මතින් නිදහස් රටක් | දිනමිණ

මතින් නිදහස් රටක්

දුමින්ද අලුත්ගෙදර

මත්ද්‍රව්‍ය භාවිතය නිසා මෙරට ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් බන්ධනාගාරගත වීම ජාතික නිෂ්පාදනයට තර්ජනයකි. බන්ධනාගාරගත වන අයගෙන් වැඩි ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් බව ද හෙළි වී තිබේ. එසේම මත්ද්‍රව්‍ය භාවිතය බොහෝ අපරාධවලට ප්‍රධාන හේතුවක් බවද අනාවරණය වී ඇත. පාසල් දරුවන් පවා අඩු වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී සිටින බව නොරහසකි.

මෙරට වෙළාගත් බිහිසුණුම අපරාධය බවට පත්ව ඇත්තේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය බැව සමාජයෙන් මතුවන ප්‍රබල මතයකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ‘මතින් නිදහස් රටක්‘ වැඩසටහන අනුව මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකියාව ලැබී ඇත. ආසන්නතම සිදුවීම ලෙස සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මාකඳුරේ මධූෂ් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනුයේ තවත් ජාවාරම්කරුවන් පිරිසක් සහ ජනප්‍රිය ගායකයකු ද නළුවකු ද සමඟිනි.

මෙරට පාසල් ළමුන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සූක්ෂමව ළමා පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට නැඹුරු කරගෙන තිබෙන බව නොරහසකි. පසුගියදා ජනපතිවරයා පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කර තිබුණේ ද එනිසා ය. වෙනදාටත් වඩා වේගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වන බවක් අද පෙනෙන්නට තිබේ. නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බවට පොරොන්දු වූ ජනපතිවරයා එය සැබෑ කරවන ක්‍රියාවලියක නිරත වී සිටී. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ‍්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිලිපීන රජයේ පැසසුමට ලක් වුණේ ජනපතිවරයා කළ පිලිපීන සංචාරයේ දී ය.

මරණීය දණ්ඩනය

තවත් පියවරක් ඉදිරියට තබමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. දේශපාලන මතවාදයෙන් තොරව ශ්‍රී ලංකාව මත් උවදුරෙන් ගලවා ගැනීමේ කාර්ය භාරය තමන් වෙත පැවරී ඇති බව වටහාගත් ජනපතිවරයා උතුරේ ජනතාවගේ ඉල්ලීම් ගැන ද අවධානය යොමු කොට තිබේ.

“මගේ පහුගිය අවුරුදු හතරේ අත්දැකීම් අනුව, අවුරුදු හතරෙන් තුන හමාරකදීම උතුරට ගිය අවස්ථාවල ගමකට ගියොත් නගරයකට ගියොත් මාව වටකරගත්තේ කවුද ? මාව වටකරගත්තේ අතුරුදන් දරුවන්ගේ මව්වරු. ඉල්ලුවේ ළමයි. නමුත් දැන් මම උතුරේ ගම්වලට ගියාම මොකද්ද මගෙන් ඉල්ලන්නේ? ඉල්ලුවෙ අපේ ගමේ ජීවත් වෙන්න බෑ, අරක්කු, කසිප්පු, ගංජා අයින් කරලා දෙන්න කියලයි. දරුවෝ ඉල්ලපු උතුරේ අම්මලා අද ඉල්ලනවා, ගම් විනාශ වෙලා කසිප්පු, අරක්කු, ගංජා තවත් විෂ මත්ද්‍රව්‍ය අයින් කරලා දෙන්න කියලා”

