කොළඹ-භූතාන ට්‍රාන්ස්පෝර්ට් පළමු තරගය 20දා | දිනමිණ

කොළඹ-භූතාන ට්‍රාන්ස්පෝර්ට් පළමු තරගය 20දා

ප්‍රින්ස් ගුණසේකර
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා විසින් කොළඹ පාපන්දු සභාපති සායිෆ් යූෂුප් මහතා වෙත නිල පාපන්දුව තිළිණ කළ මොහොත. ලේකම් යූ. එල්. ජස්වර් කොළඹ පාපන්දු මාධ්‍ය ලේකම් අබීබ් අක්‍රාම් හා තාක්ෂණික අධ්‍යක්ෂ එම්. ප්‍රේමදාස යන මහත්වරු ද සිටිති.

මේ වසරේ පැවැත්වෙන ආසියා පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග දෙකකට කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය හා භූතානයේ ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායම සහභාගී වෙයි. එම කණ්ඩායම් අතර පළමු අදියරේ තරගය මේ 20 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන අතර දෙවන අදියර 27 වැනිදා භූතානයේ තිම්පු ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වසර 2017දී චැම්පියන් ලීග් පාපන්දු ශූරයන්වීම හේතුවෙන් කොළඹ ක්‍රීඩා සමාජය හා භූතානයේ ප්‍රධානතම තරගාවලිය ජය ගැනීම හේතුවෙන් භූතාන ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායම මේ මූලික වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ගත්හ. ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් 26කින් කණ්ඩායම් 43ක් මේ තරගාවලියට සහභාගී වේ. මේ මූලික තරග වට දෙකෙන් ජයගන්නා කණ්ඩායම ඉන්දියාවේ මිනර්වා පන්ජාබ්, බංගලාදේශයේ අබාහනි ලිමිටඩ් ඩකා හා නේපාලය මැනෑන්ග් මෑෂ්යන්ග් යන ක්‍රීඩා සමාජ සමඟින් ‘ඊ’ කාණ්ඩයෙන් තරග වැදීමට සිදුවනු ඇත.

කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය මෙයට පෙර 2017දී ඉන්දියාවේ මොහුන් බාගන් ක්‍රීඩා සමාජයට එරෙහිව මේ ආකාරයෙන්ම මූලික වටයේ තරග දෙකකට සහභාගීවී පරාජයට පත්විය. කොළඹ පාපන්දු සමාජ පිල වඩාත් ශක්තිමත් කිරීම උදෙසා නිව්යංග්ස් ක්‍රීඩක ඩස්කන් පුස්ලාස්, යුද හමුදාවේ අශිකූර් රහ්මාන් හා මාතර සිටි පිලේ නයිජීරියානු ක්‍රීජක අබුවී අයිසෑක් එක්ව සිටිති.

මේ සම්බන්ධව පැවැති මාධ්‍ය හමුවේදී කොළඹ පාපන්දු සභාපති සායිෆ් යූෂුප් මහතා පැවැසූවේ මේ තරග දෙක ජය ගැනීම උදෙසා කොළඹ පාපන්දු පිල පුහුණු කඳවුරකට යොමු කොට ඇති බවයි. විශාල විශ්වාසයකින් ක්‍රීඩකයන් මේ අදියර දෙකේ තරගවලට සහභාගීවන බව ඒ මහතා සඳහන් කළේය.

නව අදහස දක්වන්න