ජාතික කැරම් ශූරතාව පළමු වරට ෂහීඩ් හිල්මිට | දිනමිණ

ජාතික කැරම් ශූරතාව පළමු වරට ෂහීඩ් හිල්මිට

කාන්තා කේවල ශූරියවු චලනි ලක්මාලි ලියනගේ (වමේ) සහ අනුශූරතාව දිනාගත් රෙබෙකා ඩැල්රින්

ශූරිය චලනිට ද්විත්ව ශූරතා

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය 51 වැනි වරට සංවිධාන කළ ජාතික කැරම් ශූරතාවලියේදී මංගල ජාතික ශූරතාව දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ෂහීඩ් හිල්මි සමත් විය.

පිරිමි කේවල අවසන් තරගයේදී හිල්මි හමුවේ තෙවරක් ජාතික ශූරයා බවට පත්වු ලෝක ශූර නිශාන්ත ප්‍රනාන්දු වට 2-1කින් පරාජයට පත්විය. තරගයේ පළමු වටයේදී ලකුණ 22-25ක් ලෙස ජය ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් වුවත් දෙවැනි වටය 25-20ක් ලෙස ජයගත් හිල්මි තෙවැනි වටයේදී 25-04ක පහසු ජයක් සමගින් ශූරතාව හිමිකර ගත්තේය.

නිශාන්ත ප්‍රනාන්දු පසුගිය වසරේත් අනුශූරයා වූ අතර එවර චමිල් කුරේ හමුවේ පරාජයට පත්ව තිබිණි.

කැරම් මේසයේ ආධිපත්‍ය පතුරවමින් 14 වරක් කැරම් ශූරයා ලෙස කිරුළ පැළිදි චමිල් කුරේ මෙවර තරගාවලියට එක්නොවීය.

කාන්තා කේවල අවසන් තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ රෙබෙකා ඩැල්රින් ලකුණු 25/23, 16/25 සහ 25/00ක් ලෙස වට 2-1කින් පරාජය කරමින් තෙවැනි ජාතික කැරම් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි ලියනගේ සමත්වූවාය. ශූරීය වූ ඇය, උදේෂ් චන්දිම පෙරේරා සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාවද දිනා ගත්තේ මෙවර තරගාවලියේ ද්විත්ව ශූරතා හිමිකර ගනිමිනි.

මෙවර ජාතික කැරම් ශූරතාවලියේදී ‘වයිට් ස්ලෑම්’ (ප්‍රතිවාදියාට අවස්ථාවක් නොදී තරගවාරයක් නිමා කිරීම්) හයකින් වර්ණවත් කිරීමට ක්‍රීඩකයන් හයදෙනෙකු සමත් වීම කැපී පෙනුණි. එහිදී ෂහීඩ් හිල්මි, නිශාන්ත ප්‍රනාන්දු, හුනයිඩ් හටීම්, උපාලි ප්‍රේමචන්ද්‍ර, එම්.ෂෙරිෆ්ඩීන් සහ ඩබ්.එම්.මුෆීෂ් එම ස්ලෑම් වාර්තා කළහ.

තරග ප්‍රතිඵල

කේවල පිරිමි - .1 ෂහීඩ් හිල්මි (කොළඹ රාජකීය), 2.නිශාන්ත ප්‍රනාන්දු (නාවික හමුදාව), 3.ඉෂාන් කන්නංගර (යුද හමුදාව), කාන්තා - 1.චලනි ලක්මාලි ලියනගේ (ගුවන් හමුදාව), 2.රෙබෙකා ඩැල්රින් (යුද හමුදාව), 3.එම්.චිත්‍රාදේවී (යුද හමුදාව)

යුගල පිරිමි - 1.එම්.ෂෙරීෆ්ඩීන්/චරිත් මධුසංක (යුද හමුදාව), 2.අනස් අහමඩ්/සුරාජ් මධුවන්ත (යුද හමුදාව), 3.හසිත අනුරුද්ධ/එවෝන් වික්‍රමසිංහ (ගුවන් හමුදාව), කාන්තා - 1. ජෝශප් රොෂිටා (නාවික)/තරුෂි හිමහංසිකා (නුගේගොඩ මහාමායා බාලිකා), 2.මධුවන්ති ගුණදාස/එම්.චිත්‍රාදේවී (යුද හමුදාව), 3.යසිකා රාහුබද්ධ/චලනි ලක්මාලි ලියනගේ (ගුවන් හමුදාව)

මිශ්‍ර යුගල - 1.උදේෂ් චන්දිම පෙරේරා/චලනි ලක්මාලි ලියනගේ (ගුවන් හමුදාව), 2. අනස් අහම්ඩ්/රෙබෙකා ඩැල්රින් (යුද හමුදාව), 3.හසිත අනුරුද්ධ/යසිකා රාහුබද්ධ (ගුවන් හමුදාව)

ප්‍රවීණ - 1.හුනයිඩ් හටීම් (දෙමටගොඩ යුනයිටඩ්), 2.උපාලි ප්‍රේමචන්ද්‍ර (ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව), 3.කේ.යූ.එස්.ටී.ප්‍රසාද් (මහනුවර ක්‍රීඩා සමාජය)

නිරෝෂාන් ප්‍රියංකර

නව අදහස දක්වන්න