංගම්-ලන්කන් (කටුනායක)
බදුරලිය-ගාල්ල, බී.ආර්.සී-මහනුවර (සී.සී.සී)

නිරෝෂාන් ප්‍රියංකර


නව අදහස දක්වන්න