ග්‍රාම ශක්ති වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සම්බන්ධයෙන් පැවැත් වූ හමුවකදී ජනපතිවරයා අවධාරණය කළේ, උතුරේ ජනතාව මත් රකුසාගෙන් බැට කන බවකි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි ව ගන්නා දැඩි තීන්දු තීරණවලට එරෙහිව මානව හිමිකම් සංවිධාන හඬ නැඟුවත් මෙකී ව්‍යසනය හේතුවෙන් රටට, සහ දරුවන්ගේ අනාගතයට සිදුවන විනාශය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ජනපති අවධාරණය කර සිටියි. සිදුවන විනාශය පිළිබඳ මේ රටේ සියලු සංවිධාන හා බලධාරීන් වගකිව යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා මෙරට ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් බන්ධනාගාරගත වීම ජාතික නිෂ්පාදනයට තර්ජනයකි. බන්ධනාගාරගත වන අයගෙන් වැඩි ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් බව ද හෙළි වී තිබේ. එසේම මත්ද්‍රව්‍ය භාවිතය බොහෝ අපරාධවලට ප්‍රධාන හේතුවක් බවද අනාවරණය වී ඇත. පාසල් දරුවන් පවා අඩු වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී සිටින බව නොරහසකි. මෛත්‍රී ජනධිපතිවරයා පාසල් දරුවන් මත් උවදුරෙන් රැකගැනීම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකායක් පිහිටුවා තිබේ.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව ගම, නගරය වෙනසක් නොමැතිව සෑම තරාතිරමකම පිරිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බව තහවුරු වී තිබේ. පසුගිය කාලයේ සිදු වු ස්ත්‍රී දූෂණ, මිනීමැරීම් ආදියට වැඩි වශයෙන් හේතු වී ඇත්තේද මත්ද්‍රව්‍ය භාවිතය බව විවිධ අවස්ථාවල අනාවරණය විය. නුපුහුණු ශ්‍රමිකයන්ගෙන් බහුතරයක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝ ය. මේ සියල්ලට වඩා විස්මය දනවන කරුණක් වන්නේ රේගුව, පොදු ප්‍රවාහන සේවා, සංචාරක සේවය වැනි බොහෝ ස්ථාන හා සේවාවන්ද මත්ද්‍රව්‍ය ජාවාරමුන්ට අවකාශ හා පහසුකම් සලසා දීමය. බන්ධනාගාරය කලක සිටම මත් ජාවාරම් පොළක් ලෙස භාවිත වේ. මත් ජාවාරම්කරුවන්ගේ මෙහෙයුම් බොහෝ විට බන්ධනාගාර අභ්‍යන්තරයේ දී සිදු වන බවද හෙළිවී තිබුණි. තවත් අවස්ථාවක පොලිස් කොස්තාපල්වරයකු ද මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

ජනපති තීරණ

ඩුබාහි දී ජාවාරම්කරුවන් හා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ වන විට විශාල පිරිසක් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ. ඇතැම් ජාවාරම්කරුවන් පිටුපස දේශපාලනකයින්ගේ නම් පැටලී තිබෙන බවට ද වාර්තා විය. තරාතිරම නොබලා ජාවාරම්කරුවන්ට දඬුවම් දීමට ජනපතිවරයා සෘජු තීරණයක් ගෙන තිබේ. කවර ජනපතිවරයකුට හෝ මත්ද්‍රව්‍යට එරෙහිව එවැනි තීරණයක් ගැනීමට නොහැකි වීම හා වත්මන් ජනපතිගේ දැක්ම පිළිබඳ ජනතාව ද ප්‍රශංසනාත්මක කතා කරන බවක් පෙනෙන්නට තිබේ. මතින් නිදහස් රටක් නිර්මාණය කිරීමට උපරිමයෙන් කැපවන ජනපතිගේ නියෝග අනුව දිවයින පුරා ජාවාරම්කරුවන් වටලන මෙහෙයුම් දියත් වේ. ඊට පොලිසිය ද සීරුවෙන් සිටීම යහපත් ය.

