දක්ෂ ගුරුවරු ශාරීරික දඬුවම් දෙන්නේ නැහැ | දිනමිණ

දක්ෂ ගුරුවරු ශාරීරික දඬුවම් දෙන්නේ නැහැ

වෛද්‍ය තුෂ් වික්‍රමනායක
සභාපතිනි-ළමා හිංසනයට තිත සංවිධානය

සිසුවකුට පහර දුන් ගුරුවරියකට ලැබුණු දඬුවමක් පිළිබඳ ආන්දෝළනයක් මේ දිනවල පවතී.අධ්‍යාපනය ලැබිය යුතු වයසේ ශ්‍රී ලාංකික දරුවන් රැසක් පරිවාස බාරයේත් පුනරුත්ථාපන කඳවුරුවලත් පසුවන බවද පසුගියදා සඳහන්ව තිබුණි. දරුවන්ට එසේවන හේතුව කුමක් ද, ඊට විසඳුම කුමක් ද? අද එහා ඉවුර සාකච්ඡාවට ලක්කරන්නේ එයයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලැබිය යුතු වයසේ දරුවන් විශාල සංඛ්‍යාවක් පරිවාස භාරයේ නැතිනම් පුනරුත්ථාපන කඳවුරුවල ඉන්න බව සඳහන් වුණා. එහෙම වෙන්නෙ ඇයි?

අපි පළමුවෙන්ම හිතන්න ඕන ශ්‍රී ලංකාවේ දරුවකුට එරෙහිව ප්‍රචණ්ඩත්වයක් මුදාහැරි අවස්ථාවක දරුවාගේ මානසික තත්ත්වය ගැනයි. දරුවන්ට ලබාදෙන ශාරීරික දඬුවම් හේතුවෙන් ඔවුන් වැඩිවියට පත්වූ පසු මුහුණදීමට සිදුවන බරපතළ මානසික අතුරු අාබාධ ගැන අවධානය යොමු කරන්නත් ඕන. අද ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව ගැන කවුරුත් ගැඹුරින් හිතන බවක් පෙනෙන්න නෑ. සමාජය තුළ දරුවා ආරක්ෂා කළ යුතුයි කියන බරපතළ අවධානය තිබිය යුතු වුවත් ඒ තත්ත්වය නැහැ. පාසල තුළ වුවත් දරුවා හිංසනයට ලක්වන අවස්ථා අප්‍රමාණයි. පාලකයින් පළමුවෙන්ම බලන්න ඕන දරුවන්ට පාසල තුළ යහපත් මානසික මට්ටමක් ඇති කිරීමට පරිසරය නිර්මාණය කරන එකයි.

එහෙම නැතිව දරුවන්ට ටැබ් දීලා අධ්‍යාපනය ලබා දෙන්න තරම් ශ්‍රී ලංකාවේ මානව සමාජය දියුණු වෙලා නැහැ කියන තර්කය අපිට තියෙනවා. කරන්න ඕන වැඩ පැත්තකින් තියලා දේශපාලන අරමුණු වෙනුවෙන් දරුවන් මෙහෙයවනවා නම් ළමා හිංසනය පිටු දකින්න අමාරුයි. අද අධ්‍යාපනය ලැබිය යුතු වයසේ බොහෝ දරුවන් පුනරුත්ථාපන කඳවුරුවල නැතිනම් පරිවාස භාරයේ රඳවාගෙන ඉන්නෙ මේ හේතු නිසයි.

පාසල තුළ දී දඬුවම් නොකර විනය ආරක්ෂා කර ගත නොහැකි බව නිතර අසන්න ලැබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

'ශාරීරික දඬුවම් දීමකින් තොරව විනය පවත්වාගෙන යා නොහැකි නම් එයින් පිළිබිඹු කරන්නේ ගුරුවරයාගේ අදක්ෂභාවය' යනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය 2005 වසරේ නිකුත් කළ 'පාසල තුළ විනය ආරක්‍ෂා කිරීම' චක්‍රලේඛයේ සඳහන් කර තිබෙනවා. දරුවකුට එරෙහිව පාසල තුළ දී ප්‍රචණ්ඩත්වය මුදා හැරීමේ දී දරුවාගේ ආත්ම ශක්තිය හීනවෙලා යනවා. එහෙම වුණාම, වැඩිහිටියන්ට තියෙන ගරුත්වය, පාසල්වලට තියෙන ආදරය දරුවාගෙන් ගිලිහිලා යනවා. එහෙම දරුවකුට කාලයක් ගත වුණාට පස්සේ, තවත් දරුවකුට එරෙහිව දියත්වෙන ප්‍රචණ්ඩත්වයක් පෙනෙන්න ගන්නවා. එතකොට දරුවා තේරුම් ගන්නවා, තමන්ට මොනවා හරි දෙයක් වුණොත් ඊට එරෙහිව කෑගහන්න ඕන, නැත්නම් රණ්ඩු කරන්න ඕන කියලා. තමන්ට එරෙහිව එන ඕනෑම දෙයක් ඒ ආකාරයෙන් විසඳා ගන්න පුළුවන් කියන දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැඟෙනවා. ඊට පස්සේ දරුවා තමන්ට එරෙහිව එන ඕනෑම දේකට ප්‍රතිචාර දැක්වීම අයහපත් වෙන්න පුළුවන්.

