දේශීය ශිල්පීය ඥානය මධ්‍යම අධිවේගයෙන් ජාත්‍යන්තරයට රැගෙන යෑම ගැන ප්‍රසාදය | දිනමිණ

දේශීය ශිල්පීය ඥානය මධ්‍යම අධිවේගයෙන් ජාත්‍යන්තරයට රැගෙන යෑම ගැන ප්‍රසාදය

කමනි අල්විස්

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර දේශීය ශිල්පීය ඥානයෙන් දස්කම් විස්කම් දක්වමින්, ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරයේ අභිමානවත්ව සනිටුහන් කිරීමේ කාර්යභාරය මැනවින් ඉටු කරන ඉංජිනේරුවරුන්ගේ සිට කම්කරුවන් දක්වා වූ සෑම තරාතිරමකම සේවකයන්ට ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීම පෙරේදා (11) සිදු විය.

එහි දී කුරුණෑගල, ගැට්ටුවාන මංසන්ධියෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය නිරීක්ෂණ චාරිකාව ඇරැඹූහ. මල්වතු පාර්ශ්වයේ දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ මේ කර්තව්‍යයට කෘතඥතාව පුද කරමින් රජ‍යෙන් ඉල්ලීමක් කළහ. මහානායක හිමිවරුන්ගේ පූර්ණ අනුදැනුම පරිදි මේ ඉල්ලීම ඉදිරිපත් කරන බව පවසමින් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ පනතකින් කන්ද උඩරට බල සීමා නිශ්චිතව ප්‍රකාශ කරන ලෙසටයි.

මල්වතු පාර්ශ්වයේ නියංගොඩ විජිතසිරි හිමි

අධිවේගී මාර්ගය පිළිබඳව ප්‍රකාශ වී තිබෙන අසත්‍ය කාරණා සියල්ලම බැහැර කිරීමට මේ නිරීක්ෂණ චාරිකාව මහත් අත්වැලක්. ත්‍රෛනිකායික මහා සංඝරත්නය සියැසින්ම සෑම දෙයක්ම දැක බලාගෙන සැබෑ තතු අවබෝධ කර ගත්තා. මහජන සුබසිද්ධියට රජය ගන්නා උත්සාහයට මහා සංඝරත්නයේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා.

ආනමඩුවේ ධම්මදස්සි අනුනායක හිමි

ගුණාත්මකව ඉදිකිරීම් සිදු කිරීමට පියවර ගනිමින් දේශීයත්වයට මුල්තැන දීම වෙසෙසින් අගය කරනවා. දකුණු අධිවේගී මාර්ගයේ පවතින ගැටලු අවබෝධ කරගෙන ගංවතුරින් ආරක්ෂා වන ආකාරයට මාර්ගය ගොඩනැඟීමත්, මහජන හිත සුව පිණිස ක්‍රියා කිරීම අතිශයින්ම වැදගත්.

අමරපුර නිකායේ මධ්‍යම පළාතේ සහ තදනුබද්ධ ප්‍රදේශවල ප්‍රධාන සංඝනායක වටගොඩ විජිත නාහිමි සහ රාමඤ්ඤ නිකායේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති නාහිමි

මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය දඹුල්ල දක්වා ගොස් උතුරට දීර්ඝ කිරීම කාලීන අවශ්‍යතාවක්. මහජන හදවතට කතා කළ හැකි ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන මේ කටයුත්ත උන් වහන්සේලාට සියැසින් දැක බලාගැනීමට සලස්වාලීමට රජය ගත් උත්සාහය පියවර ප්‍රශංසනීයයි.

රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල

මහා සංඝරත්නය මේ නිරීක්ෂණ චාරිකාවට එක්වීම ගෞරවාන්විතව අගය කරනවා. උන් වහන්සේලාට දෙපා නැමද සිය හෘදයාංගම කෘතවේදීත්ව අභිමානයෙන් පුද කරනවා. මහා සංඝරත්නයේ ප්‍රබල ඉල්ලීමක් වන දළදා මාලිගාව අවට ඇති මාර්ගවල තදබදයට පිළියම් යොදමින් කන්ද උඩරට විශාල දියුණුවක් ඇති කරනවා.

විෂය භාර ඇමැති කබීර් හෂීම් මහතා මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතව සිටිය දී ඒ මහතාට විදෙස්ගතවීමට සිදු වුණා. ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් අගමැතිවරයාගේ මඟපෙන්වීමෙන් මේ සද්කාර්යය ඇරැඹුණා.

මහාමාර්ග මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා

දළදා මාලිගාව අවට මහාමාර්ග පිළිසකර කරදීමට සහතික වෙනවා.

ප්‍රවාහන සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා

මේ අධිවේගී මාර්ගය හේතුවෙන් නිවාස අහිමිවූවන්ට රජය සාධාරණ වන්දි ලබා දුන්නා. එක් පුද්ගලයකු ලැබූ වන්දියෙන් නිවසක් ද සාදාගෙන රුපියල් ලක්ෂ හෑත්තපහක මුදලකින් ස්ථිර තැන්පතුවක් අරඹා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි සහ මධ්‍යම අධිවේගී මාර්ග දෙවැනි අදියර භාර නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුර කෙහෙල්ඇල්ල මහත්වරු මෙසේ පැවැසූහ.

මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයට කිලෝ මීටර් තිස්නවයයි දශම දෙකයි නවයක් අයත් වෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු සියයට හැටක් පමණ අවසන්. සියලුම ඉදිකිරීම් මේ වසර අවසානයේ දී නිමාව දැකීමට නියමිතයි. වැය වන මුදල රුපියල් බිලියන එකසිය තිස්හතක්.

දේශීය කොන්ත්‍රාත් සමාගම් පහළොවක් පමණ ඉදිකිරීම්වල නිරත වෙනවා. දේශීය බැංකු ණය මුදල් ලබා දී තිබෙනවා. කණු මත ඉදි වන පාලම් (Viaduct) තිස් පහයි. පාලම් දොළහක්, ගුවන් පාලම් හතරක්, පෙට්ටි බෝක්කු හතරක්, භූගත පාලම් තිස් හතරක් මේ යටතේ ඉදි වෙනවා. මංතීරු හතරකින් යුක්තයි. මෙහි ඉදිකිරීම් නිම වු පසු කුරුණෑගල සිට විනාඩි හතළිස්පහකින් කඩවතට ද පැයකින් කොළඹට ද පැමිණීමට හැකියි.

වසර 2016 දී මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඇරැඹුවේ එවකට විෂය භාර ඇමැති ලෙස ක්‍රියා කළ වර්තමාන රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා. අදියර හතරක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදු වෙනවා. පරිසර හිතකාමී මෙවන් අධිවේගී මාර්ගයේ මැද ගස් රෝපණයක් ද සිදු වෙනවා.

අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික කහවත්තේ සරණංකර හිමි, මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමි, මුතියංගණ රජමහා විහාරයේ භාරකාර මුරුද්දෙනියේ ධම්මරතන නාහිමි ඇතුළුව ත්‍රෛනිකායික මහා සංඝරත්නය මේ අවස්ථාවට සහභාගි වූහ.

අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් පාලන රාජ්‍ය ඇමැති ජේ. සී. අලවතුවල, ‍පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක සහ වේලුකුමාර්, මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

ඡායාරූපය - සමන්ත වීර‍සිරි

නව අදහස දක්වන්න