විදුලි හොරු! | දිනමිණ

විදුලි හොරු!

ආසියාවේ හා අප්‍රිකාවේ බිඳවැටුණු රාජ්‍යයන් කෙරෙහි අවධානය යොමු කරන විශේෂඥයන්ගේ එක් මතයක් වන්නේ යථෝක්ත රටවල වංචා - දූෂණ හා අක්‍රමිකතා අහස උසට ඇති බව ය. ආයතන වශයෙන් ද, පුද්ගලික වශයෙන් ද මේ රටවල සිදුවන හොරකම් වැළැක්විය හැකි නම්; ජනතාවට යහපත් ජීවිතයක් ගත කිරීමට පහසුවෙන් ම අවස්ථාව උදාකළ හැකි බව ඉහත විශේෂඥයන්ගේ මතය වෙයි. නයිජීරියාව වැනි රටක ඇති සම්පත් රටවල් කිහිපයක දියුණුවට ප්‍රමාණවත් ය. එහෙත් එම සම්පත් නිසි අයුරින් භාවිත වන්නේ නැත. කොටසක් බලවන්තයෝ සොරකම් කරති. තව කොටසක් නිලධාරීහු සොරකම් කරති. තවත් කොටසක් මහජන කොල්ලකෑම්වලට ලක්වෙති.

අප මේ පූර්විකාව සටහන් කර තබනුයේ; දේශපාලකයන් පමණක් නොව; පුරවැසියා ද සොරකම් කරන බව තහවුරු කිරීම සඳහා ය. දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ වංචා සෙවීමට කොමිෂන් සභා පත් කෙරේ. ඒ හැරෙන්නට ඉහළ මට්ටමේ පරික්ෂණ ද පැවැත්වේ. එහෙත් මහජනයා කරන සොරකම් පරීක්ෂාවට ලක් කිරීම සඳහා එබඳු විශේෂ වැඩසටහන් නැත. වැටලීම් හා විමර්ශන නමින් ක්‍රියාවලියක් තිබුණ ද ඒවා සාර්ථක බවක් පෙනෙන්නට නැත. බොහෝ ආයතන වැටලීම් ගැන උනන්දුවක් නැත. කලාතුරෙකින් වැටලීමක් සිදුකළ ද ඒ මගින් අනාවරණය වූ බරපතළ දේවල් නැත. ලංකා විදුලිබල මණ්ඩලය සිය වැටලීම්වලින් රුපියල් කෝටි දහතුනක ආදායමක් ලබා ඇතැ’යි ප්‍රකාශයට පත්වන්නේ මේ අතර ය.

වංචනික විදුලි පරිහරණය සම්බන්ධයෙන් යම් ප්‍රසිද්ධියක් ඇතැම් සමාජවලට තිබේ. හොරෙන් විදුලිය ලබාගැනීම යම් වීර ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. සමහරු විදුලි මීටරය වෙනස්කොට ගාස්තුව අඩුකරගනිති. තව සමහරු ප්‍රධාන විදුලිය රැහැන්වලට කොකු ගසා හොරෙන් විදුලිය ලබාගනිති. තවත් සමහරු නිත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ තම නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට හෝ විදුලිය ලබා ගනිති. මේ සියල්ලෙහි පාඩුව බැර වන්නේ විදුලිබල මණ්ඩලයට ය. විදුලිබල මණ්ඩලය යනු අදටත් විවිධ අභියෝග මැද පවත්වාගෙන යනු ලබන රාජ්‍ය - ආයතනයකි. රටේ රාජ්‍ය ආයතන කිහිපයක්ම විදුලිබල මණ්ඩලයට ණය ගෙවීමට තිබේ. ඒවා කවදා කෙලෙස අය කරගනු ලැබෙත් ද යනු ගැටලුවකි.

විදුලිබල මණ්ඩලයේ විමර්ශන ඒකකය 2018 වර්ෂය පුරාවට රට පුරා සිදු කරන ලද වැටලීම්වලින් විදුලිය මීටරය වෙනස් කිරීමේ සිද්ධීන් දෙදහස් දෙසිය හැටනමයක් හඳුනාගෙන ඇත. මේ හැරෙන්නට කොකු ගසා හොරෙන් විදුලිය උකහාගැනීම් දෙසිය පනස් තුනක් හඳුනාගෙන ඇත. අදාළ පුද්ගලයන්ට නීතිප්‍රකාර කටයුතු සිදුකොට අලාභය අය කරගෙන තිබේ. මෙයින් ලැබුණු ආදායම රුපියල් මිලියන එකසිය තිහක් හෙවත් රුපියල් කෝටි දහතුනක් බව සඳහන් ය. ජාවාරම දිගට ම පැවැතියේ නම් විදුලිබල මණ්ඩලයට සිදුවන පාඩුව කොතෙක්දැ’යි කිව නොහැකි ය. මෙබඳු වැටලීම් අඛණ්ඩව සිදු කරන්නේ නම්; එය ඉතා වැදගත් ය.