ඔබ පවසන ආකාරයට දරුවන් වැඩි ප්‍රමාණයක් දඬුවම් ලබන හෝ පරිවාසගත වන්නේ මතුකරන කුඩා අවදියේ ඇතිවන තත්ත්ව මත ද?

මේක එක හේතුවක්. අනෙක් කාරණය තමයි නිවෙස. නිවෙසේ ඉන්න අය නිතර කලහකාරි ලෙස හැසිරෙනවා නම්, ඔවුන්ගෙන් දරුවාට නිරන්තරයෙන් හිංසාවක් වෙනවා නම් දරුවාට ඔය කියන තත්ත්වය ඇතිවීම ස්වාභාවිකයි. කලින් කිව්වා වගේ ප්‍රශ්නයකට විසඳුම රණ්ඩු කිරීම හෝ කලහකාරි වීමයි කියන විශ්වාසය දරුවා ගොඩනඟා ගත්තට පස්සේ වයස්ගත වීමත් සමඟ යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න පිහියක් අතට ගන්න පුළුවන්.

ඒක සාධාරණයි කියලා දරුවා හිතන්නේ කුඩා කලදී මුහුණ පාන්නට සිදුවුණ අත්දැකීම් එක්කයි. අනෙක් කාරණය තමයි කුඩා කාලෙදී තමන්ට පහර දුන්නත්, දණගැස්සුවත් කවුරුත් ඊට විරුද්ධ වුණේ නැත්තේ තමන් අවුරුදු 18ට අඩු නිසානේ කියන කාරණය ගැන හිතනවා. ඒ ආකාරයටම වයස අවුරුදු 18ට අඩු නිසා මම කාට හරි පිහියෙන් උත්තර දුන්නා කියලා මට විරුද්ධ වෙන එකක් නෑ කියලත් හිතනවා. එතකොට ඇතිවන දේවල් නිසා බොහෝ වෙලාවට පරිවාසයෙන් නතර වෙන්න පුළුවන්.

මේ තත්ත්වයට මුහුණ දෙන දරුවා ආරක්ෂා කිරීමට ගත යුතු පියවර කුමක් ද?

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන්න ඕනෑ. එතැන් සිට පහළට ඉන්න සියලු බලධරයින්, නිලධාරීන් දරුවන් ආරක්ෂා කරන්න පෙළගැහෙන්න ඕන. අපේ රටේ ව්‍යවස්ථාවේ 11වැනි වගන්තියේ පීඩනයෙන් තොර, ගෞරවාන්විත නිදහස් ජීවිතයක් ගත කිරීමට අයිතිය තියෙනවා කියලා සඳහන්. ඒක සෑම පුරවැසියකුටම වලංගුයි. ඊළඟට 12 වැනි වගන්තියේ තියෙනවා සෑම කෙනකුටම නීතිය එක හා සමානයි. ඒක සෑම කෙනකුටම එක හා සමානව ක්‍රියාත්මක විය යුතුයි කියලා. ශ්‍රී ලංකාවේ ඔය කියන නීති පද්ධතිය දරුවන්ට ක්‍රියාත්මක වෙන්නේ නෑ.

දරුවන් අයිතිවාසිකම් ඇති පිරිසක් කියලා අපේ රට හඳුන්වන්නෙ නෑ. ඒ නිසා තමයි දරුවකුට පාසල තුළ කවුරුහරි අඩන්තේට්ටම් කරනවිට මොකුත් නොකියා වැඩිහිටියෙක් දණ ගැස්සුවොත් මුළු රටම කැළඹෙන්නේ. එකම මානව හිමිකම ඇති සමාජ කොටස් දෙකකට නීතිය දෙයාකාරයි. අපි පිළිගන්නවා ද දරුවන්ට මානව හිමිකම් අයිතිවාසිකම් තියෙනවා කියලා. නෑ. දරුවකුට අයහපතක් වුණොත් අපි ඒක සාධාරණීකරණය කරනවා. ඒ විතරක් නෙවෙයි අපි ඒක අමතක කරලත් දානවා.

