සුදුවෙන්නේ බලාගෙනයි | දිනමිණ

සුදුවෙන්නේ බලාගෙනයි

ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් ජයසිංහ

සම පැහැපත් කරගැනීම සඳහා අප රටේ බො‍හෝ කාන්තාවන් මෙන්ම ඇතැම් පිරිමි අයද නොයෙක් ක්‍රීම් වර්ග මෙන්ම එන්නත් වර්ග සහ පෙති (tablet) වර්ග භාවිත කිරීමට පෙළඹී සිටිති. උත්පත්තියෙන් පැහැපත් සමක් ඇති අයද මේ අය අතර සිටිති.

විද්‍යානුකූලව බලන විට සුදු සමක් ඇතිවනුයේ සමෙහි ඇති මෙලනින් වර්ණකය අඩු වැඩි වීම මතය. මෙලනින් වර්ණකය මගින් සූර්යයාගෙන් එන පාරජම්බුල කිරණින් සම ආරක්ෂා කරනු ලබයි. සුදු වීම සඳහා භාවිතා කරනු ලබන ක්‍රීම් වර්ග සහ අනෙකුත් දෑ මගින් කෙරෙනුයේ ද සමෙහි මෙලනින් අඩු කිරීමයි. එහෙත් මින් සමට සිදුවන්නේ අයහපතකි. සමෙහි පිළිකා ඇති කිරීම, අහිතකර ලප කැළැල් ඇතිවීම මෙමගින් සිදුවේ. සම සුදුවීමට හෙවත් සම පැහැපත්වීමට භාවිතා කරන ක්‍රීම් වර්ග මෙන්ම නොයෙකුත් එන්නත් හෝ පෙති වර්ගවලින් හෝ සිදුවන අයහපත් බලපෑම හේතුවෙන් හොඳ ප්‍රමිතියකින් යුක්ත ආලේපනයක් තෝරා ගන්නේ කෙසේද ප්‍රශ්නයක් මතුව තිබේ.

ඖෂධ නියාමන අධිකාරිය යනු මෙම ක්‍රීම් වර්ග සහ අනෙකුත් දෑ පිළිබඳ වගකියන ආයතනයකි. මෙම ආයතනයේ අධ්‍යක්ෂවරු 13ක් සිටිති. ඇමැතිවරයා යටතේ සිවු දෙනෙක් සිටින අතර මේ අය තෝරාගනු ලබන්නේ කමිටු හරහාය. මෙම කමිටු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි සකසා ඇත. වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥවරු, රේගුවේ නියෝජිතයන්, ITI ආයතනය, රජයේ විශ්ලේෂකයන්, ආයුර්වේද දෙපාර්තමේන්තුව ආදී සෑම ආයතනයක්ම නියෝජනය වේ. ආයතනයේ බලධාරියා වන්නේ ඇමැතිවරයාය. නමුත් ඖෂධ නියාමන පනතට අනුව ඇමැතිවරයාට කිසිදු තීරණයක් ගත නොහැකිය.

අදාළ තීරණ ගනු ලබනුයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිවය. ඖෂධ නියාමන කොමිසමේ අධ්‍යක්ෂවරු 13 දෙනා අතරින් එක් අයකු සෞඛ්‍ය ඇමැතිවරයා විසින් එහි සභාපතිවරයා වශයෙන් පත්කරනු ලබන අතර පරිපාලනය (administration), නීති (legal), ගිණුම් (Accounts) සහ ඖෂධ (medicine) යන අංශයන් හතරට අධ්‍යක්ෂවරු සිවු දෙනෙක් ඇමැතිවරයා යටතේ සිටිති. ආයතනයට කිසිම දේශපාලන පත්කිරීමක් සිදුකෙරෙන්නේ නැත.

පසුගිය දින 52 තුළ ආණ්ඩුවේ වෙනස්වීම් සිදුවුවද මෙම ආයතනයේ වෙනස්වීම් සිදුනොවීමෙන් ඒ බව පැහැදිලිය. මෙහි සියලු කටයුතු සිදු කරනුයේ ස්වාධීන ආයතනයක් ලෙසය. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයාට වගකියන ස්වාධීන ආයතනයක් ලෙස මෙම ආයතනය හැඳින්විය හැකිය. එමෙන්ම ඖෂධ නියාමන පණතද බොහෝ බලසම්පන්න පණතකි.

