ගොවි තාත්තා | දිනමිණ

ගොවි තාත්තා

ඉඳුනිල් වීරරත්න

මෙය ආසියාවේම අඳ ගොවියකුගේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කෙරෙන ප්‍රථම සිනමා පටය. ඒ ගොවියා මගේ පියා. ඒ වගේම මෙය විශේෂ වෙනවා සංගීතවේදියෙක් නිර්මාණය කරන ලංකාවේ ප්‍රථම සිනමා පටය වීම නිසා. ඉන්දියාවේ සංජය ලීලා බන්සාලි, සත්‍යජිත් රායි වැනි අය සිටිනවා. ලංකාවේ මෙය ප්‍රථම ඓතිහාසික අවස්ථාව. නිෂ්පාදනය කරන්නෙත් ගොවි මහත්තයෙක් මයි. ඔහු පාරම්පරික කාබනික කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවි මහත්තයෙක් මෙන්ම යහපත් ගොවිතැන කරන ගොවි මහත්මයයෙක් වන සරත් බණඩාර කොක්වැව. ඔහුත් පොලොන්නරු ප්‍රදේශයේ. මෙය නිෂ්පාදනය කරන්න ගොඩක් අය හිටියා. සංගීත වේදියෙක් කරන නිසා ගොඩක් මාකටින්. ඒ නිසා ගොඩක් අය මාව හඹාගෙන ආවා මෙය නිෂ්පාදනය කරන්න. නමුත් මට ඕන වුණා හරිත පරිසරයට ආදරය කරන, පරිසරයට ළැදි ව්‍යාපාරිකයෙක්ව සොයාගන්න.

රජී වසන්ත වෙල්ගම රචනා කර විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘මේ තරම් සියුමැලිද කළුගල්‘ ගීතය අපේ රටේ සුභාවිත ගීත අතර දිදුලන නිර්මාණයක්. මෙහි සංගීතය නිර්මාණය කළ ඔහු දර්ශන රුවන් දිසානායක. ඒ වගේම සමනල සංධ්වනිය චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු අමිල තේනුවර පද රචනා කරමින් විශාරද අමරසිරි පීරිස් ගයන ‘ඉකි ගසා හඬන අතීතයක‘ ගීතයේද සංගීත නිර්මාණ ශිල්පියා වූයේ දර්ශනයි. මෙලෙස විවිධ පරාසයන්හි ගැයෙන අපූර්වත්වයකින් යුතුව විඳින්නට හැකි ගීත දහසකට වැඩි ප්‍රමාණයක් ගීත නිර්මාණය කර ඇති මේ සංගීත වේදියා ඕසීඅයිසී ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ සම්මාන උලෙළ වලදී සම්මානයට පාත්‍ර වුණා. අළු බඳුන, ගොළු තාත්තා, මද්දහන, හේලි, රනා, යැවි අහස යට, වාමන යාමය ඇතුළු ටෙලි නාට්‍ය තිහකට අධික සංඛ්‍යාවකට සංගීත නිර්මාණය කරමින් රසික හදවත්වලට ආදරණිය ලෙස ආමන්ත්‍රණය කරන දර්ශනගේ අලුත්ම නිර්මාණ කාර්යය වන්නේ ‘ගොවි තාත්තා‘ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණයයි. මෙය වෙනත් රටවල අරුමයක් නොවුණද අපේ රටේ සංගීත වේදියකු විසින් සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන පළමු අවස්ථාවද වෙනවා. මේ නිසාම මෙවර රසඳුන මැද පිටුව අප දර්ශන වෙනුවෙන් වෙන් කළා.

ඔබේ නිර්මාණය පිළිබඳව හඳුන්වා දෙමින් කතා බහ අරඹමු...