ජනපතිවරයාගේ තීන්දු තීරණ අනුව පෙනී යන්නේ පාලකයන්ට සාධාරණ හා යුක්තිගරුක තීරණ ගැනීමට තිබෙන අයිතියය. බහුජන යහපත උදෙසා ක්‍රියා කිරීමට බැඳී සිටින පාලකයා සමාජ විරෝධී සියලු ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා නිර්භයව ක්‍රියා කළ යුතු බව ඔප්පු කරමින් තිබෙන කාල පරිච්ඡේදයකට ලාංකේය ජනයා අවතීර්ණ වී සිටිති. නීතිය යනු බලවතුන්ට හා ධනවතුන්ට තිබෙන රැකවරණයක් දැයි ඇතැමුන් කලෙක විමසුවත් අද වන විට පොලිස් නිලධාරියකුට පහර දුන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග කරන්නට තරම් රාජ්‍ය පාලනය ජනතා හිතෛෂී වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

දේශපාලන රැකවරණය

ධන බලය, නිල බලය පෙන්වා අපරාධකරුවන්ට සමාජ විරෝධී ක්‍රියා කිරීමට තිබෙන අවකාශය පිළිබඳ මෙරට සිවිල් ජනයා මෙන්ම උගත් බුද්ධිමතුන්, වියතුන් හඬ අවදි කළ අවස්ථා එමට ය. අපරාධකරුවන්ට දේශපාලනයේ ආරක්ෂාව, රැකවරණය ලැබුණේ අතීතයේ සිට බව කවුරුත් දන්නා කරුණකි. පාතාල ක්‍රියාකාරකම් ගැන චෝදනා එල්ල වන්නේ පවතින ආණ්ඩුවට ය. පාතාලය යනු දේශපාලනයට අවශ්‍ය සේවා සපයන්නකු බවත්, ඔවුන් ගිනි අවි හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල ඉහළම සිටින පිරිස බවත් මෙරට ජනතාව දන්නා කරුණකි. දේශපාලන චරිතවලට සම්බන්ධ මත් ජාවාරම්කරුවන් හා පාතාලයන් ගැන ජනතාව දනිති. පාතාලයන්, කුඩු ජාවාරමුන්, මැරයන්, ස්ත්‍රී දූෂකයන් නඩත්තු කළ හා කරන කුණු වී ගිය දේශපාලනයක් රටට උරුම කළේ කවුරුන්දැයි බොහෝ දෙනෙක් දනිති.

ඒ නිසාම ජනපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ වේදිකාවට නැඟ ජනතාවට කියා සිටියේ පක්ෂය කුමක් වුවත් දූෂණයෙන්, වංචාවෙන්, අපරාධවලින් රට බේරා ගැනීම සඳහා පිරිසුදු පුද්ගලයන් පළාත් පාලන ආයතනවලට පත් කර එවන ලෙසයි. එහෙත් ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් වු පසු හෙළි වූයේ ඒ ජනතා නියෝජිතයන් අතර දූෂිතයන්, අපරාධකාරයන් හා කුඩු ජාවාරම්වලට චෝදනා ලද අයද සිටින බවකි. ඉන් පැහැදිලි වන්නේ මේ රට මත් රකුසාගෙන් බේරා ගැනීමට ජනපතිවරයාට හෝ ශ්‍රී ලංකා පොලිසියට තනිව කළ හැකි දෙයක් නොවන බවකි. ඒ සඳහා ජනතාව ද පෙළගැසිය යුතු බව මතක් කළ යුතුය. තම ඥාති හිතෛෂීන් මෙන්ම දුවා දරුවන් ඇස් ඉදිරිපිට වැනසී යන අයුරු දකින්නට නම් ජනතාව අකමැති තෝරා පත් කරගන්නා දේශපාලකයා දූෂණයෙන් තොර විය යුතු බවයි ජනපතිවරයාගේ අදහස.

ධනය බලය වෙනුවෙන් දේශපාලනය කරන බොහෝ දෙනෙකු ජාවාරම්වලට සහය දක්වන බව පැහැදිලිය. ධනය, බලය යහපත නොව අයහපත වෙනුවෙන් භාවිත වන ආකාරය ජනාධිපතිවරයා බොහෝ තැන්වලදී පෙන්වා දී තිබේ. හොරුන් නැති ආණ්ඩුවක් තබා, හොරුන් නැති පක්ෂයක්වත් හැදීමට නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැත. ජනපතිවරයාගේ මත් විරෝධී වෑයමට මහජන නියෝජිතයන් ද එක පෙළට සිටගත යුතුය.

නව අදහස දක්වන්න