පාසල්වල මුදල් එකතු කිරීම ගැන ඇතැම් වෘත්තීය සමිති අසත්‍ය ප්‍රචාර ගෙන යනවා | දිනමිණ

පාසල්වල මුදල් එකතු කිරීම ගැන ඇතැම් වෘත්තීය සමිති අසත්‍ය ප්‍රචාර ගෙන යනවා

පාසල්වල මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් බලය පැවරී තිබූ 26/2018 චක්‍රලේඛය අවලංගු කිරීම හේතුවෙන් පාසල්වල වෙනත් අංශවලට සිදු වන බලපෑම සහ සෙසු කරුණු සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය වෙනුවට අඩුපාඩුවලින් තොර ප්‍රශස්ත මට්ටමේ චක්‍රලේඛයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස අධ්‍යාපන වෘත්තීය සමිතිවලට දැනුම් දී තිබිය දී ඇතැම් වෘත්තීය සමිති එසේ නොකර පාසල් ප්‍රජාව නොමඟ යවමින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජගත කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල්වලට මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් බලය පැවරී තිබූ 26/2018 චක්‍රලේඛය වහාම අවලංගු කිරීමට අධ්‍යාපන ඇමැතිවරයා පසුගිය 29 වැනි දා පියවර ගනු ලැබූ බව ද, අදාළ චක්‍රලේඛයේ දුර්වලතා හේතුවෙන් මවුපියන්ගෙන් මුදල් එක් රැස්කිරීමේ අනිසි බලතල විවිධ පාර්ශ්වයන්ට ලැබී තිබීම හේතුවෙන් ඇතිව තිබූ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් අදහස් පළ කර තිබූ බව ද එම අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් මේ චක්‍රලේඛය අවලංගු කිරීමත් සමඟ පාසල්වල ප්‍රමාණාත්මක, ව්‍යුහාත්මක සහ සැලසුම්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද යම් යම් බාධා මතුවීම හේතුවෙන් පැවති දුර්වලතාවලට පිළියම් යොදමින් මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීමේ දී ඔවුන් වෙත අනවශ්‍ය බරක් නොපැටවෙන ලෙස එම චක්‍රලේඛය නැවත සකස් කිරීමට ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබූ තිබූ බව ද කියයි.

ඒ අනුව ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් ඊට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ අධ්‍යාපන ඇමැතිවරයා සමඟ පසුගිය දා සාකච්ඡා වට දෙකක් පවත්වනු ලැබූ බවත්, පාසල්වල නඩත්තු කටයුතු සඳහා හෝ වෙනත් කටයුතු සඳහා මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස විරුද්ධ බව හා දරුවන්ගෙන් මුදල් එක්රැස් කරන්නේ නම් පහසුකම් හා සේවා ගාස්තුවලට ප්‍රමුඛතාව ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලින් ලබා ගත් මූලික අනුමැතිය යටතේ සිදු විය යුතු බවත් එහි දී අධ්‍යාපන ඇමැතිවරයාගේ ස්ථාවරය වූ බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතර ව යම් ආකාරයකින් පාසල්වලට මුදල් එක්රැස් කරනු ලබන්නේ නම් හෝ පාසල්වල නඩත්තු කටයුතු සඳහා පරිත්‍යාග ලබා ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේද යෝජනා කරන ලෙස ඇමැතිවරයා වෘත්තීය සමිති සාමාජිකයන් වෙත දැනුම් දුන් බව ද සඳහන් කරයි.

26/2018 චක්‍රලේඛය අවලංගු කිරීම හේතුවෙන් පාසල්වල වෙනත් අංශවලට සිදු වන බලපෑම සහ සෙසු කරුණු සැලකිල්ලට ගනිමින් අවලංගු කෙරුණු චක්‍රලේඛය වෙනුවට සුදුසු ප්‍රශස්ත මට්ටමේ චක්‍රලේඛයක් සකස් කිරීමට සියලු පාර්ශ්වවලට අදහස් හා යෝජනා ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දුන් ඇමැතිවරයා ඒ සඳහා කමිටුවක් ද පත් කළ බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මෙවැනි වටපිටාවක ප්‍රශස්ත මට්ටමේ අඩුපාඩුවලින් තොර චක්‍රලේඛයක් සකස් කිරීමට කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරමින් ලංකා ගුරු සේවා සංගමය පාසල් ප්‍රජාව නොමඟ යවමින් අසත්‍ය ප්‍රවෘත්ති සමාජගත කරමින් සිටින අයුරු දක්නට ලැබෙන බව පවසන අධ්‍යාපන අමාත්‍යාංශය, එම කණ්ඩායම් සිදු කළ යුත්තේ ලැබී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පවතින ක්‍රමවේදය වෙනුවට තමා සතුව ඇති ප්‍රශස්ත ක්‍රමවේද අදාළ කමිටුව වෙත ඉදිරිපත් කොට ශක්තිමත් ව චක්‍රලේඛයක් සකස් කිරීමට දායක වීම මිස, දේශපාලන වාසි අරමුණු කර ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවන බව ද අවධාරණය කරයි.

නව අදහස දක්වන්න