මධුෂ් ඇතුළු 30කගේ අධිකරණ කටයුතු අරඹයි | දිනමිණ

මධුෂ් ඇතුළු 30කගේ අධිකරණ කටයුතු අරඹයි

විජයානි එදිරිසිංහ

ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන ඇති මාකඳුරේ මධුෂ් ඇතුළු තිස්දෙනකු සම්බන්ධයෙන් එරට අධිකරණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වන අතර මේ වනවිට එම සෑම කටයුත්තක් සම්බන්ධයෙන්ම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිරතුරු අවධානය යොමු කරමින් තානාපති අංශ ඔස්සේ වාර්තා ලබාගන්නා බව වාර්තා වෙයි.

මේ අතර නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥවරු පිරිසක් ඩුබායි වෙත ගොස් ඇත්තේ මධුෂ් වෙනුවෙන් පෙනී සිටීමට නොව අමල් පෙරේරා සහ මෙරට කලාකරුවන් කිහිපදෙනකු වෙනුවෙන් පෙනී සිටීමට බව එම නීතිඥවරයා පවසයි. උදුල්‍ ප්‍රේමරත්න මහතා විසින් ඊයේ එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම පිණිස පෙරකලාසියක් ඉදිරිපත් කර ඇති බවද කියයි.‍‍‍

තවද මධුෂ් ඇතුළු පිරිස වෙනුවෙන් ඉන්දියාවෙන් නීතිඥවරුන් පිරිසක් පෙනී සිටින බව ද කියා සිටියි. මේ අතර මධුෂ්ගේ රුධිර සාම්පලවල මත්ද්‍රව්‍ය නැති බවට ඇතැම් වාර්තා පළ වූවත් එම රුධිර සාම්පලවල කොකේන් අඩංගු බවට වාර්තා වී ඇත. පෙරේදා ඩුබායි වෙත ගොස් ඇති එම නීතිඥවරුන්ට මධුෂ්, අමල් පෙරේරා ඇතුළු පිරිස හමුවී සාකච්ඡා කිරීමට ඩුබායි පොලිසිය එම බන්ධනාගාර නිලධාරින් විසින් අවසර ලබා දී තිබුණි. ඒ අනුව එම නීතිඥවරුන් ඊයේ මධූෂ් ඇතුළු පිරිස හමුවී සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

මෙම නීතිඥවරුන් මධුෂ් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටීම පිණිස එරටට ගොස් ඇතත් එරට නීතිය අනුව මෙරට නීතිඥවරයකුට එරට අධිකරණයට ඉදිරිපත් කරන මෙරට සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට අවස්ථාවක් එරට නීතියෙන් අවසරයක් නැති බවද වාර්තා වෙයි.

ඒ අනුව මෙරටින් ගිය නීතිඥවරුන් පිරිස විසින් මෙම සැකකරුවන් වෙනුවෙන් එරට වෙනත් නීතිඥවරුන් ලබාගෙන එම නීතිඥවරුන් මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සකස් කරන බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් පැවැසීය.

තවද ෂරියා නීතියට අනුව සැකකරුවෙක් අත්අඩංගුවට ගත්විට අනිවාර්යයෙන්ම පැය විසිහතරක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට නීතියක් නැති බව පවසන එම නීතිඥවරුන් කියා සිටින්නේ එරට පොලිසියට අවශ්‍ය කාලයක් රඳවාගෙන ප්‍රශ්න කර අවසානයේ මහාධිකරණයකට ඉදිරිපත් කිරීමට හැකි බවයි. පෙරේදා මෙම සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ මෙරට මහේස්ත්‍රාත් අධිකරණයටත් වඩා පහළ අධිකරණයකට වන අතර එම අධිකරණයෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව දැනුම් දී ඇත.

ඉන් අනතුරුව සියලු පරීක්ෂණ අවසානයේදී ඉහත සඳහන් පරිදි ඉහළ අධිකරණයකට ඉදිරිපත් කරන බවද වාර්තා වෙයි. ඒ සඳහා ඩුබායි පොලිසියට අවශ්‍ය නම් මාස තුනක කාලයක් හෝ රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාව ඇති බවද පැවසේ.

එහෙත් මෙරටින් ගිය නීතිඥවරන්ගේ කණ්ඩායමට සම්බන්ධ නීතිඥවරයකු කියා සිටියේ ඩුබායි ගිය නීතිඥවරුන් කණ්ඩායම ඊයේ සැකකරුවන් හමුවීමෙන් අනතුරුව සියලු තොරතුරු ලබා ගෙන එරට ඉහළ පෙළේ නීතිඥවරුන් කණ්ඩායමක් හමුවී ඇති බවයි. කෙසේ වෙතත් ෂරියා නීතිය අනුව මේ වනවිට විදෙස් කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඩුබායි සිදුවන මෙම සියලු කටයුතු පිළිබඳ අවධානය යොමුකර මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීම පිණිස එරට අධිකරණයේ අවසරය ලබාගැනීමට කටයුතු කරමින් සිටියි.

 

නව අදහස දක්වන්න