ක්‍රිකට් නිලවරණය කල් යයිද? | දිනමිණ

ක්‍රිකට් නිලවරණය කල් යයිද?

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටු නිර්දේශ අනුව නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරු එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ගයට එළැඹෙන බව පවසති. මේ හේතුවෙන් මේ මස 21වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණය කල්යෑමේ අවදානමක් මතුව ඇත.

සභාපති තනතුරට නාම යෝජනා ඉදිරිපත්කර තිබූ මොහාන් ද සිල්වා සහ උප සභාපති තනතුරට නාම යෝජනාදී සිටි රවීන් වික්‍රමරත්න මහත්වරු වසර 2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරමින් සිටියදී හිටපු ක්‍රීඩා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ගැසට් නිවේදනයකින් එම කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන් ක්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් බව මාධ්‍ය මගින් දැනගත්තද, එම චෝදනා පිළිබඳ විධිමත් පරීක්ෂණයක් හෝ සිදු නොකළ බව ඔවුහූ පවසති.

එමෙන්ම ඊයේ වනතුරු ක්‍රිකට් නිලවරණයට නුසුදුස්සන් බවට ලිඛිතව දැනුම්දීමක් හෝ ක්‍රීඩා අමාත්‍යාංශය නොකිරීම ක්‍රීඩා පනත උල්ලංඝණය කිරීමක් බවද පෙන්වා දෙයි.

“ මා ආනන්ද විදුහලෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධවී එස්. එස්. සී. පිලට වසර ගණනාවක් ක්‍රීඩා කළ කෙනෙක්. එහිදී පළමු පෙළ, දෙවැනි පෙළ හා තෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩා කොට ශූරතා දිනාගත්තා. පසුව ක්‍රිකට් පරිපාලනයේ විවිධ තනතුරුවල මා කටයුතු කළා. නමුත් ක්‍රිකට් ක්‍රීඩා නොකළ අයට නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා ලබාදී තිබෙනවා. මේක කණගාටුදායක තත්ත්වයක්. මට එරෙහි චෝදනා 2005දී එදා පැවැති ක්‍රිකට් කමිටුව විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීම නම් 2015දී සිටි නිලධාරීන්ගේ පත්වීම් අහෝසි කොට අතුරු කමිටුවක් පත් කිරීමත් ඒ හා සමානව වලංගු විය යුතුයි. එම කමිටුවේ සිටි ජයන්ත ධර්මදාස හා නිශාන්ත රණතුංග යන මහත්වරුන්ටත් අපට වගේම නිලවරණයට ඉල්ලන්න බෑ. නමුත් එහෙම වෙලා නෑ. ඒකෙන් අපට වැටහෙන්නේ ක්‍රීඩා රෙගුලාසි අපට විතරක් බලපාන බවද? මේ තීන්දුව අපට සිතා ගන්නවත් බැරි එකක්. මේ පසුපස විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ නිසා අපට ඉතිරිව ඇත්තේ නීතියේ පිහිට පැතීම පමණයි “ මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

නීති මඟට පිවිසීමේදී ක්‍රීඩාවට හානියක් නොවීමටත්, නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමි කිරීමෙන් කීර්ති නාමයට සිදුවූ කැළල මකා ගැනීමත්, තම කණ්ඩායමට වූ අගතිය නැති කර ගැනීමත් යන කරුණු පිළිබඳ අවධානය යොමු කරන බවද මොහාන් ද සිල්වා මහතා ඊයේ සී. සී. සී. ක්‍රීඩාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

උප සභාපති තනතුරට නාම යෝජනා භාරදී අභියාචනා කමිටුව නුසුදුස්සකු බවට පත්කර ඇති රවීන් වික්‍රමරත්න මහතා පැවැසූවේ නාම යෝජනා භාරදුන් පසු එල්ලවූ විරෝධතා විභාග කොට නිලවරණයට ඉදිරිපත්වීමට බාධා නොමැති බවට තීන්දුවක් ලබාදී තිබියදී පසුව එම තීරණ ඇමැතිවරයා පත්කළ අභියාචනා කමිටුව මගින් වෙනස් කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවය. එම කමිටුවේ සංයුතියද ක්‍රීඩා රෙගුලාසිවලට අනුකූල නොමැති බැවින් අධිකරණය තුලින් සාධාරණයක් අපේක්ෂා කළ හැකි බව වික්‍රමරත්න මහතාගේ විශ්වාසයවී තිබේ.

ක්‍රිකට් සභාපති තනතුරට ඉදිරිපත්වූ අයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ව්‍යාපාරික සම්බන්ධතාවක් පවත්වමින් සිටියදී නිලවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න පිළිබඳ විරෝධතාවක් ඉදිරිපත් කළද එය ගණනකට නොගෙන ඇතැයි සභාපති ධූරාපේක්ෂක ෂම්මි සිල්වා මහතා සඳහන් කළේය. “මොහාන් මහතාගේ අවස්ථාව අහිමි කළත් මා සභාපති ධූරයට තරග කරනවා.

අපේ සාමාජික සංගම් අප කණ්ඩායම කෙරෙහි විශාල විශ්වාසයකින් සිටිනවා. අපේ ප්‍රතිවාදීන් අභියාචනා කමිටු තීන්දුව ලබාදීමට කලින්ම මොහාන් - රවීන් ඉවත් කොට ඇති බව ප්‍රචාරය කළා. එයින්ම තේරෙනවා මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බව“ ෂම්මි සිල්වා මහතා පැවැසීය.

නාම යෝජනා ලබාදුන් පුද්ගලයින් 6කට විරෝධතා ඉදිරිපත්ව තිබූ අතර එම විරෝධතා සියල්ල විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු අභියාචනා කමිටුව මගින් අධ්‍යයනය කළේය.

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හා ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ධර්මසේන කහඳව යන මහතා කටයුතු කළහ.

නව අදහස දක්වන්න