බාහිර පෙනුමට වඩා හැදියාව වටිනවා | දිනමිණ

බාහිර පෙනුමට වඩා හැදියාව වටිනවා

මහාචාර්ය තුඹුල්ලේ සිලක්ඛන්ධ හිමි

දැකීමෙන් සිත මුසපත් කර ගැනීමට පෘථග්ජනයෝ ඇලුම් කරති. ඇතැම් අවස්ථාවලදී ප්‍රිය වූ දෑ කරා ක්ෂණයකින් ආශක්ත වන මිනිසුන්ට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීමට ද සිදුවේ. සැබෑ ලස්සන කුමක්දැයි වටහා ගැනීමට බුදු දහම ඇසුරින් කරුණු දක්වන්නේ මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝසභික, උපාධ්‍යාය ධූරීන, වයඹ පළාත් ප්‍රධාන සංඝනායක, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන්ය.

 බුදු දහමේ දැක්වෙන ආකාරයට සැබෑ ලස්සන යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

මෙහිදී බුදුදහම සැබෑ ලස්සන ලෙස දක්වා තිබෙන්නේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් ඇතිවිය යුතු පාරිශුද්ධතාවයි. අපි හැමවිටම යමක ලස්සන අපේක්ෂා කරනවා. හැඩ වැඩ බලාපොරොත්තු වෙනවා. ඊට රැවටෙනවා. මෙය සනාතනික තත්ත්වයක්. මොකද? අපි හැමවිටම අපේ කෙලෙස් සහිත පුහුදුන් ගතිය නිසා අපේ ඉඳුරන් පිනවීමට ලොකු උත්සාහයක් ගන්නවා. ඇහැට ග‍ැටෙන රූපය ලස්සන නම් එය අයිතිකරගන්නයි අපි බලාපොරොත්තු වන්නේ. ස්ත්‍රී රූපය හා ඊට ඉලක්ක වන පුරුෂ රූපය අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ පෙන්වා දෙන ආකාරයට මේ ලෝකයේ ස්ත්‍රී රූපය තරම් පුරුෂයාගේ සිත ඇද බැඳ ගන්නා තවත් දෙයක් නැහැ.

මේ ලස්සනයි කියන රූපය නිසා බොහෝ දෙනා නොයෙක් විපත්තීන්ට ද ගොදුරු වෙනවා. සමහරවිට ජීවිත නසා ගැනීම පවා සිදු කරනවා. මෙම කරුණ කොතරම් සනාතනිකද කිවහොත් සද්ධර්මාලංකාරයේ එන ස්වර්ණතිලකා කථා වස්තුවේදී ස්වර්ණතිලකාගේ රූපශෝභාව ඇගේ ජීවිතය විනාශ වීමට තරම් හේතු වුණේ ඇය අපේක්ෂා කරන පුරුෂයෝ හත්දෙනෙක් ම එක් අයෙකුට එක් අයෙක් නොදෙවෙනිව තරගකාරීව ඇය අත්පත්කර ගැනීමට ඉදිරිපත්වුණු නිසයි.

බුදුරජාණන් වහන්සේ සැබෑ ලස්සන අත්දැක තිබුණු ශාස්තෘවරයෙක් ද?

බුදුරජාණන් වහන්සේ යථාර්ථයෙන්ම සැබෑ ලස්සන අත්දැක තිබුණු ශාස්තෘවරයෙක්. මා මුලදීත් ප්‍රකාශ කළ පරිදි සියලුම ආශාව ධර්මයන් ක්ෂය කළ උත්තමයකු වශයෙන්, උන්වහන්සේ දකින ලස්සන පුහුදුන් මිනිසා දකින ලස්සනට වඩා හාත්පසින්ම වෙනස් වූවක්. උන්වහන්සේ ලස්සන ලෙස දැක වදාළේ යථාර්ථයයි. අප දකින ලස්සන තාවකාලික වුවත් වැදගත් වන කරුණ වන්නේ මේ බාහිර රුවට අපි තවදුරටත් රැ‍වටෙනවා ද කියලා තමන්ගේම හෘදසාක්ෂියෙන් විමසා බැලීමයි. එය සත්තජටිල කියන සූත්‍ර දේශනාවෙන් මනාව පැහැදිලි වනවා.

බුදුරජාණන්වහන්සේ එයින් පෙන්වාදී තිබෙන්නේ හැමවිටම ලෝකය දෙස බලනවිට ඔවුන්ට පෙනෙන්නේ එහි යථාර්ථය නොවන බවයි. හරියට අව්කණ්ණාඩියකින් බාහිර පරිසරය දකිනවිට කණ්ණාඩියේ කාචයේ ඇති වර්ණයෙන් ඒ සියල්ල පෙනෙනවා වගෙයි. ඒත් පරිසරයේ ඇති ඇත්ත වර්ණය පෙනෙන්නේ නැහැ.

පුද්ගලයාගේ අභ්‍යන්තරය ලස්සන වන ආකාරය පිළිබඳව බුදු දහමෙන් ලබාදී තිබෙන චරිත නිර්දේශ කවරේද?

