ඉන්දියානුවාට එරෙහි සාක්කි ගැන සති 2කදී අධිකරණය වාර්තාවක් ඉල්ලයි | දිනමිණ

ඉන්දියානුවාට එරෙහි සාක්කි ගැන සති 2කදී අධිකරණය වාර්තාවක් ඉල්ලයි

සුභාෂිණී සේනානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සමබ්නධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට ගෙන රක්ෂිත භාරයේ සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නැමැත්තාට එරෙහිව ඇති සාක්කි සම්බන්ධයෙන් සති දෙකක් තුළ අධිකරණයට පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සාක්කි නොමැතිව පුද්ගලයකු රදවා තබා ගැනිමට අධිකරණයට හැකියාවක් නැති බව කී මහේස්ත්‍රාත්වරයා පොලිසිය පවසන ආකාරයට පුද්ගලයින් රදවා තැබිම ​සිදු කළ නොහැකි බවත් ඉදිරි දින සැකකරු සම්බන්ධයෙන් ඇති සාක්ෂි ඉදිරිපත් නොකරන්නේ නම් එම සැකකරු සම්බන්ධයෙන් අධිකරණ බලය භාවිතා කර ඔහුව නිදහස් කරන බවද කීවේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති සාක්කි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දින ඉදිරිපත් කළ යුතුයි.පොලිසිය කියන විදියට සැකකරුවන් රඳවා ගන්න අධිකරණයට බැහැ.සැකකරුට එරෙහිව වෙන චෝදනා තිබේනම් වීසා නැත්නම් පියවර ගත හැකියි. පුද්ගලයාගේ නිදහස සීමා කරන්න මට බැහැ යැයි කී මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සාක්ෂි නැතිව පුද්ගලයකු රක්ෂිතභාර ගත කරන්න බැහැයැයි පැවසීය.

මෙහිදි අදහස් දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ව ඒ සම්බන්ධයෙන් නිතිපතියවරයාගේ උපදෙස් විමසා ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු වෙනුවෙන් පෙනි සිටි නිතිඥ අජිත් පතිරණ මහතා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව දෙවන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා කිසිදු සාක්ෂියක් නොමැතිව මාස තුන හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාගර ගත කර ඇති බවත් ඉන් ඔහුගේ පුද්ගලික නිදහස් සීමා වී ඇති බවත් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් කල් ගැනිමට නාමල් කුමාර යන අයගේ හඩ පට හොංකෝ රාජ්‍යට ගෙන ගිය බවත් ඒවා රැගෙන විත් මේ වන විට දින 28ක් පමණ ගෙවී අවසන් වූවද ඉන් කිසිදු සාක්ෂියක් රහස් පොලිසිය ඉදිරිපත් කර නැති බවත් අජිත් පතිරණ මහතා කියා සිටියේය.

මින් සැකකරුට බරපතල අගතියක් වී ඇති බවත් ඉන් යුක්තිය අපගමනය වී ඇති බවත් දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව පෙන්වා දුන් නිතිඥ අජිත් පතිරණ මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ආරක්ෂා වී ඇති සැකකරුගේ පුද්ගලික නිදහස ආරක්ෂා කිරිමට අධිකරණය මැදිහත් විය යුතු බවත් පෙන්වා දුන්නේය.

සැකකරුට එරෙහිව ඇති සාක්ෂි මොනවාද යන්න ඉදිරි දනට අධිකරණයට ඉදිරිපත් කිරිමට රහස් පොලිසියට නියෝගයක් සිදු කරන ලෙස ඉල්ලා සිටි අජිත් පතිරණ මහතා එසේ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොකරන්නේ නම් තම සේවා දායකයා වන හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා මහතා ඉදිරි දින මුදා හැරිමට පියවර ගන්නා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් න් පැමිණිලිකාර නාමල් කුමාර යන අය කුමන්ත්‍රණයක් කළ බව පවසන්නේ නම් ඔහුද අත්අඩංගුවට ගත යුතු බවද අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

තම සේවා දායකයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කළ නිතිඥ අජිත් පතිරණ මහතා දුරකතන සංවාද වාර්තාවේ ත්‍රස්ත පනතට අදාළ කිසිවක් නැති බවත් සැකකරු රක්ෂිත බන්ධනාගාගර ගතකරමින් රහස් පොලිසිය සාක්ෂි සොයන බවත් අධිකරණයට කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යන අය සිදු කළ බව කියන ප්‍රතිඋත්පාදනය කළ ජංගම දුරකතනයේ තිබූ සංවාද ඇතුළත් පිටු 14න් යුතු වාර්තාවක් රහස් පොලිසිය ඉදිරිපත් කර ඇති බවත් තවත් ප්‍රතිඋත්පාදනය කරන ලද හඩ පට ඇතුළත් වාර්තා සකස් කරමින් පවතින බවද රහස් පොලිසිය අධිකරණයට කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නැමැත්තා ලබන පෙබරවාරි මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දින අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

නව අදහස දක්වන්න