කියත! | දිනමිණ

කියත!

දහඅටවන සියවස වනවිට ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් වනාන්තර හා මූකලාන්වලින් වැසී තිබිණි. දහනමවන සියවසේ මැදභාගය වන විට එම වන ආස්තරණය 60% ගණනකට බැස තිබිණි. ඊටත් පසු කාලයේදී එය 40% ගණනකට බැස්සේය. වනාන්තර හෙළිකිරීම ඉතා ශීඝ්‍රයෙන් සිදුවූ අතර අද වනවිට ශ්‍රී ලංකාවේ වනගහනය 20% ගණනක් බව කියති. ඇතැම් පරිසරවේදීන්ගේ මතයට අනුව වන ආස්තරණයේ සත්‍ය අනුපාතය මුළු භූමියෙන් 16% ක් බව ද දැනගන්නට ලැබේ. දුටු - දුටු තැන ගසක් කපා හොරෙන් හෝ අලෙවි කිරීම අද ක්‍රමය වී තිබේ.

අප ඉහත පූර්විකාව ලියා තබනුයේ ජනාධිපතිවරයා ගත් අතිශය වැදගත් තීරණයක් ගැන සංවාදයක් ඇති කිරීම සඳහා ය. එම තීරණය වන්නේ තත්පර ගණනකින් රූස්ස ගස් බිම හෙළන හා ඒවා කුට්ටි කර අලෙවි කිරීමට උපකාරී වන “චේන් සෝ” හෙවත් දම්වැල් කියත් නැතහොත් විදුලි කියත් භාවිත කිරීම හා ළඟ තබා ගැනීම සඳහා අවසර පත්‍රයක් ලබාගත යුතු බවට නීතියක් පැනවීම ය. මෙසේ ක්ෂණිකව මහා ගස් බිම හෙළිය හැකි යන්ත්‍ර සූත්‍ර නිසා වන විනාශය ශීඝ්‍ර වී ඇත. ගස් ජාවාරමෙහි යෙදෙන සෑම පුද්ගලයකු ළඟ ම විදුලි කියත ඇතැ’යි විශ්වාස කරන්නට පුළුවන.

මේ නීතිය හරියටම ක්‍රියාත්මක ක‍ළහොත් වන විනාශය අඩුකර ගත හැකි බව පැහැදිලිය. වනාන්තර හා මූකලාන්වලට අනවසරයෙන් ඇතුළු වන ජාවාම්කරුවාට එම භූමිය තුළ විශාල කාලයක් මිඩංගු කිරීමට හැකියාවක් නැත. අවශ්‍ය ගස් ප්‍රමාණය වහා ම බිම හෙළා කුට්ටි කර ඒවා ද රැගෙන ඔවුන් පලා යා යුතු ය. විදුලි කියත මීට හොඳ ම උපකාරයකි. පළාතේ පොලිසිය ළඟ විදුලි කියත් ඇති පුද්ගලයන්ගේ නාම ලේඛනයක් තිබිය යුතු බව ද ජනාධිපතිවරයා කියයි. ඒ මඟින් වන විනාශයට සම්බන්ධ පුද්ගලයන් සොයාගත හැකි ය. ගස් බිම හෙළා ඇති ආකාරයෙන් ද ඒ සඳහා භාවිත කර ඇති යන්ත්‍ර හා ආම්පන්න හඳුනාගත හැකි ය.

දහනම වන සියවසේ අගභාගය වනවිටත් මේ රටේ සතා සීපාවා කරදරයකින් තොරව සිය භූමියෙහි ජීවත්වූහ. එහෙත් අද වනවිට බොහෝ සත්තු ගම්මානවලට කඩා වැදී වගාව විනාශ කරති. මිනිසුන්ට පහර දෙති. අලි-මිනිස් ගැටුම මේ අතින් ප්‍රධාන ය. එක අතෙකින් අලින්ගේ පහරකෑමට ලක් ව මිනිස්සු මිය යති. තව අතෙකින් මිනිසුන්ගේ පහරකෑමට ලක්ව වන අලි ශීඝ්‍රයෙන් මිය යති. මේ සිද්ධීන් දෙක ම බලවත් අපරාධ ලෙස සැලකිය හැකි ය. හස්තියා හෙවත් අලියා ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පතක් වන අතර ශීඝ්‍රයෙන් වඳවීමට ලක් ව සිටී. වන අලින්ගේ විනාශයට බලපාන ප්‍රධාන සාධකය වී ඇත්තේ වනාන්තර ශීඝ්‍රයෙන් හෙළි කිරීම ය. වනය නැතිව අලියාට ජීවත්වීමේ හැකියාවක් නැත.

