රග්බි පිටියේ දැවැන්තයෝ හෙට ගැටෙති | දිනමිණ

රග්බි පිටියේ දැවැන්තයෝ හෙට ගැටෙති

ෆවුස් මොහොමඩ්

සුපිරි හතරේ වටයේදී ඔවුනොවුන්ගේ ප්‍රතිවාදියා තීරණය කෙරෙන අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ අවසන් තරගපෙළ හෙට (16) ආරම්භ වෙයි. පසුගිය සතියේදී සී.එච්.පිල හමුවේ ලකුණු 40-33කින් පරාජයට පත්වූවද සමස්ත ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජයට වඩා එක් ලකුණක් පමණක් පසුපසින් සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හෙට වත්මන් ලීග් ශූර මහනුවර කණ්ඩායම සමග සිය ක්‍රීඩා පිටියේදී තරග වදින්නේ සුපිරි වටයට යාමට පෙර පෙරමුණ අත්කර ගැනීමේ අභිලාෂය ඇතිවය.

දෙවැනි වටයේ අවසන් තරගවලට පසුව සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම මේ මස 23 වැනිදා පැවැත්වෙන සුපිරි හතරේ වටයේ පළමු තරගයට එක්වන්නේ සමස්ත ලකුණු සටහනේ සිවුවැනි තැනට පත්වන කණ්ඩායම සමගය. එම වටයේ දෙවැනි තරගය මේ මස 24 වැනිදා පැවැත්වෙන්නේ සමස්ත ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම සහ තුන්වැනි ස්ථානයට පත්වන කණ්ඩායම අතරය. මෙතෙක් පැවැති තරග 13ක් අතරින් තරග 11 බැගින් ජයගැනීමට මහනුවර සහ හැව්ලොක්ස් දෙපිලම සමත්වී ඇති අතර මහනුවර පිල ප්‍රසාද ලකුණු 12ක් සමග මුළු ලකුණු 67ක් ලබාගනිද්දී හැව්ලොක්ස් පිල ප්‍රසාද ලකුණු 11ක් සමග මුළු ලකුණු 66ක් ලබා සිටී.

තරග 9ක් ජයගැනීමට සමත්වූ මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම සී.එච්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු 12ක් සමග මුළු ලකුණු 57ක් ලබා සිටින අතර සුපිරි හතරේ වටයේ සිය ප්‍රතිවාදියා තීරණය කෙරෙන තරගයට හෙට කොළඹ තුරඟ තරග පිටියේදී එක්වන්නේ යුද හමුදා ක්‍රීඩා සමාජය සමගය. තරග 5ක් ජයගත් යුද හමුදා පිල ප්‍රසාද ලකුණු 4ක් සමග මුළු ලකුණු 35ක් ලබා පස්වැනි තැන පසුවෙයි. හෙට පැවැත්වෙන අනිකුත් තරගය වන්නේ තරග 6ක් ජයගෙන ප්‍රසාද ලකුණු 8ක් සමග මුළු ලකුණු 41ක් ලබා ලකුණු සටහනේ සිවුවැනි තැන පසුවන සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා පිල අතරය. රත්මලානේදී මේ දෙපිල තරග වදින අතර ගුවන් හමුදා පිල මෙතෙක් එක් තරගයක් පමණක් ජයගෙන ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි. දෙවැනි වටයේ අවසන් තරගය අනිද්දා (17) පස්වරුවේ වැලිසර දී පැවැත්වෙන්නේ නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතරය.

තරග 4ක් පමණක් ජයගත් නාවික හමුදා පිල මෙවර තරගාවලියේදී දැඩි පසුබෑමකට ලක්වී සිටින අතර ප්‍රසාද ලකුණු 12ක් සමග මුළු ලකුණු 32ක් ලබා 6 වැනි තැන රැඳී සිටී. ඔවුන්ට මේ තරගයේදී ප්‍රසාද ලකුණු 8ක් සමග මුළු ලකුණු 26ක් ලබා 7 වැනි තැන සිටින පොලිස් පිල වෙතින් දැඩි අභියෝගයක් එල්ල වනු නිසැකය.

ඉදිරියෙන් පසුවන කණ්ඩායම් හතර මේ සති අන්තයෙන් පසුව සුපිරි හතර වටයට යද්දී සෙසු කණ්ඩායම් හතර පලඟ ශූරතා තරග වටයට එක්වනු ඇත. එම වටයේ පළමු තරගය මේ මස 22දා පස්වැනි ස්ථානයේ පසුවන කණ්ඩායම සහ අටවැනි තැනට පත්වන කණ්ඩායම අතර පැවැත්වෙයි. එහි දෙවැනි තරගය 23 වැනිදා 6 වැනි ස්ථානයට පත්වන කණ්ඩායම සහ 7 වැනි තැනට පත්වන කණ්ඩායම අතර පැවැත්වෙයි. කුසලාන සහ පලඟ ශූරතා සුපිරි වට ද්විත්වයෙන් පසුව සමස්ත ජයග්‍රාහකයන් තීරණය කෙරෙන්නේ ලීග් තරගාවලියේ පළමු වටයේ සිට කණ්ඩායම් ලබාගත් සමස්ත ලකුණු සංඛ්‍යාව අනුවය.

නව අදහස දක්වන්න