මේ නිර්මාණය ගොවි තාත්තා. මෙය ආසියාවේම අඳ ගොවියකුගේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කෙරෙන ප්‍රථම සිනමා පටය. ඒ ගොවියා මගේ පියා. ඒ වගේම මෙය විශේෂ වෙනවා සංගීතවේදියෙක් නිර්මාණය කරන ලංකාවේ ප්‍රථම සිනමා පටය වීම නිසා. ඉන්දියාවේ සංජය ලීලා බන්සාලි, සත්‍යජිත් රායි වැනි අය සිටිනවා. ලංකාවේ මෙය ප්‍රථම ඓතිහාසික අවස්ථාව. නිෂ්පාදනය කරන්නෙත් ගොවි මහත්තයෙක් මයි. ඔහු පාරම්පරික කාබනික කෘෂි කර්මාන්තයේ යෙදෙන ගොවි මහත්තයෙක් මෙන්ම යහපත් ගොවිතැන කරන ගොවි මහත්මයයෙක් වන සරත් බණඩාර කොක්වැව. ඔහුත් පොලොන්නරු ප්‍රදේශයේ. මෙය නිෂ්පාදනය කරන්න ගොඩක් අය හිටියා. සංගීත වේදියෙක් කරන නිසා ගොඩක් මාකටින්. ඒ නිසා ගොඩක් අය මාව හඹාගෙන ආවා මෙය නිෂ්පාදනය කරන්න. නමුත් මට ඕන වුණා හරිත පරිසරයට ආදරය කරන, පරිසරයට ළැදි ව්‍යාපාරිකයෙක්ව සොයාගන්න.

මේ සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත් වීමක් තිබෙනවා...

ජනාධිපති තුමා මේකට මැදිහත් වෙන්නෙ මේ මැරිච්ච ගොවියාගේ (මගේ පියාගේ) මිත්‍රයෙක් හැටියට. එතුමා මගේ පියා සහ මම එකම ගමේ. දේශපාලන මැදිහත් වීමක් නොවේ. එතුමාට ඇත්තටම වුවමනායි මේ රසායනික භාවිතය තුළ ගොවියාගේ ඛේදවාචකය පිළිබඳව සැබෑව රටට හෙළි කරන්න. මෙහි නිෂ්පාදන කටයුතු මෙහෙය වන්නේ රිදම් ඔෆ් දි අර්ත් (Rythem of the Earth) පදනම විසින්. එය හරිත කලා පදනමක්. එහෙම බලන කොට සියල්ලම හරිත. හරිත පරිසරයට ආදරය නොකරන කිසිම කෙනෙක් අපි මෙයට ගන්නේ නැහැ. ඒ නිසා මේක වාර්තාවක්.

මෙයින් ඔබ කියන්න උත්සාහ ගන්නේ මොන වගේ කතාවක්ද ?

රසායනික භාවිතය තුළ ගොවියාගේ ඛේදවාචකය තමයි මේ කතාවෙන් කියැවෙන්නේ. මේ රසායනික දේවල් කෘෂි කර්මාන්තයට භාවිතා කිරීම නිසා රජරට මිනිසුන් විශාල ගැටලු රැසකට මුහුණ දීලා තිබෙනවා. මේ ඛේදවාචකයට මුහුණ දුන් ගමක් තමයි උණගලාවෙහෙර ගම. මෙහි වර්ග කිලෝ මීටර් ගණනාවක වෙල් යායක් තිබෙනවා. සෑහෙන ප්‍රමාණයට වී නිෂ්පාදනයක් එහි තිබෙනවා. 80න් පසුව ආව නව කෘෂිකාර්මික ප්‍රවණතා හරහා විනාශ වුණේ ගොවිකම විතරක් නෙමෙයි. ගොවිකම විනාශ වෙනකොට සංස්කෘතිය විනාශ වුණා. සංස්කෘතිය විනාශ වෙනකොට හැදියාව විනාශ වුණා. හැදියාව විනාශ වෙනකොට අප පවත්වාගෙන ආව යහපත් ක්‍රමය විනාශ වුණා. ඒ තුළ මිනිස්සුන්ගේ කුහකත්වය බෙදී වෙන්වීම් මානසික ආතතිය මේ සියල්ලම ගම් වලට බැස්සා. ඒක මේ චිත්‍රපටය ඇතුළේ කතාවට ලක්වෙනවා. ගමයි, පන්සලයි වැවයි දැගැබයි යන සංකල්පය තමයි එදා අපේ තිබුණේ. එය ලෝකයේ තිබුණු දියුණු සංස්කෘතියක්. කෙත සරුකරන කොට ඒකෙ අතිරික්තයෙන් තමයි පන්සල පැවතෙන්නේ. පන්සල හැදෙන්නේ ගමේ පිහිටි උසම ස්ථානයේ. එය තමයි ගමෙ නිසරුම තැන. වතුර එකතුවෙන තැන වැව හැදෙනවා. භූමිය අපූරු ලෙස කළමනාකරණය කළා අපේ එදා මිනිස්සු. ගොවියා යනු හොඳ ගුරුවරයෙක්. ඔහු පරිසරයෙන් ඉගෙන ගෙන අනාගත පරපුරට කියලා දෙනවා. ගොවියා නිෂ්පාදක වරයෙක්. මුළු සමාජයක්ම යැපෙන්නේ එයා මත එයාගේ නිෂ්පාදන මත. මේ ගුරුවරයා ගවේෂකයෙක් වෙන්නෙත් ගංගා නිම්න ආශ්‍රිතව පදිංචි වෙලා කැලේ තියෙන වී වර්ග, ධාන්‍ය වර්ග වෙනම ගෙනැල්ල ජලය කළමනාකරණය කරලා තමයි මේ කාර්යය කරන්නේ. ඒ වගේම ගොවියා හොඳ සෞන්දර්ය වාදියෙක්. ඒ නිසා තමයි ජන කවිය නිර්මාණය වන්නේ. ජන කවිය, ජන ගී, ජන නැටුම්, ජන සංගීතය මේ සියල්ල එන්නේ ගොවියාගෙන්. මේ පිළිබඳව මේ සිනමා පටය තුළ තිබෙනවා.

