තහ­න­මට ලක්වුණු ලෝ ප්‍රකට කාටුන් | දිනමිණ

තහ­න­මට ලක්වුණු ලෝ ප්‍රකට කාටුන්

කාටුන්වලට ඇබ්බැහි වුණු පොඩිත්තන් පමණක් නොව, වැඩිහිටියන් ද සිටී. වැඩිහිටියන් කෙසේ වෙතත්, පොඩිත්තන් කාටුන් නැරැඹීම විවාද සම්පන්න ය. දරුවන්ට කාටුන් නැරැඹීමට ඉඩදීම සීමා කළයුතු යැයි මතයක් ඇත. කාටුන් නිසා දරුවන්ගේ නිර්මාණශීලීත්වය මොට වන බව, ඒ මතයට පක්ෂපාතී බොහෝ දෙනෙක් පවසති. එවැනි මතයක් සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ නිකමටම නොවේ. ඒ බැව් පසක් වන්නේ, ලෝක ප්‍රකට ඇතැම් කාටුන්, තහනම් කිරීමට සමහර රටවල බලධාරීන් පියවර ගැනීම හේතුවෙනි. ලොව ඇතැම් රටවල් නිශ්චිත හේතු ඉදිරිපත් කරමින් තහනම් කරන ලද මේ කාටූන්, ඔබේ දරුවාත් නරඹනවාදැයි සොයා බලන්න.

 

1.විනී ද පූ (Winnie the Pooh)

මානව තත්ත්ව ආරෝපිත ටෙඩි බෙයාර් කෙනකු ගැන සඳහන් වන "විනී ද පූ" , නැත්නම් "පූ බෙයාර්" කාටූන් මාලාව නිෂ්පාදනය වන්නේ, ඉංග්‍රීසි ලේඛක ඒ.ඒ. මිලනේ රචනා කළ කෘතියක් පාදක කරගෙන ය. "විනී ද පූ" කෘති මාලාවේ පළමු වෙළුම නිකුත් කෙරුණේ 1926දී පමණ යැයි සඳහන් වේ. ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසක් නරඹා ඇති, අදටත් නරඹන "විනී ද පූ" කාටූනය, සිය රටේ රූපවාහිනී නාලිකාවල විකාශනය කිරීම චීනය තහනම් කර ඇත. එයට හේතුව වශයෙන් එරට බලධාරීන් දක්වන්නේ, කාටූනයේ ප්‍රධාන චරිතයත්, චීන ජනාධිපති ෂී පින්ජින්ග් මහතාත් අතර සාදෘශ්‍යයක් ඇති බවයි. ෂී පින්ජින්ග් ජනාධිපතිවරයාගේ චරිතයේ අඩංගු ඇතැම් ලක්ෂණ, "විනී ද පූ" කාටූනයේ සිටින වලසාගෙන් නිරූපණය වන්නේ යැයි සඳහන් වේ.

2. පෙපා පිග් (Peppa Pig)

"පෙපා පිග්" කාටූනය නිර්මාණය කෙරෙන්නේ බ්‍රිතාන්‍යයේ පෙර පාසල් දරුවන්ට නැරැඹිය හැකි කාටූන් මාලාවක් වශයෙනි. එය රටවල් 180ක් තුළ විකාශනය වී ඇති කාටූන් මාලාවකි. එසේ වුවත් "පෙපා පිග්" කාටූනය සිය රටේ රූපවාහිනී නාලිකාවලින් විකාශනය කිරීම ඔස්ට්‍රේලියාව තහනම් කර ඇත. ඊට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ, භයානක කෘමි විශේෂ සමඟ නොබියව කටයුතු කිරීමට, එමඟින් පෙලඹවීමක් ඇති කරන බව ය.

මකුළු විශේෂ 10,000කට අධික සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන බව, විද්‍යාත්මක වාර්තාවලින් අනාවරණය වේ. ඉන් ඇතැම් විශේෂ බෙහෙවින්ම විෂ සහිත බව කියැ වේ. මේ තත්ත්වය තුළ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕස්ට්‍රේලියා බලධාරීන් "පෙපා පිග්" කාටූනය සිය රටේ ප්‍රදර්ශනය කිරීමට රූපවාහිනි නාලිකාවලට වාරණයක් පනවා ඇත.