මේ තත්ත්වයෙන් අත්මිදීමට අවශ්‍ය වැඩ පිළිවෙළ හෙවත් නිර්දේශ බුදුරජාණන්වහන්සේ පියවර හතරකින් පැහැදිලි කර දෙනවා.

අපි සමාජයේ ජීවත් වනවිට එක් එක් උදවිය දැකලා ඔවුන් ගැන හදිසි තීන්දු තීරණවලට එනවා. එහිදී අපි දකින්නේ ඔවුන්ගේ බාහිර පෙනුමයි. මෙය වර්තමානයේ බොහෝ සැදැහැති බෞද්ධයෝ අත්විඳින කරුණක්. උදාහරණයක් ලෙස ගත්තම හදිසියේ බාහිරින් පැමිණි හිමිනමක් ලෙස පෙනී සිටින අයෙකු දැක ඒ අයගේ සිවුරේ වර්ණය, ගමන බිමන, ශරීරයේ රූපශෝභාව දිහා බලලා හදිසියේ මහත් පැහැදීමක් ඇතිකර ගන්නවා. ඒ දක්වා තමන් ඇසුරු කළ පන්සල විහාරස්ථානය, එහි වැඩ වසන ස්වාමීන් වහන්සේ අත්හරිනවා. අලුත් හිමියන්ට අලුතෙන් ආවාස ගෙවල් පවා ඉදිකරලා පන්සලකුත් ඉදිකරනවා. එහෙත් කලක් යනවිට ඔහුගේ නොදැහැමි පිළිවෙත් දැක කළ කිරෙනවා. අලුත් පන්සල අත් හරිනවා. විවිධ ගැටලු ප්‍රශ්න රැසකුත් ඇති කර ගන්නවා.

ඒ නිස බාහිර පෙනුම හෝ රුව දුටු පමණින් වසඟ නොවී බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන.

පුද්ගලයාගේ දුසිල් බව හෝ සුසිල් බව මැනිය හැක්කේ ඒ පුද්ගලයා සමඟ දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙනුයි.

එමෙන්ම අපි දන්නවා පුද්ගලයාගේ ජීවන පැවැත්මෙහි පාරිශුද්ධත්වය ගැන විවිධ අවස්ථාවල විවිධ විවේචන වගේම ඇගයීම් ඉදිරිපත් වෙනවා. නමුත් බුදුරජාණන්වහන‍්සේ පෙන්වා දෙන්නේ යම් භික්ෂුවක් හෝ ගිහියෙක්, උපාසකයෙක්, උපාසිකාවක් වෙනත් කවර පුද්ගලයෙකුගේ වුව ද ජීවන පැවැත්මේ පිරිසිදු බව හෝ අපිරිසිදු බව එහෙමත් නැත්නම් ජීවන පැවැත්මේ සරු නිසරු බව එක්වරම කෙනෙකුට තීරණය කරන්නට බැරි බවයි.

පුද්ගලයාගේ එලොව හා මෙලොව ජීවිතවල ගත සහ සිත ලස්සන කර ගැනීම සඳහා සිදු කළ යුතු දෑ කවරේද?

පළමුවෙන්ම පුද්ගලයා කලණ මිතුරකුසේ ඇසුරට යොමු කරගන්න අවශ්‍ය වෙනවා. සැබෑ කලණ මිතුරා හඳුනා ගැනීමට නම් තමන්ට ඒ පිළිබඳ ධර්මානුකූලව දැනුමක් ලබා තිබීම අවශ්‍යයි.

දෙවනුව සත්පුරුෂයන්ගේ ඇසුරට යොමුවීම අවශ්‍යයි. ඒ තුළින් සමාජයේ යහපැවැත්මට අවශ්‍ය සත්පුරුෂ ගුණධර්ම තම ජීවිතයට හුරුකර ගැනීමට පුළුවන් වෙනවා.

තෙවනුව යෝනිසෝමනසිකාරය හෙවත් ශක්තිමත්ව ක්‍රියා කළ යුතු වනවා. මෙහිදී වැදගත් වන්නේ මානසික සංවරයයි. එනම් පුද්ගලයා බණට භාවනාවට යොමුවූ අයෙක් වීමත් අවශ්‍ය වනවා.

අවසාන වශයෙන් ජීවිතය හැම විටම ධර්ම ප්‍රතිපත්තියෙන් ඔපවත් කරගත යුතු වනවා. මෙයින් අදහස් කරන්නේ දහමෙන් තොර ජීවිතයක් ඔහුට නොමැති බවයි. ඒ කියන්නේ කරණී‍යමෙත්ත සූත්‍රයෙන් පෙන්වා දෙන ආකාරයට තම ජීවිතයට උතුම් ගුණාංග ඒකරාශී කර ගැනීමයි. ඒ අනුව හැකියාව, ඍජුබව, සුවච බව, මෘදු බව, නිහතමානී බව, සැහැල්ලු බව ආදී චරිත ලක්ෂණ රැසක් අපේ ජීවිතවලට ඈඳා ගන්නට පුළුවන්.

සටහන
මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න