මෙය අධ්‍යක්ෂණය කරන්න ඔබ තීරණය කරනවා...

මේ සිනමා පටය මම අධ්‍යක්ෂණය කරන අතර සමස්ථ නිර්මාණයම අධික්ෂණය කිරීම සඳහා උපදේශක කෙනෙක් ඉන්නවා විදෙස් චිත්‍රපට වල වගේ. ඔහු තමයි මහාචාර්ය සුසිල් රණසිංහ මහතා. මෙය ටීම් වර්ක් එකක්.

මගේ පියා බොහොම හොඳ සෞන්දර්ය වාදියෙක්. එයා කමතේ වෙලේ පැලේ වැඩ කරන කොට ගීතයත් එක්ක තමයි ජීවත් වුණේ. මේ සිනමා පටය සෞන්දර්යයෙන් පිරුණු සිනමා පටයක්. ගීත හතරක් මෙයි ඇතුළත් වෙනවා. මෙය අපි කරන්නේ ජාත්‍යන්තර මට්ටමට. මෙහි ධාවන කාලය පැය එකහමාරක්. මෙතෙක් කරලා තිබෙන ශ්‍රී ලාංකේය චිත්‍රපට ආකෘතියෙන් බැහැර වෙලා වෙනස් ආකෘතියකට යන්න හිතාගෙන ඉන්නවා. සාමාන්‍ය සම්ප්‍රදාය වෙනස් කරමින්. විශේෂයෙන් සංගීතය. මෙහි සංගීතය මම ම නිර්මාණය කරන නිසා හොඳ සාර්ථක නිර්මාණයක් බිහිකරන්න හැකිවේවි යැයි විශ්වාස කරනවා.