3. පොකෙමොන් (Pokemon)

"පොකෙමොන්" කාටූන් මාලාව ජපන් නිර්මාණයකි. මේ කාටූන් නිර්මාණය රටවල් 124ක් පුරා ව්‍යාප්තව ඇති බව සඳහන් වේ. කාටූන් මාලාවෙහි එක් අවස්ථාවකට, ඉතා දීප්තිමත් නිල් සහ රතු ආලෝකයක් නිකුත් වන දර්ශනයක් ඇතුළත් කර ඇත. එය හර්ට්ස් 12ක සංඛ්‍යාතයක් ද සහිත ආලෝක නිකුතුවකි. මේ අවස්ථාව මහත් ඕනෑකමින් නැරැඹු ලෝ පුරා දරුවන්ගෙන් හයසියයකට ආසන්න පිරිසක් රෝගී වී තිබේ. එම දරුවන්, ඇස් නොපෙනීම, වලිප්පුව වැනි රෝග තත්ත්වවලට සහ සිහි විසඥ වීම්වලට මුහුණ දී තිබේ. මෙකී රෝගය "පොකෙමොන් කම්පනය" (Pokemon Shock) වශයෙන් වෛද්‍යවරු හඳුන්වති. "පොකෙමොන්" කාටූන් මාලාව නැරැඹීම, දරුවන්ගේ සෞඛ්‍යයට හානිදායක බව වෛද්‍යවරු නිර්දේශ කළෙන්, එය සිය රටේ රූපවාහිනී සේවාවලින් විකාශය කිරීම ජපානය, තුර්කිය සහ ආරාබි ලීගය තහනම් කර ඇත.

4. ස්පොන්ජිබොබ් (SpongeBob)

අමෙරිකාව, "ස්පොන්ජිබොබ්" කාටූනය නිෂ්පාදනය කළේ, දරුවන් අතර ධනාත්මක චින්තනය ප්‍රචලිත කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ය. එය අධ්‍යාපනික වැදගත්කමක් ඇතිව නිර්මාණය වුණු කාටූනයකි. එහෙත්, රුසියාව, අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා රටවල් සහ ඔස්ට්‍රේලියාව, සිය රටවල රූපවාහිනි නාලිකාවලින් මේ කාටූනය විකාශනය කිරීම අද වනවිට තහනම් කර තිබේ. එකී තහනම, මේ වනවිට රටවල් 120ක් පුරා ව්‍යාප්තව ඇත. තහනම පනවන්නට මුල් වී තිබෙන්නේ, දරුවන් අතර ප්‍රචණ්ඩත්වය පැතිර වීමට මේ කාටූනය හේතුවන්නේ ය යන චෝදනාව නිසා ය. ඒ හැරුණු විට, කාටූනය තුළ අශ්ලීල භාෂා භාවිතයක් ඇතැයි චෝදනා එල්ල වී තිබේ. එමඟින්, තම රටවල අනාගත පරපුරේ චර්යා දූෂ්‍යය වීම මහත් විනාශයකට පදනමක් වන බව, කාටූනයට තහනම් පැන වූ රටවල බලධාරීහු පවසති.

5.ටේල්ස්පින් (TaleSpin)

අමෙරිකානු නිර්මාණකරුවන් නිෂ්පාදනය කළ "ටේල්ස්පින්" කාටූනය, පළමුවෙන්ම විකාශනය වුණේ 1990දී පමණ ය. මේ කාටූනය තහනම් කිරීමට පෙරමුණ ගත්තේ, අමෙරිකාව සහ ජපානයයි. පසුව මුළුමහත් ලෝකයාම එය විකාශනය කිරීම තහනම් කළෝ ය. දරුවන් තුළ නුසුදුසු මනෝභාව ඇති කිරීමට හේතුවන බැවින්, තහනම පැනවූ බව සඳහන් වේ.

