දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීමට පියවර ගත්තා | දිනමිණ

දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීමට පියවර ගත්තා

මානෙල් පුෂ්ප කුමාරි

ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම මුලිනුපුටා දමා දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය. ගම්මිරිස් ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීම තහනම් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වුණා. මේ පිටුපස දේශපාලනඥයන්,රේගු නිලධාරීන්,ව්‍යාපාරිකයන් විශාල පිරිසක් සිටිති. වියට්නාමයෙන් ගම්මිරිස් ආනයනය කර නැවත ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලියට මේ පිරිසේ දායකත්වය අනිවාර්යයෙන්ම ලබා දෙන බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

මේ ජාවාරම පිළිබඳව ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලයටත් ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු බලධාරීන් මේ වන විට දැනුම්වත් කර ඇති අතර ඒ කෙසේ වෙතත් මේ ගම්මිරිස් ජාවාරම පිටුපස බලවතුන් සිටින බැවින් මේ ජාවාරම තවදුරටත් සිදුවන බවද දයා ගමගේ ඇමැතිවරයා මේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

තමාට කළ හැක්කේ ගම්මිරිස් අපනයන සඳහා අනුමැතිය ලබාදීම පමණක් බව පැවසූ ඇමැතිවරයා පසුගියදා මෙරටට ආනයනය කර තිබූ ගම්මිරිස් කන්ටේනර් 156 ක් තහනම් කළ බව ද පැවසීය.

ප්‍රමිතියෙන් උසස් ගම්මිරිස් ශ්‍රී ලංකාවේ වගා කෙරෙන බව පැවසූ ඇමැතිවරයා වියට්නාමයෙන් සියයට හැටක් ගම්මිරිස් ලෝක වෙළෙඳ පොළට යැව්ව ද එම ගම්මිරිස් එතරම් ප්‍රමිතියකින් හෙබි නොවන බවත් කීය.

ශ්‍රී ලංකාව, වියට්නාමය , ඉන්දියාව, බ්‍රසීලය,තායිලන්තය සහ මැලේසියාව තමයි ලෝක වෙළෙඳ පොළට ගම්මිරිස් නිකුත් කරන්නේ. ගම්මිරිස් සඳහා වැඩි පරිභෝජනයක් ඉන්දියාවට ඇති නමුත් ඒ රටේ ඔවුන්ගේ පරිභෝජනයට අවශ්‍ය ගම්මිරිස් එලදාවක් ලබා ගැනීමට අපොහොසත්. ඒ නිසා ඔවුන් සෝස් වැනි දේ සාදා ගැනීමටත් වෙනත් රටවලින් ගම්මිරිස් ආනයනය කර ගන්නවා.

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට සභාපතිවරුන්, ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සහ රටේ පවතින වත්මන් දේශපාලනය පිළිබඳව පෙරේදා (11) බත්තරමුල්ල,සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ මාධ්‍යයට අදහස් දැක්වීමේ දී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

ආසියාවේ වැඩිම වැඩිහිටි ප්‍රතිශතයක් සිටින්නේ අපේ රටේ. ලබන අප්‍රේල් මස 04 සහ 05 දිනවල අපේ රටේ වැඩිහිටියන් වෙනුවෙන් අරමුදලක් ඇති කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ වන විට වැඩිහිටියන් හාරලක්ෂයකට රුපියල් 2000 දීමනාවක් ලබා දෙනවා. මේ හැරුණු විට තවත් ලක්ෂයක් පමණ මේ දීමනාව ලැබීමට පෙරොත්තු ලැයිස්තුවේ බලා සිටිනවා. මේ වසර වන විට ඔවුන්ට ද මේ අරමුදල ලබා ගැනීමට හැකි වන පරිදි කටයුතු කරනවා. මේ වනවිටත් දෙදහසේ අරමුදල ලබන පිරිසට රුපියල් 25000 ක් තමන් සිටින කාමරය පිළිසකර කරගැනීමට ලබාදීමට තීරණය කර තිබෙනවා. එපමණක් නොව මේ වැඩිහිටියන්ට වන්දනා ගමනක් යාමට අවශ්‍ය වූ විට එම ගමන යාම සඳහා එක දිස්ත්‍රික්කයට බස් රථ දෙක බැගින් බස් රථ 50 ක් ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා. මසකට වරක් වැඩිහිටියන් වෙනුවෙන් වෛද්‍ය සායන පැවැත්වීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ලංකාව පුරා සිටින ප්‍රජාවගේ සහාය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා. මේ වන විටත් වැඩිහිටියන් වෙනුවෙන් එවැනි වෛද්‍ය සායන පවත්වනවා.

ඡායාරූප - විපුල අමරසිංහ

නව අදහස දක්වන්න