සෝවියට්දේශය ගොඩනැඟූ විප්ලවීය නායක වී. අයි. ලෙනින් විදුලිය හඳුන්වා දුන්නේ රටක් දියුණුව කරා ගෙන යා හැකි ප්‍රධාන සාධකයක් හැටියට ය. තව ම අපේ රටේ සියලු ගම්වලට විදුලිය නැත. එහෙත් දියුණු වෙමින් පවතින රටවල්වලට සාපේක්ෂව බලනවිට ශ්‍රී ලංකාවේ විදුලිය සැපයීම ගැන සතුටු විය හැකි ය. විදුලිය ගාස්තු අය කිරීම පවා සිදුවන්නේ සහන ක්‍රමයක් යටතේ ය. ගෘහස්ථ විදුලිය සැපයීම සඳහා සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලබාදී ඇත. මේ හැරෙන්නට නියඟය, තෙල් මිල, විවිධ ස්වභාවික විපත් ආදිය නොසලකා අඛණ්ඩව විදුලිය සැපයීමට ද විදුලිබල මණ්ඩලය සමත්වී ඇත. මෙබඳු තත්ත්වයක් යටතේ වංචනික විදුලි පරිහරණයක් සිදුවීම බලවත් අපරාධයක් සේ සැලැකීම ඉතා නිවැරැදිය.

ඇතැම් නිවසක විදුලිය භාවිතය උපරිම මට්ටමෙන් සිදුවන්නේ වුව විදුලිය භාවිතය සඳහා වන මාසික බිල ඉහළ යන්නේ නැත. මීටරය වෙනස්කොට මේ සොරකම කරනු ලැබේ. මීටරය සීල් තබා ඇති’මුත් ඒවා කඩා නැවත සීල් තැබීමට තරම් විදුලිය සොරු සූක්ෂම වෙති. කොකු ගසා හොරෙන් විදුලිය ලබාගන්නා අය උදෑසනම කොකු ගලවා ඒවා සඟවා තබති. නැවත රාත්‍රියේ දී ඒවා භාවිතයට ගනිති. මෙලෙස කොකු ගැසීමට ගොස් විදුලිය සැර වැදී මියගොස් සිටින අයකු ගැන වාර්තා ද පළවී ඇත. කොකු ගැසීම භයානක හා අවදානම්සහගත ක්‍රියාවකි. එහෙත් එය මුළුමනින්ම නතර වී ඇතැ’යි සිතන්නට බැරිය. අදත් කොකු ගසා විදුලිය ලබාගන්නා අය සිටින්නට පුළුවන.

විදුලිය හොරෙන් ගැනීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. විශේෂයෙන් මීටරය වෙනස් කිරීම සඳහා විශේෂ දැනුමක් තිබිය යුතුය. මේ දැනුම සාමාන්‍ය පුරවැසියාට ලැබෙන්නේ කෙසේ ද? එක්කෝ විදුලිබල මණ්ඩලයෙ කිසිවකුගේ ආධාරය හා උපදේශනය මත මෙවැන්නක් සිදුවිය හැකි ය. නැතහොත් පුරවැසියා විශේෂ ඥානයක් ලබාගෙන මේ හොරකමට පෙලඹෙනවා විය හැකි ය. කෙසේවුව වසරකට විදුලිය සොරකම් කිරීම් දෙදහස් ගණනක් වාර්තාවී ඇතැ’යි කීම හොඳ තත්ත්වයක් නොවේ. විදුලිය හොරකම තව අතෙකින් රාජ්‍ය සම්පත් කොල්ලකෑමක් ලෙස හඳුන්වාදිය හැකි ය. මේ අනුව වැරැදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීමට පියවර ගත යුතු ය. එසේ නොවුණහොත් විදුලිය සොරකම මහජනයාගේ සෙල්ලමක් බවට පත්වනු ඇත.

අප දන්නා පරිදි මෙබඳු මහජන ආයතනවල විමර්ශන ඒකක හා හදිසි වැටලීම් අංශ තිබේ. මේවා කාර්යක්ෂම ලෙස සේවයෙහි යෙදෙන්නේ නම්; සිදුවන හොරකම් වළක්වා ගත හැකි ය. මහජනයා මෙබඳු වැටලීම් කෙරෙහි යම් බියක් ද දක්වති. ඒ අනුව පෙනීයන්නේ සැලැකිය යුතු කාලයක් වැටලීම් සිදුවී නැති බව ය. නැතහොත් සිදුකළ වැටලීම් දුර්වල බව ය. විදුලිබල මණ්ඩලය ද විවිධ අභියෝග මැද ක්‍රියාත්මක වන ආයතනයක් බව අපි මුලින් සඳහන් කළෙමු. මේ අභියෝග ජය ගැනීමට නම්; ආයතනය ආර්ථික වශයෙන් සුරක්ෂිත විය යුතුය. එලෙස ම ලාභ ලබන ආයතනයක් බවට ද පත්විය යුතුය. එහි වගවීම වැඩියෙන් ම බරවන්නේ ආයතනයේ සේවක මණ්ඩලය හා ප්‍රධානීන් වෙත බව ද කිව යුතු ය.


නව අදහස දක්වන්න