6. ටොම් ඇන්ඩ් ජෙරී (Tom and Jerry)

අමෙරිකා නිර්මාණකරුවන් පිරිසක් අතින් 1940දී නිෂ්පාදනය කෙරුණු "ටොම් ඇන්ඩ් ජෙරී" කාටූන් මාලාව, ලොව බොහෝ දෙනකු අතර ප්‍රකට වූවකි. එහෙත්, අද වනවිට මුළු මහත් ලෝකයම පාහේ ඒ කාටූන් මාලාව ප්‍රතික්ෂේප කර ඇති බව ඔබ දන්නවාද? එක්දහස් නවසිය හතළිස් ගණන්වල අමෙරිකා ජීවිතය, මෙමඟින් නිරූපිත ය. දුම්පානය, මධ්‍යසාර, හානිකර ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රචණ්ඩත්වය, මේ කාටූනයේ දර්ශනවල අන්තර්ගත ය. සමහර ආඛ්‍යාන කපා හැර කාටූනය විකාශනය කිරීමට, ඇතැම් රටවල් වගබලා ගෙන තිබිණි. එහි අඩංගු අදහස් සහ දර්ශනවලින් දරුවන්ට හානියක් වන බව, මනෝවිද්‍යාඥයන් දිගින් දිගටම පෙන්වා දෙන්නට වූයෙන්, මුළු කාටූනයම පෙන්වීම නවතා දමන්නට බොහෝ රටවලට සිදු විය.

7. ද සිම්සන් (The Simpsons)

"ද සිම්සන්" කාටූන් මාලාව, අමෙරිකාවේ නිෂ්පාදනයකි. මේ කාටූනය මහජන ප්‍රදර්ශනය සඳහා පළමුවෙන්ම නිකුත් කෙරුණේ, 1989දී පමණ ය. මේ කතා මාලාව, ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ඉවහල් වේ යැයි චෝදනා නැඟෙන්නට විණ. ඒ හැරුණු විට, පවුල් සංස්ථාවේ වටිනාකම් අවතක්සේරු කිරීමකුත්, පුද්ගල චර්යා විසංවිධානය ප්‍රචාරය කිරීමකුත් මේ කාටූනය හරහා සිදු වන බැව්, විද්වත්හු පෙන්වා දුන්හ. සමහරුන් පවසන අන්දමට, ලොව ප්‍රකට චරිත සහ රටවල්වලට නිග්‍රහ කිරීමකුත් "ද සිම්සන්" කාටූන මාලාවෙන් සිදු වේ. මේ චෝදනා නිසා ඇතැම් රටවල් "ද සිම්සන්" කාටූන් මාලාවේ සමහර කොටස් නොපෙන්වා හිඳීමට පියවර ගත්තේය. බ්‍රසීලයේ නගරයක්, වනාන්තරයක් බවට පත් වන අන්දම එහි එක ආඛ්‍යානයකින් විදහා දැක්වේ. බ්‍රසීලය එකී ආඛ්‍යානය සිය රට තුළ පෙන්වීම තහනම් කළේ ය. මෙලෙස ඇතැම් ආඛ්‍යාන ප්‍රදර්ශනය තහනම් කළත්, සමාජයට කාටූනයෙන් වන හානිය නතර කිරීමට නොහැකි බැවින්, මුළු කාටූනයම ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටීමට, ලෝකයේ සෑම රටකම බලධාරීන් තීරණය කර තිබේ.