මෙම ආයතනයෙන් සිදු කෙරෙන එක් සේවාවක් ලෙස සියලුම විලවුන් වර්ග ශරීරයට හිතකර සහ අහිතකර වශයෙන් කොටස් දෙකකට බෙදා නියාමනය කොට ජනතාවට සුදුසු ද්‍රව්‍යයන් තෝරා වෙළෙඳපොළට යැවීම සඳහා සුදුසු තත්ත්ව සහතිකයක් නිකුත් කිරීම හැඳින්විය හැකිය.

ඖෂධ නියාමන නව පණත 2015 වසරේ සිට ක්‍රියාත්මක වන්නකි. එම පණතට පෙර ‘විලවුන්’ යටතට ගැනෙන ක්‍රීම් වර්ග ඇතුළු සියලු දෑ අයත් වුණු අතර එහිදී විලවුන් යටතේ සියලුම විලවුන් වර්ග නියාමනය වී තිබේ. නමුත් 2015 පණතට අනුව සියලුම විලවුන් වර්ග හැර ඖෂධීය ගුණයක් සහිත විලවුන් පමණක් නියාමනය වී ඇත. අනෙකුත් දෑ මේ පනතට අනුව නියාමනයක් සිදුවී නොමැත.

මෙම ක්‍රමය අවුරුදු 2ක් පමණ පැවති අතර ආසියානු රටවල් හැර බොහෝ රටවල, මෙම ක්‍රමය අනුගමනය කෙරේ. මෙම ක්‍රමය නිසා නොයෙකුත් ද්‍රව්‍යයන් නියාමනයක් නැතිවම ලංකාවට පැමිණ තිබේ. භාවිතයට නුසුදුසු ක්‍රීම් වර්ග ආදී නොයෙකුත් දෑ වෙළෙඳපොළට එකතු වී ඇත්තේ එහෙයිනි. 2017 වසරේ කමල් ජයසිංහ මහතා මෙම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව සියලුම විලවුන් වර්ග නියාමනය කළ හැකි පරිදි පණත් වෙනස් කොට සියලුම විලවුන් වර්ග නියාමනය කිරීමට හැකි පරිදි කටයුතු කරගෙන යන නමුත් ගෙවුණු දෙවසර තුළ වෙළෙඳපොළට පැමිණි අහිතකර ද්‍රව්‍ය පිළිබඳව එම ආයතනයට වගකිව නොහැකිය. එසේම ඒවා වෙළෙඳපොළෙන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වන්නේ නැත.

විලවුන් නියාමනය 2017න් පසුව ඇරඹීමත් සමඟ විදෙස් රටවලින් ගෙන්වනු ලබන සියලුම විලවුන් වර්ග රේගුව විසින් නවතා තබා ගනු ලබයි. ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබීමෙන් පසුව පමණක් ඒවා නිදහස් කෙ‍රේ. ඕනෑම අයකුට හෝ ආයතනයකට හෝ විදෙස් රටකින් ලංකාවට විලවුන් වර්ග ගෙන්වා ගැනීමට නම් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සහිත සහතිකයක් අවශ්‍ය වේ. එම අධිකාරිය මගින් අදාළ රටේ විලවුන් වර්ග පිළිබඳ ප්‍රමිතිය පරීක්ෂා කර බලා එහි ප්‍රමිතිය හොඳ තත්ත්වයේ තිබේ නම් සහතිකයක් නිකුත් කරනු ලබයි. රේගුව මගින් මෙම සහතිකය පරීක්ෂා කර බලා අදාළ භාණ්ඩ නිදහස් කරනු ලැබේ.