ගොඩක් සිනමාපටවලට මට සංගීතය නිර්මාණය කරන්න හම්බ වුණා. හැබැයි මගේ හිතේ තියෙන දේ සියයට සියයක් මට ඒවාට දෙන්න බැරිවුණා. ඒකට හේතුව ඒ ඒ අධ්‍යක්ෂවරුන්ගේ දැක්මට යටත් වෙන්න මට සිදුවීම. ඒ නිසා නිර්මාණයක් කරන වෙලාවට අපේ දේ ලඝු කර ගන්නවා. එය බොහෝවිට මට පමණක් නොවෙයි අනෙක් සංගීත වේදීන්ටත් පොදුයි. මෙතැනදී ඊට උපරිම නිදහසක් තිබෙනවා. සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා සංගීත නිර්මාණ ශිල්පියාට (Music Composer) සකල විධ කලාවන් හරහා ගමන් කරන අධි සංවේදී නුවණ සහ වේගය තියෙනවා කියලා. ඒ වේගය ආලෝකයේ වේගයට වඩා වැඩියි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒ පිළිබඳව කසුන් කල්හාරියි මමයි සතුටු සාමීචියේ යෙදුණු දවසක කතා වුණා. අපි දෙන්නාගේම අදහසකට අනුව දෙන්නාම චිත්‍රපට දෙකක් කරමු කියන අදහසින් තමයි එදා ඒ කතාව අවසාන කළේ. මම වගේම කසුනුත් ළඟදීම චිත්‍රපටයක් පටන් ගනියි. ඒ ප්‍රවණතාව ඉස්සරහට බෝවෙලා යාවි කියලා මම විශ්වාස කරනවා. ඒකට පුරෝගාමියෙක් විදිහට ඉස්සරවෙලාම මම අඩිය තිබ්බා. කවුරු හරි කොහෙන් හරි ආරම්භ කරන්න ඕනනෙ. මම දන්නවා එහෙම ආරම්භ කරන කෙනාට ගල් මුල් ප්‍රහාර එන්න ගන්නවා හෙට අනිද්දට. මේ වෙනකොටත් එන්න අරගෙන තියෙන්නේ.

මෙවැනි ගල් මුල් ප්‍රහාර ඔබට අරුමයක් නොවෙයි...

ඔව්, මම මියුසික් ෆීල්ඩ් එකේ අලුත් දෙයක් කරන්න උත්සාහ ගද්දීත් මට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වුණා. එහෙත් මම ඒ වෙනස ඇති කළා යැයි සිතනවා. මම අලුත් පරම්පරාවක් හැදුවා. ඒ ගොල්ලෝ හොඳට ජිව්ත්වෙනවා. ඒකෙදි යම් ප්‍රවීණයෝ මාත් එක්ක තරහා වුණා. මාව නොකළ දේවල් වලට මාව කුරුසයේ ඇණ ගහන්න හදනවා. හැබැයි ඒ ගැන මගේ කිසිම වේදනාවක් නැහැ. මොකද මම හදපු මල්ටික බොහොම සුවඳවත්ව පිපිලා තියෙන කොට මම කරපු දේ හරියි කියලා මට හිතෙනවා. ඒ වගේම යහපත්ව අත්වැල් බැඳගත් ප්‍රවීණයෝ මාත් එක්ක ඉන්නවා. උදාහරණයක් හැටියට ආචාර්ය අමරදේවයන් මියයන තුරුම මම කරන වැඩ පිළිවෙළ අගය කළා. මේ ලෝකය පිළිබඳව සංවේදීකමක් හැදෑරීමක් ඇත්තටම හදවතේ තියෙන හැම කෙනෙක්ම මාත් එක්ක ඉන්නවා. එහෙම නොවන කිසි කෙනෙක් මාත් එක්ක නැහැ. ඕක තමයි ඇත්ත.

මෙහි රඟන නළු නිළියන් පිළබඳව කියන්න...

නළු නිළියන් තෝරා ගනිද්දි සමහරු මඩගාගන්න කැමැති වුණේ නැහැ. මඩ ගාගන්න වෙනවා කියලා ප්‍රතික්ෂේප කරපු අය හිටියා. ඒත් මේ චරිතයට ලංකාවේ දැනට ඉන්න ඉතා ප්‍රබල රංගධරයකු තෝරාගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපි වෙනම කතිකාවතකින් ඉදිරියේදී හමුවෙමු.

