ජාතික ආණ්ඩුවක් වසර 2020 දක්වා ඕනෑ | දිනමිණ

ජාතික ආණ්ඩුවක් වසර 2020 දක්වා ඕනෑ

ස්වර්ණා විජේකෝන්

* මධූෂ් මෙහෙයුම අද ඊයේ ආරම්භ කළ එකක් නෙවෙයි
* රුපියලේ අගය වැඩිවීම මාධ්‍යයට පේන්නේ නැහැ
* පළාත් සභා කල් දැමූ අය දැන් ඡන්ද ඉල්ලනවා

එළඹෙන දෙදහස් විස්ස වසරේ අගෝස්තු මාසය වනතෙක් වත්මන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන බැවින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැගීම සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ජනතාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරිපත් වන ජනාධිපතිවරයා විසින් ඉදිරි මහ මැතිවරණය කැඳවන බවත් 2020 තෙක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වන බැවින් ආණ්ඩුවේ ස්ථාවර බව වැදගත් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව ආණ්ඩුවේ ස්ථාවරත්වය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේ සිරිකොත පක්ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද පැවසීය.

මේ දිනවල රට තුළ කතා කරන, මාධ්‍ය විසින් අවධානය යොමුකරන ප්‍රධාන මාතෘකා ගණනාවක් තිබෙනවා. ව්‍යවස්ථාව, ජාතික ආණ්ඩුව, පාතාලය, කුඩු, මධූෂ්, ආදිය ඇතුළු මාතෘකා ගණනාවක් මේ දිනවල කතා බහට ලක්වී තිබෙනවා. එවන්වූ මොහොතක තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. නමුත් කනගාටුවෙන් වුවත් සදහන් කළයුතු කරුණු ගණනාවක් තිබෙනවා. අපි 2015 දී මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ පැහැදිලිවම රටට නායකයෙක් අවශ්‍ය නිසා. ආණ්ඩුවටත්, ජනතාවටත් නායකයෙක් අවශ්‍ය නිසා. ඒ වගේම අපි බලයට පත්වීමට පෙර පැවැති වැරදි තත්ත්වයන් නිවැරදි කර ඉදිරියට යාමේ අපේක්ෂාවෙන් තමයි ජනාධිපතිවරයා ලෙස අපි මෛත්‍රිපාල සිරිසේන මහතා පත්කර ගත්තේ.

අද වනවිට ප්‍රශ්න රැසකට මුහුණ පාන්නට අපට සිදුවි තිබෙනවා. රටක නායකයෙක්, නායකත්වය කියන්නේ යම් යම් දේවල් වල වැරදි සම්බන්ධයෙන් එම වගකීම එකිනෙකා මත පැවරීම නෙවෙයි. රටක නායකයෙක් ලෙස යම් ක්‍රියාවලියක වගකීම නායකයා විසින් භාරගත යුතුයි. යම් වරදක් සිදුවන අවස්ථාවක මෙන්ම යම් හොදක් සිදුවන අවස්ථාවක එහි වගකීම රටේ නායකයා විසින් භාරගත යුතුයි. ඒ දෙකෙන් එකක් විතරක් භාරගැනීම නෙවෙයි රාජ්‍ය නායකයා සිදුකළ යුත්තේ.

එමෙන්ම තවත් කරුණක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුයි. මේ වනවිට රුපියල අවප්‍රමාණය වීම යම් තරමකට අඩු වී තිබෙනවා. යම් මට්ටමකින් රුපියල ස්ථාවර වීම ආරම්භ වී තිබෙනවා. රුපියල අවප්‍රමාණය වන විට මාධ්‍ය විසින් බ්‍රේකින් නිව්ස් ගැහුවා. නමුත් රුපියල ස්ථාවර වීම ආරම්භ වී ඇති මේ වෙලාවේ සමහර මාධ්‍ය ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඒ වගේම ආර්ථික පාර්ලිමේන්තුව තුළ විවිධ කතා කියන ආර්ථික විශේෂඥයකු යැයි කියන බන්දුල ගුණවර්ධන මහතාත් රුපියලේ අගය අඩුවීම ගැන මහ ඉහළින් කතාකළා. නමුත් රුපියලේ අගය වැඩිවන මේ වෙලාවේ ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. අපි නිවැරදි දේවල් ගැන කතා කළ යුතුයි.

පාතාලය, මධූෂ් ගැනත් විවිධ කතා කියනවා. ඒ වගේම මේ දිනවල පාතාලයට, මත් කුඩු ජාවාරම් වලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. එම ක්‍රියාවලිය වෙනුවෙන් පොලිසිය, ආරක්ෂ අංශ එක්ව සිදුකරන මෙහෙයුම් ගැන අපි සතුටු විය යුතුයි. ඒ වැටලීම් , මෙහෙයුම් වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙන සියලුම දෙනාට අපගේ ගෞරවය පිරිනැමිය යුතුයි. ඒ වගේම මධූෂ් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් සිදුකළ මෙම මෙහෙයුම් අද ඊයේ ආරම්භ කළ එකක් නෙවෙයි. මේක නිකං පොඩි කාලේ සෙල්ලම් කරනවා වගේ. මමයි රජා මමයි රජා කිය කියා සෙල්ලම් කරන්නේ. අන්න ඒ වගේ. මේක කළේ කව්ද කියන එක නෙවෙයි ප්‍රධාන විය යුත්තේ. මෙවැනි ක්‍රියාවක් වෙනුවෙන් සැළසුම් සකස් කිරීමේ දී ඒවා කරන්නේ තනියම නෙවෙයි. සාමුහිකවයි. ඒ නිසා යම් හොඳ දෙයක් කරන විට එහි ගෞරවය තනිවම අත්පත් කරගැනීම සාධාරණ නැහැ. ඒ නිසා රටේ හොඳ දෙයක් කරනවිට එහි ගෞරවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, නරක දෙයක් කරනවිට එහි වගකීම එක්සත් ජාතික පක්ෂයටත් පැවරීම නෙවෙයි සිදුකළ යුත්තේ .රටේ හොද දෙයන් වනවිට එහි ගෞරවය ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පවරා ගැනීමයි සිදුකරන්නේ. මෙය නිවැරදි විය යුතුයි.