ඔබ කියන්නේ ලංකාවේ නීති පද්ධතියක් තිබුණත් එය ළමා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල ද?

ළමයින්ට විතරක් නෙවෙයි ලංකාවේ කාන්තාවන්ටත් අත්වෙලා තියෙන ඉරණම මේකම තමයි. ලංකාවේ කාන්තාවන් සහ දරුවන් කියන්නේ සමාජයේ අඩු මට්ටමක අවධානයක් ඇති පිරිසක්. අඩු වටිනාකමක් දී ඇති නිසාත්, සමාජ මට්ටමක් හිමි නොවන නිසාත් ලංකාවේ නීති පද්ධතියත් ගිලිහිලා. ඒ නිසා කාන්තාවන්ට සහ දරුවන්ට ඒ රැකවරණයක් ලැබෙන්නේ නෑ. මම ළමා සහ කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කරනකොට කියනවා මොළේ හොඳ නෑ කියලා. හැබැයි මම වගේම ඒ කාරණය ගැන පිරිමි කෙනෙක් කතා කළා නම් ඔහුට කියනවා ඥානවන්තයෙක් කියලා. එකම කාරණය කතා කරන කාන්තාවට හා පිරිමියාට ලංකාවේ සමාජය සලකන්නේ කොහොම ද? ඒ සලකන විදිහ නිසා තමයි ලංකාවේ දරුවන්ට හිංසා පීඩන වැඩි වෙලා තියෙන්නේ.

දණ්ඩ නීති සංග්‍රහය මඟහැරීමට කිසිවකුටත් බැහැ. එහෙම තත්ත්වයක් තිබිය දී ඔබ නඟන්නේ චෝදනාවක්?

දරුවන් සඳහා තියෙන නීති පද්ධතිය එකිනෙකට පරස්පරයි. අපේ දණ්ඩ නීතියේ 304/ඒ කණ්ඩයේ පැහැදිලිව තියෙනවා ළමයකුට ගැහුවොත්, යමක් කළොත් එය නීති විරෝධියි කියලා. ඊට හාත්පස වෙනස් දෙයක් 82වැනි කණ්ඩයේ කියනවා. අවුරුදු 12ට අඩු දරුවකුට හොඳ හිතින් ගැහුවොත් ඒක නීති විරෝධී නෑ කියනවා. එතනදී අවුරුදු 18 දරුවා අවුරුදු 12ට ගෙනත් තියෙනවා.

ඒ වගේම 341/1 කණ්ඩයේ සඳහන් වෙන්නේ පාසල තුළ ගුරුවරයෙක් ඇති තරම් ගැහුවත් හොඳ හිතින් ගහනවා නම් වරදක් නැහැ යනුවෙන්. මේ නීතිය සුද්දගෙ කාලේ නීතියක්. තවමත් අපි ඒ නීතිය අරගෙන යනවා. ඒ නිසා එක කණ්ඩායමක් දරුවා වෙනුවෙන් කතා කරනවා, අනෙක් කණ්ඩායම වැරැදිකරුවා ආරක්ෂා කරන්න කතා කරනවා. ඒ නිසා මේ නීති යාවත්කාලීන වෙන්න ඕන. දරුවාටත් මානව හිමිකම් ආරක්ෂා වෙන්න ඕන. ශ්‍රී ලංකාවේ නීතියෙන් දරුවා ආරක්ෂා වෙන්න ඕන කියන තැන අපි ඉන්නවා.

ළමා රක්ෂණ අධිකාරිය තියෙන්නේ මේ වගේ අකටයුතුකම් ගැන නීති ක්‍රියාත්මක කරන්න. එහි කාර්යය ගැන මොනව ද කියන්නේ?

ළමා හිංසනය හා ළමයින්ට එරෙහි කෲරත්වය මුදාහළ පැමිණිලි 300කට ආසන්න ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවට ළමා රක්ෂණ අධිකාරිය විසින් යොමු කරලා තියෙනවා. ඒත් නීතිපති දෙපාර්තමේන්තුව තවමත් ඒවායේ විමර්ශන අවසන් කරලා නැහැ. ඇයි එහෙම වෙන්නෙ? මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොම ද කියලා නීතිපති දෙපාර්තමේන්තුවට හිතාගන්නත් බෑ. ඊට හේතුව නීතියේ තියෙන විකෘතිභාවය.