ගොවි තාත්තාගේ චරිතය, ඔහුගේ බිරිය බිසෝ මැණිකා. සහ ගමේ දෝලනය වන ගැටෙන චරිත ටික. ඒ වගේම ගමේ ඉන්න රදළ සහ වැඩ වසම් ක්‍රමය ගොඩ නැගෙන හැටි. ඒකට විරුද්ධව නැගී සිටින කොට හැල හැප්පීමක යෙදෙන පිරිසගේ චරිත ටික මේ චිත්‍රපටයේ තිබෙනවා. ඒ වගේම සැබෑ චරිත අන්වර්ථ නාම වලිනුත් තිබෙනවා. ඒ වගේම මේ ගොවි තාත්තා තුළින් කියන්න ඕන අදහස වෙනම එකතු කරලා තිබෙනවා. මමයි ආචාර්ය සුනිල් රණසිංහයන් එකතු වෙලා තමයි ඒ දේ නිර්මාණය කරන්නේ. මෙහි තිර රචනය අමිල තේනුවරගේ. කතාව සහ අදහස මගේ. අමිල තවමත් මෙම පිටපතේ වැඩ කටයුතු කරගෙන යමින් ඉන්නේ.

මෙහි රූගත කිරීම් ඇරැඹෙන්නේ කවදාද ?

සිංහල අලුත් අවුරුද්ද අවසන් වෙලා කුඹුරු වලට වතුර හරවන කොට තමයි මෙහි රූගත කිරීම් ආරම්භ කරන්නේ. වතුර හැරවෙනකොට මිනිසුන් කුඹුරු වැඩ පටන් ගන්නවා. හාන පෝරු ගාන කොට අපේ ෂූටින් පටන් ගන්නවා. ටික දවසකින් පැළ ගොයම එනවා. ඒ සැබෑ දර්ශන ලස්සනට රූගත කරන්න පුළුවන්.

උණගලා වෙහෙර ගම්මානය තෝරාගැනීමට විශේෂ හේතුවක් තිබෙනවාද ?

වකුගඩු රෝගය නිසා අභියෝගයට ලක්වෙලා තිබෙන ලංකාවේ ප්‍රධානම ගමක් තමයි උණගලාවෙහෙර ගම්මානය. ඉස්සර ලස්සනට තිබුණු ගමක්.

මෙහි ගීත පිළිබඳවත් කිසියම් විශේෂත්වයක් තිබෙනවාද ?

සේනානයක වේරලියද්ද ප්‍රථම වරට සිනමා ගීතයක් ගායනා කරනවා. ඔහු ගමේ උපන්, තවම ගොවිතැනේ යෙදෙන කෙනෙක් නිසා මට හිතුණා ඒ අව්‍යාජ ශ්‍රී ලාංකේය හඬ මේකට යොදාගන්න. මේ චිත්‍රපටය උප ශීර්ෂ යොදලා ලෝකයේ විවිධ රටවල ප්‍රදර්ශනය කරන්න අදහසක් තිබෙනවා. මෙහි විවිධ ගීත 4ක් තිබෙනවා. ඒ වගේම එම ගීත සංගීත ශෛලීන් කිහිපයකට අයත් වෙනවා. මෙය 89 සිට 2013 දක්වා එන කතාවක්. 2000න් පස්සේ නිර්මාණය වන සංගීතය සහ ගීත පවා වෙනස්ම හැඩයක් ගන්නවා. මොකද අපි ගීතයකින් තමයි මෙහි කාලය වෙනස් කරන්නේ.

මමත්, ආචාර්ය සුනිල් රණසිංහ, රජී වසන්ත වෙල්ගම සහ අමිල තේනුවර මේ ගීත රචනා කරනවා. ගීත ගායනා කරන්නේ සුසිත් සිම්සන්, දුමාල් වර්ණකුලසූරිය, කසුන් කල්හාර, දර්ශන රුවන් දිසානායක, සේනානායක වේරලියද්ද සහ රූනි. ඒ වගේම ගායිකාවන් කිහිප දෙනෙක් මෙහි ගීත ගායනා කරන අතර ඒ අය තවමත් තීරණය කරමින් ඉන්නේ.

ඔබේ නිර්මාණ චාරිකාව දෙස බලද්දී සම්මාන දිනා ගැනිමත් විශේෂයෙන් කතා බහ කළ යුතුයි...

