වතුකරයේ නිවාස සඳහා රු. බිලියන 02ක් | දිනමිණ

වතුකරයේ නිවාස සඳහා රු. බිලියන 02ක්

වතුකරයේ නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2018 වසර තුළ රුපියල් බිලියන දෙකක් වැය කරයි

වතු සේවක ජනතාවගේ ජීවන තත්ත්වය සහ නිවාස පහසුකම් නගා සිටුවීමේ අරමුණින් වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) විසින් නිවාස සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා 2018 වසර සඳහා රුපියල් බිලියන 2 ක මුදලක් වැය කර ඇති අතර වර්ෂ 2017 ට සාපේක්ෂව එය රුපියල් බිලියන 0.6ක් වැඩිවීමකි. වර්ෂ 2017 දී මේ සඳහා රුපියල් බිලියන 1.4 ක මුදලක් වැය කර ඇත.

කලාපීය වැවිලි සමාගම් (PHDT),වැවිලි වෘත්තීය සමිති,සහ ශ‍්‍රී ලංකා රජය යන අංශ තුන එක්ව සැදුම්ලත් (RPCs) හෙවත් වැවිලි මානව සංවර්ධන භාරය විසින් 210000 ක් වන වතු සේවක ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා සමාජ සංවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කරනු ලබයි.

පසුගිය වසර පුරා වැවිලි මානව සංවර්ධන භාරය, කලාපීය සමාගම් සහ රජය ඉතා සමීපව කටයුතු කරමින් නිවාස 1200 ක සංඛ්‍යාවක් සම්පූර්ණ කළ අතර මින් නිවාස 1045ක් වතු සේවක ජනතාව වෙත භාර දීමද සිදු විය. මේ සෑම නිවාසයක්ම කාමර දෙකකින්ද ,සාලයකින්ද,විසිත්ත කාමරයකින්ද,මුළුතැන්ගෙයකින්ද සහ ටයිල් කරන ලද වෙන්වූ නාන කාමරයකින්ද යුක්ත වේ. එසේම මේ වනවිට වතුකරයේ ජනතාවගෙන් පේළි නිවාස වලින් පිටත ජීවත් වන ජනගහනයද 20%ක් දක්වා වැඩි වී තිබීම විශේෂත්වයකි.

මේ පිළිබඳව අදහස් දක්වන වැවිලි මානව සංවර්ධන භාරයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් පෙරේරා මහතා,”වතු ජනතාවට ප‍්‍රමාණවත් නිවාස ලබා දීමේ අභියෝගයට අපි මුහුණ දී සිටිනවා.කෙසේවෙතත් මෙම ප‍්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙතෙක් අප විසින් සිදු කර ඇති වැඩ කොටස සහ එහි ප‍්‍රගතිය ප‍්‍රශස්ත බව පිළිගත යුතු වෙනවා.ඉදිරියටත් ධනාත්මක වෙනසක් ඇතිකරමින් පවතින තත්ත්වය වැඩි දියුණු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

මේ පිලිබඳ ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ‘‘නිවාසයක් ලබා දීම තුළින් සැබෑ නිවසක හිමිකාරිත්වය පිලිබඳ හැඟීම ඔවුන්ට ලබා දෙනවාට අතිරේකව ඔවුන් සමග වඩාත් සමීපව කටයුතු කරමින් ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අවස්ථා උදාකරදීම, නිවසක මුදල් කළමනාකරණය සහ ඉතුරුකිරීම් පිලිබඳ අවබෝධයක් ලබා දීම වැනි කටයුතු සඳහා උපදෙස් දීමද සිදු කරන බවයි.

2018 නිවාස ව්‍යාපෘතිය තුළ ආපදා සහන නිවාස 450ක්ද ,නිවාස අයිතිකරුවන් විසින්ම සකසන ලද නිවාස 150ක්ද ,සහ පෙර සවි නිවාස ඒකක 50ක්ද අයත් වූ අතර 2017 දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කෙරිණි. මේ අතර නව නිවාස සාදා භාර දෙන තෙක් ගාල්ල,රත්නපුර,බදුල්ල,කෑගල්ල ,නුවර,හැටන් සහ නුවරඑළිය යන ප‍්‍රදේශ වල නිවාස ඒකක 600 ක් නැවත සෙවිලි කල අතර ඒ සඳහා කල ආයෝජනය රුපියල මිලියන 25 ක් වේ.

වතුකරයේ ජනතාව සහ නාගරික ජනතාව අතර සම්බන්ධය ගොඩ නැංවීම සඳහා මෙම සැම ව්‍යාපෘතියක් තුළම නව ජල යෝජනා ක‍්‍රම,සනීපාරක්ෂක පහසුකම්,ප‍්‍රජා ශාලා ,ළමා සංවර්ධන මධ්‍යස්ථාන,සහ කොන්ක‍්‍රීට් මං මාවත් වලින්ද යුක්ත වේ.

ගෙවුණු වසර තුළ වැවිලි මානව සංවර්ධන භාරය සහ ප‍්‍රාදේශීය වතු සමාගම් ලෝක බැංකුවේ ජල සැපයුම් සහ සනීපාරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සමග එක්ව පොදු වැසිකිළි පද්ධති දියුණු කල අතර මේ යටතේ තනි ඒකක වැසිකිළි 300ක් සහ තවත් වැසිකිළි 2000 ක ප‍්‍රමාණයක් රුපියල් මිලියන 80ක ආයෝජනයකින් නිම කර ඇත.

 

නව අදහස දක්වන්න