ටෙස්ට් ජයක් ලැබූ ඩර්බන් පිටියේදී ශ්‍රී ලංකා පිල යළි වාසනාව සොයයි | දිනමිණ

ටෙස්ට් ජයක් ලැබූ ඩර්බන් පිටියේදී ශ්‍රී ලංකා පිල යළි වාසනාව සොයයි

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගමාලාවේ සියළු අවාසි තම කණ්ඩායම වෙතට පැටවී තිබුණත් අද (13) ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා පිල එක්වන්නේ ඊට පෙර අවසන් වරට මේ ක්‍රීඩාංගණයේ පැවැති ටෙස්ට් තරගය ජයගැනීමේ මතකය අලුත් කරමිනි.

නවසීලන්තයේදී සහ ඔස්ට්‍රේලියාවේදී ලැබු වේදනාකාරී පරාජයෙන් පසුව නායකත්වයත්, කණ්ඩායමේ ස්ථානයත් අහිමිවූ දිනේෂ් චන්දිමාල් ආපසු ගෙදර යද්දී ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගමාලාවට එක්වී සිටින්නේ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙනි. ටෙස්ට් තරගමාලාව 3-0කින් පරාජයට පත්වූ . අවසන් දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් වාර්තා වූයේ අර්ධ ශතක 3ක් පමණක් වන අතර ඉන් එකකට හිමිකම් කීවේ දිමුත් කරුණාරත්නය. ඔහු පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ දකුණු අප්‍රිකානු පිල තරග 2-0කින් පරාජය කිරීමට කණ්ඩායම සමත්වෙද්දී තරගමාලාව පුරා ලකුණු 356ක් රැස් කරමින් කැපී පෙනෙන දස්කම් පෑවේය.

දකුණු අප්‍රිකාවේදී මෙතෙක් පැවැති ටෙස්ට් තරග 13කින් 11ක්ම පරාජයට පත්වී සිටියත්, ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ බලාපොරොත්තු ඉහළ දමාගනිමිනි. ඊට හේතුව මීට පෙර ඩර්බන් නුවර පැවැති ටෙස්ට් තරග 2න් එක් තරගයක් ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමටත්, අනික් තරගය ජයගැනීමටත් ශ්‍රී ලංකා පිලට සමත්වීමය.

වසර 2000/2001 තරග වාරයේදී දෙපිල අතර මේ ක්‍රීඩාංගණයේ පළමුවරට පැවැති ටෙස්ට් තරගය වර්ෂාව හේතුවෙන් ජයපරාජයෙන් තොරව බේරාගැනීමට සමත්වූ ශ්‍රී ලංකා පිල 2011/2012 තරගවාරයේ පැවැති ටෙස්ට් තරගය ලකුණු 208කින් ජයගත්තේය.

කිංස්මීඩ් තණතීරුවේ දී ජාම බේරා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වෙද්දී සත්කාරක දකුණු අප්‍රිකානු පිල වසර 2008/2009 තරගවාරයේ සිට මේ තණතීරුවේ ක්‍රීඩා කළ ටෙස්ට් තරග 8කින් 6ක්ම පරාජයට පත්වීම කැපී පෙනේ. මේ තණතීරුවේ ඔවුන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. ඒ කාලයට සාපේක්ෂව දකුණු අප්‍රිකාවේ සෙසු ක්‍රීඩාංගණවල පැවැති ටෙස්ට් තරග 44ක් අතරින් 32ක්ම ජයගැනීමට ඔවුහු සමත්වූහ. පරාජයට පත්වූයේ තරග 6ක් පමණි. ඒ අතින් බැලූවිට ඩර්බන් ක්‍රීඩාංගණය සත්කාරකයන්ට කොහෙත්ම වාසිසහිත ක්‍රීඩාංගණයක් නොවන බව පෙනී යයි.

මේ තණතීරුව දඟපන්දු යවන්නන්ට වාසිදායක වන අතර වේගපන්දු යවන්නන්ට එරෙහිව ගිය එකකි. ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කළ පළමු තරගයේදී එවකට කණ්ඩායමේ පන්දු යැවීමේ තුරුම්පුව බවට පත්වී සිටි මුත්තයියා මුරලිදරන් තරගය පුරා කඩුලු 10ක් බිඳ දැමුවේය. දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පිල ජයගත් එකම ටෙස්ට් තරගය බවට පත්වූ වසර 2011දී පැවැති දෙවැනි තරගයේදී රංගන හේරත් කඩුලු 9ක් දවාගත්තේය.