එමෙන්ම පාතාල ක්‍රියාකාරිකයකු වන මධුෂ් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන තවත් යමක් සඳහන් කළ යුතුයි. මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කළේ වසර එක හමාරකටත් එහා ඉදලයි. එවකට නීතිය හා සාමය පිළිබඳ ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් අපි මේ ගැන එම වකවානුවේදීම විමසුවා. ඒ වෙලාවේ එතුමා සදහන් කළේ මෙහි කටයුතු සිදුවන ආකාරය බලාගෙන සිටින ලෙසයි. එතුමා විෂය භාර ඇමතිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ආරම්භ කළ ක්‍රියාවලිය අනුව මධූෂ් අත්අඩංගුවට පත්වීම සිදුවුණා.

ඒ වගේම පාතාලයට, කුඩු ව්‍යාපාරයට සම්බන්ධ සියලු දෙනා මර්දනය කළ යුතුයි. කුඩු ව්‍යාපාරය , පාතාලය කියන්නේ රට විනාශ කරන ව්‍යසනයන්. ඒ වගේම කුඩු ව්‍යාපාරයේදී මේ දේවල් රටට එන්නෙ කොහොමද, එක්කො මුහුදින්. එක්කො ගුවන්තොටු පොළින්. ඒ නිසා නාවික හමුදාවත් අදාළ අනෙකුත් ආරක්ෂක අංශත් සම්බන්ධ කරගෙන මේවා මර්දනය වෙනුවෙන් අදාළ ආරක්ෂක පියවරයන් ගතයුතුයි. මෙවැනි අපරාධ මර්දනය වෙනුවෙන් අපගේ පූර්ණ සහය ලබා දෙනවා. ඒ වගේම මේ දේවල් වලට ඇති සම්බන්ධතාවන් ගැනත් සොයා බැලිය යුතුයි.

ඒ වගේම පළාත් සභා මැතිවරණය ගැනත් යමක් කිව යුතුයි. පළාත් සභා මැතිවරණය ඉල්ලන්නේ කව්ද, ජනතාව මේ වෙලාවේ පළාත් සභා මැතිවරණය ඉල්ලන්නේ නැහැ. මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය වූ වෙනත් දේවල් තිබෙනවා. පළාත් සභා මැතිවරණය කල්දමන්නට කටයුතු කළ අයම දැන් මේ මැතිවරණය ගැන කතා කරනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වුනේ එක්සත් ජාතික පාක්ෂිකයාගේ ඡන්ද වලින්. එතුමා අද ලබන වරප්‍රසාද ඇතුළු සියලු දේවල් එතුමාට ලැබුණේ එක්සත් ජාතික පාක්ෂිකයා නිසා.

කව්රු හරි අධිකරණයට, මානව හිමිකම් සංවිධාන වලට බනිනවා නම්, චෝදනා එල්ල කරනවානම් එවැනි අය සම්බන්ධයෙන්න අපි දෙවරක් සිතිය යුතුයි. තමන්ට වාසිවන ආකාරයට තීන්දු තීරණ නොලැබෙන විට තමයි මෙවැනි ආකාරයේ චෝදනා එල්ල කරන්නේ. ඒ වගේම ඇතැම් අමාත්‍යාංශ වල ලේකම්වරු හිතාගෙන ඉන්නේ රට පාලනය කරන්නේ ඒ ගොල්ලො කියලා. අපි කියනවා, අපිත් එවැනි නිලධාරින් සම්බන්ධයෙන් විමසිල්ලෙන් ඉන්නෙ කියලා. අනිසි ලෙස කටයුතු කරන එවැනි නිලධාරින් පිළිබඳව තොරතුරු එක්රැස් කිරිමත් අපි විසින් සිදුකරමින් සිටිනවා. ජාතික ආණ්ඩුවක් ඇතිකිරිම සම්බන්ධයෙන් මතුවී ඇති කතා බහ ගැනත් යමක් කිව යුතුයි. ජාතික ආණ්ඩුවක් පත් කරන ලෙස ජනතාව ඉල්ලා සිටිනවා. නමුත් අපි ජාතික ආණ්ඩුවක් පත්කරන්නේ පසුගිය කාලයේදී ක්‍රියාත්මක වූ පරිදි නෙවෙයි. වත්මන් පාර්ලිමේන්තුව 2020 අගෝස්තු වනතෙක් පවතිනවා. එළඹෙන ජනාධිපතිවරණයෙන් තේරීපත්වන ජනාධිපතිවරයා විසින් තමයි මහ මැතිවරණය කැඳවන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් ලෙස ස්ථාවර විය යුතුයි.ඒ ස්ථාවරත්වය ඇති කිරිම වෙනුවෙන් ජාතික ආණ්ඩුවක් ඇතිකිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා. රට වෙනුවෙන් ඉටුකළ යුතු විවිධ කාර්යයන් තිබෙනවා.

ඡායාරූපය - සිරිපාල හල්වල

නව අදහස දක්වන්න