මේ වනවිට මම එක දිගට රාජ්‍ය සංගීත සම්මාන 5ක් දිනාගෙන තිබෙනවා. 2011 සිට 2015 දක්වා. සිනමා සම්මාන 4ක් දිනාගත්තා. ලංකාවේ තිබෙන ප්‍රධානම සිනමා සම්මාන උලෙළ සියල්ලකින්ම මම සම්මාන ලබා ගෙන තිබෙනවා සමනල සංධ්වනිය සිනමා පටය වෙනුවෙන්. හිරු ගෝල්ඩන් සම්මාන උලෙළේදී මට ශ්‍රී ලංකේය සිනමා සංගීතය නව මානයකට යොමු කිරීම උදෙසා වන සම්මානය පිරිනැමුණා. OCIC, ලංකා ලයිව් සිනමා සම්මාන, රජරට ප්‍රදේශයට උතුරු මැද පළාතට කළ සුවිශේෂ සේවය උදෙසා කලාකරුවකුට ජීවිතයේ එක් වරක් ලැබෙන ස්වර්ණ සම්මානය ‘රජරට අභිමන් ස්වර්ණ සම්මානය‘ ජනාධිපති අතින් ලබා ගත්තේ 2017 දී. ලෝකයේ දීර්ඝතම බෞද්ධ කැන්ටාටාව 2010 කරනවා. ඔපෙරා සංධ්වනි නිර්මාණය කරපු දේවල් අතර.

මේ වන විට ඔබ තවත් අලුත් කාර්යයකට අත ගහලා...

මේ වනවිට ‘රිදම් ඔෆ් දි අර්ත්‘ මානුෂීය පදනම පිහිටුවලා එහි ‘රිදම් ඔෆ් දි අර්ත්‘ සංගීත කණ්ඩායම හැදුවා. එයින් මම ‘රිදම් ඔෆ් දි අර්ත්‘ ගීත ඇල්බමය නිර්මාණය කරගෙන යනවා. ඒ සමඟ ඉදිරියේදි ලෝකය පුරා ප්‍රසංග මාලාවක් සංවිධානය කරගෙන යනවා. කලිනුත් ඕස්ට්‍රේලියා ගිහින් ප්‍රසංගයක් පැවැත්වූවා. එංගලන්තයේ ගිහින් බීබීසි ගුවන් විදුලියේ වැඩ සටහනක් කළා රත්න ශ්‍රී විජේසිංහයන් සමඟ.

මට තිබෙන දෙස් විදෙස් අත්දැකීම් එක්ක මට විදේශීය කලා කරුවන් මුණ ගැහුණා. මගේ රිදම් ඔෆ් දි අර්ත් ඇල්බම් එකේ එක්සත් ජනපදයේ ජෑස් ගායකයකු සමග කැනේඩියානු ගායිකාවක් ගීතයක් ගායනා කළා. චින ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ලංකාවට ආව වෙලාවක මම චීන ගීතයක් නිර්මාණය කළා. අරාබි ගීතයක් නිර්මාණය කළා. ඉංග්‍රීසි ඇතුළු විවිධ භාෂාවන් ගෙන් මේ හරිත පරිසරය ඝාතනය කරන්නන්ට, විනාශ කරන්නන්ට එරෙහිව ගීත නිර්මාණය කරගෙන යනවා. ඒක ළඟදීම ඇල්බමයක් ලෙස එළි දකිනවා. ‘රිදම් ඔෆ් දි අර්ත්‘ නමින්. එය ලංකාවේ ප්‍රථම අවස්ථාව. පරිසරය අපට ඕන කියලා මිනිස්සු හිතන්නේ නැහැ.

මෙවැනි නිර්මාණයක් කරන්නට සිතුණු තාත්තා සමඟ ගෙවූ ළමා කාලය පිළිබඳ මතක් කරමු.