ඒ විතරක් නෙවෙයි මේ අය නිතරම නිදි. මගේ දරුවාට සිදුවුණ දෙයක් සම්බන්ධයෙන් අදාළ ෆයිල් එකත් අවුරුද්දකට වඩා වැඩි කාලයක් තවම තියෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඇයි ප්‍රමාද කියලා ඇහුවම කියනවා අපිට මේ දවස්වල වැඩිපුරත් එක්ක දේශපාලනයට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා කියලා කියනවා. ඒවා කරනවා මිසක් ළමයින්ගේ ගැටලු ගැන හොයන්න, හිතන්න ඒ අයට වෙලාවක් නෑතිලු. දැන් කාට වුණත් හිතාගන්න පුළුවන් ලංකාවේ ළමයකුට තියෙන වටිනාකම කොයි තරම් ද කියලා. එහෙම නම් දරුවා නොමඟ යන එකට වගකියන්න ඕන කවුද කියලා හැමෝම තේරුම් ගන්න ඕන.

කොහොම නමුත්, ළමයකුගේ විනය පාලනය කරගන්නත්, යහපත් පුරවැසියෙක් කරගන්නත් දඬුවම් නොකර බෑ කියන මතයක් තියෙනවා?

ඒක සම්පූර්ණ වැරැදි විද්‍යානුකූල නොවන මතයක්. ලෝකයේ කරපු පර්යේෂණවලින් 250කට වඩා ළමා හිංසනයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් විනය පාලනය කරන්න බෑ කියලා තහවුරු වෙලා තියෙනවා. එකම පරීක්ෂණයකින්වත් ශාරීරික දඬුවමින් යහපතක් වෙනවා කියලා ඔප්පු වෙලා නැහැ. අද පරිවාසයට අරගෙන තියෙන ළමයි ප්‍රමාණය දිහා බලලා පුදුම වෙන්න දෙයකුත් නැහැ. අපේ රට යන මඟ හරිද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. අපේ සංවිධානය නීතිය වෙනස් වෙන්න ඕන කියන මතයේ ඉන්නවා. ඊළඟ කාරණය තමයි අපේ ආකල්ප වෙනස් විය යුතුයි කියන මතය. දරුවන් වැඩට ගන්න එක නතර කළේ නීතිය තද කරලා. එහෙම නම් අපි කියන්නෙ නීතිය තද වෙන්න ඕන. ඒ අනුව ධනාත්මක විනය පාලනය කියන්නෙ මොකක්ද කියලා ගුරුවරුන්ට, මවුපියන්ට අවබෝධ කර දෙන්න ඕන.

ඔබ සංවිධානය ළමා අයිතීන් වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත කුමක් ද?

කලින් කිව්වා වගේ ගුරුවරු මවුපිය දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතු වෙලා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අනෙක් පැත්තෙන් සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. ඒ හැම එකක්ම එක අරමුණක් වෙනුවෙන් රැස් කරගන්න ඕන. ඒ නිසා ඒ සිවිල් සංවිධානවලට ළමා අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. අපිට ජාතික වැඩපිළිවෙළක් තියෙනවා.

ඒක ජනාධිපතිතුමාට බාර දුන්නා. එතුමා ඒක පිළිගත්තා. ඒ අනුව අපි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ‘දරුවන් සුරකිමු, වැඩපිළිවෙළත් සමඟ යන වැඩපිළිවෙළක් කියලා ජනාධිපතිතුමා පිළිගත්තට, ජනාධිපති කාර්යාලයෙන් අපිට ලැබෙන සහාය තරමක් අඩුයි කියන එක මම ජනාධිතුමාට මතක් කරනවා. අපේ සංවිධානය එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂණ ප්‍රඥප්ති කමිටුවේ ඇගයීමට ලක් වුණා.

එදා අපි ඇගයීමට ලක් වෙනකොට ලංකාවට ඒ සංවිධානය රතු එළියක් නිකුත් කළා. සෑම අතින්ම ළමයින්ගේ සුබ සාධනය, ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාව, රජයක් හැටියටත්, පුරවැසියන් විදිහටත් අපොහොසත් කියලයි නිර්දේශ වුණේ. 2018 නිකුත් කළ රතු එළිය නැවත විශ්ලේෂණ කරන්නේ 2020 වසරේ. ඒ වෙනකොට ප්‍රගතියක් අත්කරගන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕන කියන තැන අපේ සංවිධානය ඉන්නවා විතරක් නෙවෙයි, අපි ඇප කැප වෙනවා. www.stopchildcruelty.com වෙබ් ලිපිනයෙන් අපේ සංවිධානය ගැන තොරතුරු අධ්‍යයනය කරන්නත් පුළුවන්.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - සරත් පීරිස්


නව අදහස දක්වන්න