මාක් වුඩ් කොදෙව් ඉනිම සුනුවිසුණු කරයි | දිනමිණ

මාක් වුඩ් කොදෙව් ඉනිම සුනුවිසුණු කරයි

කඩුලු 2කට ලකුණු 59ක්ව තිබූ බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිමේ මැදපෙළ පිතිකරුවන් සිවුදෙනකුම ලකුණු 20ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූ එංගලන්ත පිලේ වේගපන්දු යවන මාක් වුඩ් දෙපිල අතර සාන්ත ලුසියා හී ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ පස්වරු තේ පානයෙන් මොහොතකට පසුව සත්කාරකයන්ගේ ඉනිම ලකුණු 154කට සීමා කිරීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් කොදෙව් පිලේ වැඩබලන නායක ක්‍රෙග් බ්‍රැත්වේට් පළමුව පන්දුවට පහරදීමේ වාරය ලබාදී ලකුණු 277කට එංගලන්ත පළමු ඉනිම සීමා කිරිමට කොදෙව් පන්දු යවන්නන් සමත්වූවත් පිතිකරුවන් අන්දමන්ද කළ මාක් වුඩ්ගේ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ ඉනිම ලකුණු 154කට සීමාවූයේ එංගලන්තයට ලකුණු 123ක වාසියක්ද ලබාදෙමිනි.

කොදෙව් ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක බ්‍රැත්වේට් සහ ජෝන් කැම්බල් සමත්වූවත් මැදපෙළ පිතිකරුවන් අසරණ කළ වුඩ් ලකුණු 41කට කඩුලු 5ක් දවාලමින් සිය කණ්ඩායම ඉහළට ඔසවා තැබුවේය.

දිනය නිමාවනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කිසිවකු නොදැවී ලකුණු 19ක් ලබා සිටියේය.

මේ තරගාවලියේ සිය පළමු තරගයට ක්‍රීඩා කරන වුඩ් ලකුණු 59කට කඩුලු 2ක්ව තිබූ කොදෙව් ඉනිම ලකුණු 79කට කඩුලු 6ක් දක්වා ඇදගෙන ගියේ පිට පිට පන්දු දෙකකින් ෂායි හෝප් සහ රොස්ටන් චේස් දවාගනිමිනි. මුයින් අලී ලකුණු 36කට කඩුලු 4ක් දවාලමින් කොදෙව් ඉනිම නිමාවට පත් කළේය.

නව අදහස දක්වන්න