8. බීවිස් ඇන්ඩ් බට්-හෙඩ් (Beavis and Butt-Head)

1993 වසරේදී අමෙරිකාවේ නිර්මාණකරුවන් පිරිසක් නිෂ්පාදනය කළ "බීවිස් ඇන්ඩ් බට්-හෙඩ්" කාටූන කතා මාලාව නැරැඹීම ලෝකයා අත්හැර දැමුවේ, එමඟින් කිසිවක් ගත නොහැකි කාටූන් කතා මාලාවක් ලෙස නම් කරමිනි. විවිධ දෙයට ගිනි අවුළුවමින් සංතෝෂය විය හැකි අන්දම මේ මඟින් විස්තර කෙරේ. මේ කතාව නැරැඹු අමෙරිකාවේ පස් හැවිරිදි දරුවකු, තම සොයුරිය නිවෙස තුළ සිටියදීම නිවෙසට ගිනි තබා සංතෝෂ වන්නට උත්සාහ කර තිබුණේ ය. පුද්ගල චර්යා විසංවිධානයට හේතුවන මේ කතා මාලාව, මිනිසුන්ගේ යහපැවැත්මට හානිකර බැව් පිළිගැනුණි. ඒ නිසා, ලොව සෑම රටක්ම පාහේ රූපවාහිනී නාලිකාවලින් එය විකාශනය කිරීම තහනම් කර තිබේ.

9. ලූනේ ටියුන්ස් (Looney Tunes)

අමෙරිකාව නිර්මාණය කළ "ලූනේ ටියුන්ස්" කටූනය දරුවන්ට පෙන්වීමට නුසුදුසු කාටූනයක් බැව්, ලොව බොහෝ රටවල බලධාරීහු අද පිළිගනිති. ඒ නිසා, තම රටේ රූපවාහිනී නාලිකාවලින් එම කාටූනය පෙන්වීමට කිසිදු රටක් පියවර ගන්නේ නැත. බීර බෝතල් සොරකම් කර, ඒවා පානය කිරීමේ නරක පුරුද්ද, මේ කතා මාලාවේ ඇතැම් කොටස්වලින් නිරූපිත ය. නිර්මාණකරුවන්, කාටූනයෙන් එවැනි අශ්ලීල චර්යා පෙන්වීම නිසා, කුඩා දරුවන්ට දෙන්නට උත්සාහ කළේ කවර ආකාරයේ ආදර්ශයක් දැයි, එය විවේචනය කරන විචාරකයෝ ප්‍රශ්න කරති.

10. මිකී සහ ඩොනල්ඩ් ඩක් චරිත ඇතුළත් සියලු ම කාටුන

පින්ලන්තය, "මිකී සහ ඩොනල්ඩ් ඩක්" චරිත ඇතුළත් සියලු ම කාටුන සිය රටේ පෙන්වීම තහනම් කර තිබේ. එම තීරණය ගනු ලැබුවේ, එරට තරුණ කටයුතු පිළිබඳ හෙල්සින්කි කොමිසම ප්‍රකාශ කරන ලද කරුණු සැලකිල්ලට ගනිමිනි. ළමා අධ්‍යාපනය ඉතා විශිෂ්ට මට්ටමින් පවත්වාගෙන යන රටක් හැටියට, පින්ලන්තය ප්‍රකට ය. එරට ළමා අධ්‍යාපන විශේෂඥයන් පවසන්නේ, "මිකී සහ ඩොනල්ඩ් ඩක්" චරිත ඇතුළත් කවර ආකාරයේ කතා මාලාවක් වුව, අශ්ලීල රචනාවක් බව ය. එමෙන් ම, සමාජයේ පිළිගැනීමට ලක් නොවන ව්‍යාජ වටිනාකම් ප්‍රචාරය කිරීමට, මේ කාටූනය සමත් බැව් සමහරු පවසති.

11. ශ්‍රෙක් - 2 (Shrek - 2)

අමෙරිකා නිර්මාණකරුවන් පිරිසක් අතින් බිහිවුණු ශ්‍රෙක් කතා මාලාවේ දෙවැන්න සිය රට තුළ පෙන්වීම තහනම් කරන්නට, ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. එය, ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉඟි ලබා දෙන්නාවූත්, සමාජයේ ප්‍රකට චරිතවලට නිග්‍රහ කරන්නාවූත් නිර්මාණයක් හැටියට ඊශ්‍රායල බලධාරීහු නම් කරති.

අන්ත­ර්ජා­ලය ඇසු­රිනි
මංජුලා විජ­ය­රත්න

නව අදහස දක්වන්න