පින්නවල අලි ගාලට නව රථ ගාලක් | දිනමිණ

පින්නවල අලි ගාලට නව රථ ගාලක්

පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා පහසුකම් පුළුල් කරමින් අංග සම්පූර්ණ රථගාලක් ඉදිකෙරේ.මේ සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වැයකරන මුදල රුපියල් දසලක්ෂ පනස්තුනයි දශම පහකි .

පින්නවල අලි අනාථාගාරයට යාබද මෝදරවත්ත නමැති ඉඩමේ ඉදිකෙරෙන මෙම රථගාල සඳහා මුල්ගල තැබීම පසුගියදා සංචාරක, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අධීක්ෂණ මන්ත්‍රී, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංදිත් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එම අවස්ථාවට රඹුක්කන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කේ.කේ.ඩී.වික්‍රමසිරි මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද, ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ධම්මිකා මල්සිංහ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ රේණුකා බණ්ඩාරනායක මහත්මමහත්මීහු ඇතුළු නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ. විදේශීය සංචාරකයන් රැගෙන එන විශාල ප්‍රමාණයේ බස් රථ විසි දෙකක් හා මෝටර් කාර් රථ දහහතක් සඳහා මෙහි පහසුකම් සැලසෙන අතර, මෙම වසර නිමවීමට පෙර මෙහි ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂිතය.

පින්නවල අලි අනාථාගාරය ඉදිරිපස කෑගල්ල රඹුක්කන මාර්ගයේ දිනපතා පවතින මාර්ග තදබදයද මෙමඟින් නිමාවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සටහන සහ ඡායාරූපය
රඹුක්කන විශේෂ, රඹුක්කන උතුර සමූහ

 

නව අදහස දක්වන්න