වන විනාශයට අදාළ අපූරු කතාවක් ද ජනාධිපතිවරයා හෙළිදරව් කර තිබේ. එම කතාවට අනුව එක පැත්තකින් දහස් ගණන් පැළ සිටුවන අතර තව පැත්තකින් දහස් ගණන් ගස් කපා ජාවාරම් කරනු ලැබේ. ඇතැම් ප්‍රදේශවල ගැමියන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ ජාවාරම්කරුවන් ගසක් යන්තම් විශාල වනතුරු කෙළ හලමින් බලා සිටින බව ය. වන වගාව කෙරෙහි විශාල උනන්දුවක් රට තුළ පවතී. රජයේ ආයතන මෙන් ම පෞද්ගලික ආයතන ද නැවත වන වගාවට එක් වී සිටින බව පෙනෙයි. එහෙත් මේ නැවත වන වගාව ප්‍රතිඵලදායක වන්නේ සිදුවන වන විනාශය නතර කළහොත් පමණි. කෙතරම් වැටලීම් සිදුකළ ද කෙතරම් නීති පැවැතිය ද තව ම දැව ජාවාරම සිදුවෙයි.

අවසර නැති ව වැලි ප්‍රවාහනය තහනම් ය. අවසර නැතිව දැව ප්‍රවාහනය ද තහනම් ය. ඒ සඳහා මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලැබේ. එහෙත් ගස් මුදලාලිලාට ඕනෑතරම් අමුද්‍රව්‍ය තිබේ. වැලි මුදලාලිලාට ද ඕනෑතරම් වැලි තිබේ. ඒවා ඉතා ඉහළ මිලකට අලෙවි කරන මුදලාලිලා කෝටිපතියන් බවට පත්වී සිටිති. ජාවාරම නැවතී නැත. එයින් පැහැදිලි වන්නේ තවත් කොතැනක හෝ වරදක් සිදුවන බව ය. “චේන් කියත” හෙවත් විදුලි කියත භාවිතයට නීති පනවන්නා සේ ම දැව හා වැලි ප්‍රවාහනය ගැන ද මීට වඩා සැලැකිල්ලක් දැක්විය යුතුව ති‍ෙබ්.

සාමාන්‍යයෙන් ඕනෑම රටක වනගහනය සදාකාලික ලෙස එක ම අනුපාතයක පවතින්නේ නැත. ජනාවාස ඉදිකිරීම, නගර ඇති කිරීම, විවිධ සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, මහාමාර්ග තැනීම ආදිය සඳහා නිරන්තරයෙන්ම වනය හෙළිකිරීමට සිදුවේ. එහෙත් එහි කළමනාකරණයක් තිබිය යුතුය. අපේ රටේ නැත්තේ මේ කළමනාකරණය යැයි කියන්නට පුළුවන. මිනිසාට පිරිසිදු වාතය ලබාගැනීමට මෙන්ම ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමට ද වනය හොඳින් පවත්වාගත යුතු ය. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර පරිසර වාර්තාවක් ඉල්ලා සිටින්නේ ඒ නිසා ය.

මැලේසියාව දැව අපනයනය කරන රාජ්‍යයකි. එහෙත් ඒ රටේ වනාන්තර හොඳින් පවතී. අපනයනය සඳහා යොදාගනු ලබන වෘක්ෂ වෙළෙඳ වගාවක් ලෙස ඇති කළ ඒවා ය. මැලේසියාව වන කළමනාකරණය හොඳින් පවත්වාගෙන යන රාජ්‍යයක් ලෙස පෙන්වාදිය හැකි ය. ශ්‍රී ලංකාව වන කළමනාකරණය ගැන මැලේසියාවෙන් උගත යුතු යැයි අපට සිතේ. භූතානය පරිසරය සම්බන්ධයෙන් මහත් උනන්දුවක් දක්වන දකුණු ආසියාවේ සුන්දර රාජ්‍යයකි. භූතානයේ කිසිදු ස්වභාවික සම්පතක් විදේශිකයන්ගේ සූරාකෑමට ලක්වී නැත. ඒ රටේ නීතියට අනුව ස්වාභාවික සම්පත් විනාශ කරන අයට දැඩි දඬුවම් ලැබේ.

පරිසරයේ අගය මේ වනවිටත් අපට හොඳින් දැනෙන්නට පටන්ගෙන තිබේ. මහනුවර නගරයෙහි වාතය දූෂිත බව මෑතකදී හෙළිදරව් විය. එය කලකට පෙර පැවැතියේ ශ්‍රී ලංකාවේ සුන්දරම හා පිරිසුදුම ඓතිහාසික නගරය ලෙස ය. මහනුවර අවට සිදුවී ඇති වන විනාශයත් වායු දූෂණයට බලපා තිබේ. වනාන්තර රැකගැනීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් දේශපාලන භේදයකින් තොරව අගය කළ යුතු ය. ඊට මහජනයාගේ සහයෝගය ද ලැබිය යුතු ය.

 


නව අදහස දක්වන්න