ඩර්බන් නුවරදී ශ්‍රී ලංකා පිලේ තරග ඉතිහාසයේ වැඩි කාර්යභාරයක් දඟපන්දු යවන්නන් විසින් සිදු කරනු ලැබුවත් අද තරගයට කණ්ඩායම එක්වන්නේ රංගන හේරත් විශ්‍රාම ගැනිමෙන් පසුව ඒ හිඩැස පුරවා දැමූ පිටදඟ පන්දු යවන ඩිල්රුවන් පෙරේරාත් නැතිවය. පසුගිය වසරේ දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ තරග 2ම ශ්‍රී ලංකා පිල ජයගත් ටෙස්ට් තරගමාලාවේදී ඩිල්රුවන් කඩුලු 16ක් බිඳ දමා තිබිණි.

එම තරගමාලාවෙන් දකුණු අප්‍රිකාව 2-0කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මේ සංචාරයට එක්වී සිටින්නේ ක්‍රීඩකයන් 6ක් පමණි. එමෙන්ම මීට පෙර අවසන් වරට දකුණු අප්‍රිකාවේ සංචාරය කළ කණ්ඩායමෙන් මෙවර සංචාරයට ඇතුළත්වී සිටින්නේ ක්‍රීඩකයන්ගෙන් 8ක් පමණි.

කිංස්මීඩ් තණතීරුව දඟපන්දු යවන්නන්ට වාසි සහගත බැවින් මෑත කාලයේ සිය භූමිය තුළ ටෙස්ට් තරග 6ක්ම දිනා දුන් දකුණු අප්‍රිකානු වේගපන්දු යැවීමේ බලඈණියට අද තරගයේදී අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන්ගේ ඉවසීම පරික්ෂා කිරීමට කෙටි පන්දුවල පිහිට පැතීමට සිදුවනු ඇත. කෙසේ වෙතත් කිංස්මීඩ් තණතීරුවේ ඉතිහාසයට අනුව අද තරගයේදී වේගපන්දු යවන්නන් අඩු කොට ඩර්බන් නුවර පදිංචිකරුවකු වන වමතින් දඟපන්දු යවන කේෂව් මහරාජ් අවස්ථාවක් ලබාදීමට දකුණු අප්‍රිකානු පිල කටයුතු කරනු ඇත. ටෙස්ට් තරග 23කට ක්‍රීඩා කර ඇති මේ 29 හැවිරිදි ක්‍රීඩකයාට කඩුලු 100 සම්පූර්ණ කිරීමට අවශ්‍ය වී ඇත්තේ තවත් කඩුලු 10ක් පමණි.

පසුගිය අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ද්විත්ව ශතක වාර්තාවකට හිමිකම් කී ඇන්ජෙලෝ පෙරේරා සහ එම තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූ ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමේ පිතිහරඹ අංශය ශක්තිමත් කිරීමට එක්වී සිටින අතර විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙණිය සහ මොහොමඩ් ශිරාස් පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට එක්වී සිටිති.

දෙපිල අතර මෙතෙක් පැවැති ටෙස්ට් තරග 27න් තරග 14ක් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්වී ඇති අතර ශ්‍රී ලංකාව ජයගත්තේ තරග 7ක් පමණි. ඉතිරි තරග 6 ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කෞෂල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, ළහිරු තිරිමාන්න, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, ඇන්ජෙලෝ පෙරේරා, චාමික කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙණිය, ඕෂධ ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය - ෆෆ් ඩු ප්ලෙසි (නායක), හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, තියුනිස් ද බෘයින්, කුවින්ටන් ඩි කොක්, ඩීන් එල්ගාර්, සුබෙයිර් හම්සා, කේෂව් මහරාජ්, ඒඩ්න් මැක්‍රාම්, වියාන් මුල්ඩර්, ඩුආන් ඔලිවර්, වර්නන් ෆිලෙන්ඩර්, කගීසෝ රබාඩා, ඩේල් ස්ටේන්.


නව අදහස දක්වන්න