CDD (Cosmetics Device and Drugs Act) පණත යටතේ රෙගුලාසි කිහිපයකින් සමන්විතව නිෂ්පාදන ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියකියවිලි ඇති අතර එම රෙගුලාසි අනුව විදේශීය නිෂ්පාදන මෙරටට ගෙන්වීමටද එම රටේ පිළිගත් සෞඛ්‍ය ආයතනයක හෝ පිළිගත් රජයේ ආයතනයක ලියාපදිංචි වී සිටිය යුතුය. එම සහතිකයේ (Free Sales Certificate) මහජනයාට සුදුසු යැයි සහතික වී තිබිය යුතුය. අදාළ රටේ එම නිෂ්පාදන ද්‍රව්‍ය සඳහා ඇති තත්ත්ව සහතිකය එම විලවුන් වර්ග නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය පිළිබඳ විස්තර අනුව අදාළ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනු ලබන්නේ ඇයිද යන්නත් සොයා බලා ඖෂධ නියාමන අධිකාරිය විසින් සහතිකයක් නිකුත් කරනු ලැබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ඇතැම් රසායනික ද්‍රව්‍ය ශරීරයට සුදුසු මෙන්ම ඇතැම් ඒවා ශරීරයට අහිතකර ලෙස තත්ත්ව සහතික නිකුත් කරනු ලබයි. මේ සහතික නිකුත් කරනු ලබන්නේ මහාචාර්යවරු, විශ්වවිද්‍යාල ප්‍රජාව සහභාගි කොට ගෙන විද්වතුන් බොහෝ පිරිසකගේ එකඟතාවයකින් පසුවය. ලාංකිකයින්ට සුදුසු විලවුන් වර්ග හඳුනාගැනීම සඳහා විලවුන් ඇගයීමේ විද්වත් අනුකමිටුවට යොමු කරනු ලැබේ. ඖෂධවේදීන්, චර්ම රෝග පිළිබඳ විශේෂඥවරුන්, ආයුර්වේද කොමසාරිස්වරුන්, රජයේ රස පරීක්ෂක නියෝජිතයන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය සහ රේගු අධිකාරිවරු එම කමිටුවේ නියෝජනය වේ. කිසිම නියාමනයක් තනි පුද්ගලයකු විසින් සිදු කරන්නේ නැත. අධ්‍යක්ෂ ජනරාල්ට හෝ තනිවම නියාමනයක් කළ නොහැකිය. තනි තීරණයක් ගැනීමටද නොහැකිය.

ග්ලූටතයින් (Glutatheine) නමින් හැඳින්වෙන රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන පිළිබඳව පසුගිය සමයේ කතාබහක් ඇතිවිය. ග්ලූටතයින් හේතුවෙන් හම සුදුවන බව ඖෂධ නියාමන අධිකාරිය විසින් තවමත් තීරණය කොට නැත. එම නිසා ග්ලූටතයින් අඩංගු ආලේපන මගින් සම පැහැපත් වීම සහ සම සුදු වීම කෙරෙන බව පෙන්ව‍ා වෙළෙඳ ප්‍රචාර කිරීම නවත්වන්න යැයි එම ආයතනය මාධ්‍ය ඔස්සේ දැනුවත් කර තිබේ.

ජනතාවට සහතික කරන ආලේපනවල ආරක්ෂාව (Safety), ගුණාත්මක බව (Quality) පිළිබඳව ආයතනය ස්ථිර ලෙසම වගකියනු ලබයි. එසේම නියාමනයේදී ග්ලූටතයින් අඩංගු නිෂ්පාදන කිසිවක් මෙතෙක් හමුවී නොමැත.

වෙළෙඳ පොළේ ඇති ඇතැම් එන්නත් සහ පෙති වර්ග භාවිතා කිරීමෙන් සමට අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකිය. ඒවා භාවිත කර භාවිතය නැවැත්වූ විට සම කළුවේ, සමෙහි ලප ඇතිවේ. ඇතැම් නිෂ්පාදනවල රසදියද අඩංගු වේ. කුමක් හෝ ආලේපනයක් භාවිතා කොට සම සුදුකර ගැනීමට පෙර අපගේ ආයුෂ කෙටිකර ගන්නවාදැයි දෙවරක් සිතිය යුතුව ඇත්තේ එහෙයිනි. සිරුරට අනවශ්‍ය දෑ බොහොමයක් අද අප රටේ වෙළෙඳපොළට පැමිණ ඇත. නමුත් මිලදී ගැනීමකටම පෙර ඒවාට තත්ත්ව සහතික තිබේ දැයි සොයා බැලුවහොත් ශරීරය අකාලයේ මිලින නොවනු ඇත.

 

සටහන - චතුමී පිටිපන
ඡායාරූපය - රොෂාන් පිටිපන 


නව අදහස දක්වන්න