මොහාන්-රවීන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කිරීම ක්‍රීඩා රෙගුලාසි අනුව විනිවිද භාවයෙන් කළ දෙයක් | දිනමිණ

මොහාන්-රවීන් ක්‍රිකට් නිලවරණයෙන් ඉවත් කිරීම ක්‍රීඩා රෙගුලාසි අනුව විනිවිද භාවයෙන් කළ දෙයක්

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා

ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටු නිර්දේශ අනුව නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට එරෙහි එම තීන්දු ක්‍රීඩා රෙගුලාසි අනුව විනිවිද භාවයෙන් සිදුකළ ඒවා බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසයි. නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය එම දෙදෙනා අධිකරණය හමුවේ නඩුවක් ගොණු කළද එයට එරෙහිව කරුණු දක්වා තමන් ද අධිකරණය හමුවට යන බව පෙරේරා මහතා පැවැසීය. ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

වසර 2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරමින් සිටියදී හිටපු ක්‍රීඩා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයකින් එම කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් ක්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් බව ප්‍රකාශ වුවද, එම චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් හෝ සිදු නොකළ බව මොහාන් ද සිල්වා මහතා පැවසීම පිළිගත නොහැකි බවත් පසුගිය සඳුදා නිලවරණට නුසුදුස්සන්වීමේ ලිඛිත නිවේදනය ලියාපදිංචි තැපෑලෙන් යෑවූ බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මේ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

එමෙන්ම චෝදනාවලට අදාළව මොහාන් - රවීන් යන මහත්වරු එවා තිබූ ලිපි හා එහි අඩංගුව තිබූ කරුණු සැලකිල්ලට ගෙන විධිමත් පරීක්ෂණයක් සිදු කළ බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. ඇමැතිවරයා පත්කළ අභියාචනා කමිටුවේ සංයුතිය ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල බැවින් තීරණ සම්බන්ධ කිසිදු ගැටලුවක් පැන නොනගින බව ඒ මහතා පැවැසීය.

“අභියාචනා කමිටුවේ තීන්දු හා තීරණ සම්බන්ධව නීතිපතිවරයා හා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයෙකු සමග සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනා කමිටුවේ තීන්දුවලට ඔවුන් ගරු කළා. මේ සම්බන්ධව ඇමැතිවරයාට තීරණයක් ගත හැකි බව ඔවුන්ගේ මතයයි. අප මොහාන් හා රවීන් යන මහත්වරුන්ට දුරකතනයෙන් අමතා ඔවුන් පදිංචි නිවැරදි ලිපින ලබාගෙන නාම යෝජනා ප්‍රතික්ෂේපවීමට හේතු දැනුම්දී අවසන්. අධිකරණය තුළින් සාධාරණයක් අපේක්ෂා කිරීම ඔවුන්ගේ අයිතියක්. හැබැයි එවැනි අවස්ථාවක අපටත් කරුණු කීමේ හැකියාව පවතිනවා” ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසීය.

මෙලෙස එක් පාර්ශ්වයක් අධිකරණයට යෑමෙන් ක්‍රිකට් නිලවරණය කල්යෑමේ අවධානම හා අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රතිචාරය කුමක් වේවිද? යන්න මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් යොමුකරද්දී ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසූවේ එවැනි තත්ත්වයකදී පියවර දෙකක් ක්‍රීඩා අමාත්‍යාංශය සතුව පවතින බවයි. ඉන් පළමු වැන්න අධිකරණයට ගොස් කරුණු කීම හා දෙවැන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කොට සුදුසු පියවරක් ගැනීම යන අවස්ථා බව පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කොට සුදුසු පියවරක් ගැනීම පිළිබඳ මේ අවස්ථාවේදී වැඩිදුර කරුණු ප්‍රකාශ කළ නොහැකි යැයිද ඒ මහතා සඳහන් කළේය.

අධිකරණය මගින් ක්‍රිකට් නිලවරණයට වාරණයක් ලබාදුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කැමැත්ත ලබා කෙටි කාලීන ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමේ හැකියාව ක්‍රීඩා ඇමැතිවරයා සතු බලතල අනුව සිදුවිය හැකිය. ක්‍රිකට් නිලවරණය පසුගිය 7වැනිදා පැවැත්වීමට කලින් දින නියමකොට තිබුණද නිලවරණය සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගත්තේය. ක්‍රිකට් අභීයාචනා කමිටුව පත් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත්වල පරස්පරයන් තිබූ හෙයින් පෙබරවාරී 21වැනිදා නිලවරණය පවත්වන බව මෙයට සති කිහිපයකට පෙර ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසා සිටියේය. ක්‍රිකට් අභියාචනා කමිටුවට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමික විනිසුරුවෙකු ලෙස ඉංග්‍රිසි ගැසට් පත්‍රයේ සඳහන්ව තිබුණද, සිංහල පිටපතේ විශ්‍රාමික යන්න සඳහන්ව නොතිබූ බව ඒ මහතා පෙන්වා දෙයි. කෙසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඡන්ද විමසීම මේ මස 28දා පැවැත්වෙන හෙයින් එයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වා අවසන් කරන ලෙස ජගත් කවුන්සිලය ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.

 ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න