තාත්තා මාව නගුලේ තියාගෙන පෝරු ගානවා මට මතකයි. ජනකවි කියමින් තමයි ඒ වැඩ කරන්නේ. පොහොර ආව මුල් යුගයේ සුදු පාට පොහොරයි රතු පාට පොහොරයි ඒ කියන්නේ යූරියා සහ බණ්ඩි පොහොර එකතු කරලා බාල්දියකින් කුඹුරුවලට ගහන්න ගියපු පොඩිකාලේ මතකයි. මේ එක බාල්දියකින් කුඹුරේ ගොඩකට ගැහැව්වා. ඒත් තාත්තා නැතිවෙන්න කිට්ටුව උණගලා වෙහෙර ගමේම බාල්දියකින් ගහපු කුඹුරුවලට ගහන්න පොහොර ගෙනිච්චේ ට්‍රැක්ටරයෙන්. ඒ තරමට ඒක ව්‍යාප්ත වුණා. මුලින්ම දැම්මේ රසායනික පොහොර නෙමේ කාබනික පොහොර. පිදුරු ටික පවා කුඹුරට දැම්මා දිරායන්න. තාත්තා කිව්වේ කීඩෑවෝ වගේ සත්තු හිටියට ස්වාභාවික ආහාර දාම පද්ධතිය නිසා ගොයම ආරක්ෂා වුණා. ඒ ස්වාභාවික ආහාර දාම පද්ධතිය සත්ව ආහාර දාම පද්ධතිය මේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය තුළ අවභාවිත වෙලා විනාශ වුණා. පරිසර චක්‍රය කැඩිලා. ඒ බිඳ වැටීම තුළ මුළු කෘෂිකාර්මික පද්ධතියම අවුල් වෙලා. ඒ නිසා වැඩිපුර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්න වෙලා. අර ප්‍රතිජීවක බෙහෙත් වැඩිපුර ගත්තාම ඊ ළඟට ගන්න වෙන්නේ මාත්‍රාව වැඩි කරලා වගේ එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.

ඔබ මේ නිර්මාණයෙන් කියන්න හදන පණිවිඩය කුමක්ද ?

මම අන්තිමට කියන්නේ සෞන්දර්ය, ආදරය, කලාව මේ හැම දෙයක්ම ඉගැන්නුවේ මේ පරිසරයනේ. මේ පරිසරයේ තිබුණු සොබා චමත්කාරය තමයි අපට ඒවා ඉගැන්නුවේ. හැබැයි අද අපි පරිසරයට මොනවද ආපහු ලබා දෙන්නේ. මයිකල් ජැක්සන් මේක ලෝකයටම කියනවා මට කලින්, අර්ත් කියන නිර්මාණය මඟින්. ඒක තව දුරටත් එතැනින් එහාට ගෙන යාමක් තමයි මම කරන්නේ. ‘‘ගොවි තාත්තා‘‘ සිනමා පටයෙන් මේ මම කතා කරන සහ හැසිරෙන විදිහ මේ පරිසරයෙන් ඈත් වුණු කෙනකුට හරිම අභව්‍යයයි. ඒ අයට පේන්න පුළුවන් ඒ ක කෘත්‍රිමයි කියලා. ඒ අයට තමන් කෘත්‍රිමයි කියන එක අමතක වෙලා. ඒකයි වෙලා තියෙන්නේ.

ඔබ විවිධ ගීත විශාල සංඛ්‍යාවක් නිර්මාණය කළ ශිල්පියෙක්.

ගීත නිර්මාණ 1500ක් විතර කරලා තිබෙනවා. ඒ අතර ජනප්‍රිය ඒවා විවිධ ක්ෂේත්‍රවල තිබෙනවා. ඉන්දික රුවන් (රූනි) රොක් ශෛලියේ ගීත ‘ගගන සරන‘, සුනිල් එදිරිසිංහ “මේ තරම් සියුමැලිද කළුගල්“, අමරසිරි පීරිස් “කාත් කවුරුවත්, ඉකිගසා හඬන“ ඇතුළු ගීත හැට ගණනක් ගායනා කර තිබෙනවා. ඒ වගේම නව පරපුරේ දුමාල් ජනප්‍රිය ගීත කිහිපයක්ම ගායනා කරනවා. අද කරන ගීත මනින්න ක්‍රමයක් නැහැ. අද මාධ්‍යය වැඩියි. ටෙලි නාට්‍ය ගීත තිස් ගණනක් කරලා තයෙනවා. ගොවි තාත්තා මගේ අලුත්ම වෑයම. ඒ තුළින් මේ සමාජයට කිසියම් දැනෙන පණිවිඩයක් දෙන්නට මම උත්සාහ කරනවා. 


නව අදහස දක්වන්න