සසුන්විල මහා පියුමක් බඳු රද්දැල්ලේ මහා නාහිමි | දිනමිණ

සසුන්විල මහා පියුමක් බඳු රද්දැල්ලේ මහා නාහිමි

කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි උප ප්‍රධානාචාර්යව වැඩ සිටිමින් දිගු කලක් මුළුල්ලෙහි සම්බුද්ධ ශාසනයටත් බෞද්ධ සමාජයටත් උදාර සේවාවක් සිදු කළ විද්‍යාවිශාරද, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අතිපූජ්‍ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝකාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන‍්සේගේ අපවත්වීමෙන් ජනවාරි 20 දිනට වසර 25ක් සම්පූර්ණ විය. යටත් විජිත සමයත් පශ්චාත් යටත් විජිත සමයත් දෙකම නියෝජනය කළ යතිවරයකු ලෙස උන්වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී උපාධ්‍යාය හා අනුනායක ධුරය හොබවමින් රට දැය ‍සසුනට ඉටුකළ මෙහෙවර අපමණය.

රත්නපුර දිස්ත්‍රික්කයේ රද්දැල්ලේ නම් ගම්මානයේ දී සහෝදර සහෝදරියන් 10 දෙනෙකුගෙන් යුත් පවුලක උන්වහන්සේ උපත ලැබූහ. 1925 අප්‍රේල් 25 දින අමුහේන්කන්ද ශ්‍රී විමලාරාමයේ දී පැවිද්ද ලැබූ උන්වහන්සේ අධ්‍යාපන කටයුතු සඳහා ලාංකේය ගිහි පැවිදි පඬිවරුන් රාශියකගේම තෝතැන්නක් වූ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූයේ ප්‍රාචීන පණ්ඩිත උපාධිය දිනා ගැනීම දක්වාම එහි අධ්‍යාපන කටයුතු කළහ. බොහෝ වත්මන් භික්ෂූන් වහන්සේලා බාහිර ශිල්ප ශාස්ත්‍රාදියට පමණක් නැඹුරුවුවත් භික්ෂුවක් බැබළීමට පත්වන්නේ ශාස්ත්‍රීය ඥානයෙන් පමණක් බව උන්වහන්සේ වටහාගෙන සිටියහ. ප්‍රාචීන පණ්ඩිත උපාධිය උසස් ලෙස සමත් වූ උන්වහන්සේ එහිම පරිවේණාචාර්ය ධුරයකින් පිදුම් ලැබූහ. එම පිරිවෙනෙහි උප පරිවේණාධිපති ධුරය දක්වා ම ඉහළට ගමන් කිරීමට තරම් උන්වහන්සේ දක්ෂ වූහ. උන්වහන්සේ විසින් දිනාගත් ශ්‍යාමරාජ ත්‍යාගය, අමරසිංහ සිංහල ත්‍යාගය, අමරසූරිය ත්‍යාගය, පියරතන සංස්කෘතික ත්‍යාගය ආදිය අධ්‍යයන කටයුතු විෂයෙහි දැක් වූ අසහාය දස්කම් කියාපායි. පසුව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් ව විවිධ ප්‍රාචීන, ප්‍රතිචීන භාෂා ශාස්ත්‍රත් නවීන ශිල්ප ශාස්ත්‍රත් හදාළ හ.

වසර 34ක් තරම් (1942 – 1976) දීර්ඝ කාලයක් විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ උන්වහන්සේ තමා සතු දැනුම් සම්භාරය නිසාම විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භයේ දීම කථිකාචාර්ය ධුරයකින් පිදුම් ලැබූහ.

වසර තිස් හතර (34) ක් තරම් දීර්ඝ කාලයක් විද්‍යෝදය පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස හා උප පරිවේණාධිපතිව කටයුතු කළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධූරීනව වැඩ සිටි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද ශාස්ත්‍රපති පූජ්‍ය රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනාහිමිපාණන්වහන්සේ තුළින් සමාජය දුටු නායකත්වය උන්වහන්සේට ආරෝපණය කරවන ලද්දේ නොවේ. සමාජය විසින් උන්වහන්සේගේ නායකත්වය අපේක්ෂා කරනු ලැබූවකි. අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ පීඨාධිපති ලෙසින් පත්වීම උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය ගමන් මාර්ගයේ කූටප්‍රාප්තිය ලෙස දැක්විය හැකිය.

කෝට්ටේ සංඝ සභාවේ ප්‍රධාන ලේකම් ධුරය උන්වහන්සේ දැරූහ. සමස්තලංකා සාහිත්‍ය සංගමයේ ලේකම් පදවියට පත් රද්දැල්ලේ නාහිමියෝ ඒ සංගමය ජීවත් කරවීමේ ජීවනාලිය බවට පත්වූහ. කොළඹ කොට්ඨාසයේ විහාරාධිපති සංගමයේ සභාපති ධුරයට ද, ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරයට ද, පත්වූ අනු නාහිමියෝ බෞද්ධ උපදේශක මණ්ඩලයේ ද, ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ ද, ප්‍රාචීන භාෂෝපකාර සමිතියේ කාරක සභාවේ උප සභාපති වශයෙන් ද, උත්කෘෂ්ඨ මෙහෙවරක යෙදුනහ.

දැනඋගත්කම් වැඩිවත්ම ලැබෙන තනතුරු ද, වැඩි වුවත් උන්වහන්සේ කෙදිනකවත් එම තනතුරුවලින් උඩඟු නොවූහ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවට මහත්සේ ගරු කළ උන්වහන්සේ එහි කාරක සංඝ සභාවේ කාරක පදවියක් ලබා අනුනායක ධුරය දක්වාම තනතුරු ලැබුවේ ශ්‍රේෂ්ඨ පැවිදි දිවිපෙවෙත නිසාමය.

 

පොන්නිලව රතනපාල හිමි

නව අදහස දක්වන්න