පාපන්දු ක්‍රීඩකයන් 8කට චීනයේ පැවැත්වෙන ලෝක ශූරතා තරග වරම් | දිනමිණ

පාපන්දු ක්‍රීඩකයන් 8කට චීනයේ පැවැත්වෙන ලෝක ශූරතා තරග වරම්

ශ්‍රී ලාංකික දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයන් 8 දෙනෙකුට ජීවිත කාලයටම හිමිවන අගනා අවස්ථාවක් අත්කර දෙමින් චීනයේ පැවැත්වෙන මයිලෝ ලෝක ශූරතා පාපන්දු තරගාවලියට සහභාගිවීමට ප්‍රථම වරට ඉඩකඩ සලසා දී ඇත. ලෝ සුපතල බාසිලෝනා පාපන්දු සංගමයේ සහයෝගය ද ඇතිව යළිත් වරක් මේ දැවැන්ත පියවර තබන්නට මයිලෝ වෙළෙඳ නාමය අපේක්‍ෂා කරයි. ඒ අනුව ශ්‍රී ලංකා පාසැල් පාපන්දු සංගමය විසින් සංවිධාන කරනු ලබන සමස්ත ලංකා අවුරුදු 12න් පහළ ශ්‍රී ලංකා පාසල් පාපන්දු තරගාවලිය බාලක බාලිකාවන් 13000කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

‘මනුෂ්‍යත්වය’, ‘උත්සාහය’, ‘අරමුණ’, ‘ගෞරවය’ සහ ‘කණ්ඩායම් හැඟීම’ යන පංචවිධ හරයන් තේමා කරගත් බාසිලෝනා පාපන්දු සංගමය සමඟ එක් වෙමින් මයිලෝ සිව්අවුරුදු ජාත්‍යන්තර සහයෝගීතා වැඩපිළිවෙළක් මේ වන විටත් දියත් කොට තිබේ. දරුවන් සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට හුරු කරවීම සහ ශාරීරික ක්‍රියාකාරකම්වල වැදගත්කම ඔවුන්ට අවබෝධ කරදීම මෙහි ප්‍රධානතම ඉලක්කයයි. මෙම සහයෝගීතාව හරහා පාසැල් දරුවන් වැඩි වැඩියෙන් ක්‍රීඩාවට යොමු කරගැනීම උදෙසා වූ ක්‍රීඩා වැඩසටහන් මාලාවක් දියත් කිරීමට යෝජිතය.

දශක ගණනක් පුරා පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අතහිත දෙන මයිලෝ, ඒ වෙනුවෙන්ම ආරම්භ The MILO Champions Cup ශූරතාවලිය හරහා ලාංකික ළමා පාපන්දු ක්‍රීඩකයන් දිරිගැන්වීමට බලාපොරොත්තු වෙයි.

මේ ශූරතාවලිය, අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා පාසැල් පාපන්දු සංගමයේ විසින් මෙහෙයවනු ලබන සමස්ත ලංකා අවුරුදු 12න් පහළ පාපන්දු තරගාවලියක් ලෙස පැවැත්වෙයි.

2008 සහ 2009 යන වසරවල උපත ලැබූ දරු දැරියන්ට මේ තරගාවලියට සහභාගී වීමට අවකාශ සැලසෙන අතර 265ක බාලිකා කණ්ඩායමක් හා 822ක බාලක කණ්ඩායමක් මෙන්ම 13,044ක් පමණ දරුදැරියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය. තරගාවලියේදී දක්වන හැකියාවන් සහ වටිනාකම් අනුව දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසන් පුහුණු කඳවුරට තෝරා ගනු ලැබේ. එහිදී ප්‍රවීණ පුහුණුකරුවන්ගේ අධීක්‍ෂණය යටතේ අතිදක්‍ෂ ක්‍රීඩකයන් 8 දෙනෙකු ශ්‍රී ලංකා මයිලෝ පාපන්දු කණ්ඩායම ලෙස තෝරා ගැනීමට නියමිතය.

තෝරාගනු ලබන ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයන් 8 දෙනා චීනයේ පැවැත්වෙන මයිලෝ ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ඔස්ටේ්‍රලියාව, පාකිස්තානය, කොලොම්බියාව, චිලී, ජැමයිකාව, ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ රටවල් තරග වදිනු ඇත.

එක් කණ්ඩායමකින් ක්‍රීඩකයන් 8ක් බැගින් සහභාගි වන මෙම තරගාවලියේදී එක් ක්‍රීඩිකාවක් ද සමඟ තරගයක් සඳහා ඉදිරිපත් විය යුතු ක්‍රීඩකයන් සංඛ්‍යාව 5කි. එමෙන්ම මෙය මිනිත්තු 10 බැගින් අර්ධ දෙකකින් සමන්විත තරගයකි. දින 9ක් පුරා පැවැත්වෙන මෙම තරඟාවලියට සමගාමීව බාසිලෝනා පාපන්දු සංගමයේ Barca Academy (පාපන්දු පාසල) විසින් සංවිධාන කරන පුහුණු කඳවුරක් ද පැවැත්වේ.

අවසන් තරග මැයි මස 04 සහ 05 යන දිනයන්හිදී මාතර පාපන්දු සම්මේලනයේදී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

තරගාවලි සැලැස්ම මෙසේය.

පළාත ස්ථානය පැවැත්වෙන දිනය

උතුරුමැද පළාත බන්ධනාගාර ක්‍රීඩාංගණය, අනුරාධපුර මාර්තු 08/09

උතුරු පළාත සාන්ත හෙන්රිස් පාසැල් ක්‍රීඩාංගණය, යාපනය මාර්තු 05/06

නැගෙනහිර පළාත කින්නියා මහජන ක්‍රීඩාංගණය, ත්‍රිකුණාමළය මාර්තු 17/18

ඌව පළාත වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය, බදුල්ල මාර්තු 20/21

වයඹ පළාත සේනානායක ම.ම.වි. ක්‍රීඩාංගණය, හලාවත මාර්තු 11/12

මධ්‍යම පළාත පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගණය, මහනුවර මාර්තු 14/15

බස්නාහිර පළාත - ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණය, ගම්පහ මාර්තු 26/27

බස්නාහිර පළාත - කොළඹ බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගණය, කොළඹ මාර්තු 29/30

බස්නාහිර පළාත - කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, කළුතර අප්‍රේල් 01/02

සබරගමුව පළාත මහජන ක්‍රීඩාංගණය, රත්නපුර මාර්තු 23/24

දකුණු පළාත පාපන්දු සම්මේලන ක්‍රීඩාංගණය, මාතර අප්‍රේල් 04/05.


නව අදහස දක්වන්න