ශ්‍රී ලංකා පළමු ඉනිම 191කට සීමා වෙයි | දිනමිණ

ශ්‍රී ලංකා පළමු ඉනිම 191කට සීමා වෙයි

වේගපන්දු යවන්නන්ගේ පාරාදීසයක් බවට පත්වූ කිංග්ස්මීඩ් තණතීරුවේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191කට සීමා කරමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානුවෝ දෙපිල අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 126ක් ලබා සිටියහ. ඒ අනුව දකුණු අප්‍රිකානු පිල කඩුලු 6ක් අතැතිව ලකුණු 170ක් ඉදිරියෙන් සිටී. දිනය නිමාවනවිට නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 25ක් සහ ක්වින්ටන් ඩි කොක් ලකුණු 15ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ඊයේ පස්වරු තේ පානයට පෙර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 191කට සීමා කළ දකුණු අප්‍රිකානු පිල සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර ආරම්භක පිතිකරු යුගලය ඩීන් එල්ගාර් සහ ඒයිඩ්න් මැක්‍රාම් සම්බන්ධතාව ලකුණු 36කට සීමා කිරීමට සමත්වූයේ කසුන් රාජිතය. මැක්‍රාම්ගේ කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පිටියට පැමිණි හෂීම් අම්ලා සමග එක්වූ එල්ගාර් මුළු ලකුණු සංඛ්‍යාව 70 දක්වා ඉහළ දැමූ අතර එය නිමාවට පත්වූයේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ අම්ලා දැවීයාමත් සමගය. අනතුරුව තවත් ලකුණු 25ක් ඇතුළත කඩුලු දෙකක් දවාගත් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය දකුණු අප්‍රිකානුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරිමට සමත්විය.

ඊයේ දිවා ආහාරය වනවිට කඩුලු 6කට ලකුණු 133ක් ලබා සිටි ශ්‍රී ලංකා පිලට ඉන් අනතුරුව එක්වූයේ ලකුණු 58ක් පමණි. දිවා ආහාරයෙන් පසුව ලකුණු 19ක් ඇතුළත සුරංග ලක්මාල් සහ කුසල් ජනිත් පෙරේරා දවාලීමට ස්ටේන් සමත්විය. ඊයේ දිනයේ ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන ගිය කුසල් ජනිත් සිය අර්ධ ශතකය රැස් කිරීමට සමත්වූ අතර පන්දු 63කට මුහුණදෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් එල්ල කළේය. සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 24ක් ලබාගැනීමට සමත්විය.

ඩේල් ස්ටේන් කඩුලු 4ක් දවාලූ අතර වර්නන් ෆිලෙන්ඩර් සහ කගීසෝ රබාඩා අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

ලකුණු 49කට කඩුල්ලක් අහිමිව තිබියදී ඊයේ දිනය ඇරැඹු ශ්‍රී ලංකා පිලට ලකුණු 2ක් එක්වෙද්දී ඕෂද ප්‍රනාන්දුගේ මංගල ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම ලකුණු 19කට සීමා කිරීමට ඩේල් ස්ටේන් සමත් වූයේ ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. ස්ටේන්ට මනා සහයක් ලබාදුන් වර්නන් ෆිලෙන්ඩර් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 52ක් වෙද්දී නායක දිමුත් කරුණාරත්නගේ ඉනිම නිමාකළ අතර සිවුවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 12කට පිටියෙන් ඉවත් කිරීමටද සමත් විය. පන්දු 59කට මුහුණදුන් කරුණාරත්න හතරේ පහර 3ක් සමගින් ලකුණු 30ක් රැස් කළේය.

ලකුණු 8ක් ලබාසිටි නිරෝෂන් දික්වැල්ල, ඩුආන් ඔලිවර්ගේ පන්දු හමුවේ ස්ටේන් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක ලකුණු 90ක් ලෙස සටහන් කරමිනි.

අනතුරුව කුසල් ජනිත් සමගින් එක්වූ ධනංජය ද සිල්වා මුළු ලකුණු 133 දක්වා ඉදිරියට ගෙන ගිය අතර කගීසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ඩුආන් ඔලිවර් උඩ පන්දුවක් රැක ගැනීමෙන් සිල්වා දැවී යෑමෙත් සමග තරගය දිවා විවේකය සඳහා නතර කෙරිණි. පන්දු 33කට මුහුණදුන් සිල්වා හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 23ක් රැස් කළේය.

අද තරගයේ තෙවැනි දිනයයි.

නව අදහස දක්වන්න