කෘත්‍රීම පෝෂක වෙනු­වට රට­ඉඳි | දිනමිණ

කෘත්‍රීම පෝෂක වෙනු­වට රට­ඉඳි

රටඉඳිවල සෞඛ්‍යමය වාසි රැසක් අන්තර්ගතව ඇත. ෆොසිල වාර්තා අනුව, වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි පැවත තිබේ. ලෝකය පුරා විවිධ ආහාර සඳහා භාවිත කරන රටඉඳි, වසර දහස් ගණනක් පුරාවටම මැදපෙරදිග සහ ඉන්දු නිම්නයෙහි ප්‍රධාන ආහාරයක් ලෙස භාවිතයට ගෙන තිබේ.

නිසියාකාරව ගබඩා කර, තෙතමනය රඳවා තබා ගත් විට, කෑමට ප්‍රියජනක වේ. වර්තමානයේ බොහෝ විට අපගේ ආහාරයට එක්කරගන්නේ, ස්වභාවිකවම ඉදුණු රටඉඳි නොව, මදක් පැසුණු ගෙඩි යන්ත්‍රානුසාරයෙන් තලා, සීනි එක්කොට සාදාගත් රටඉඳි ය. හොඳ ම රටඉඳි තද දුඹුරු පැහැයෙන් යුතු ය. පිට පැත්තේ පැණි ගතියකින් තොරවේ. එමෙන් ම, මිහිරි පැණි රසයකින් යුතු ය.

රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩනා අගනා ආහාරයකි. කෙට්ටු බව මට්ටු කරන්න, ගුණවත්ම ආහාරයක් ලෙස ද රටඉඳි සඳහන් කළ හැකි ය. දිනපතාම රටඉඳි කිහිපයක් ආහාරයට ගැනීම, පුෂ්ටිමත් බව වැඩි කර ගැනීමට හේතු වේ. ඛනිජ ලවණ සැලකිය යුතු ප්‍රමාණයක් ඇති නිසා, එය අස්ථි ශක්තිමත් කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් වැනි වේදනාකාරී රෝග පාලනය සඳහා වැදගත් වේ.

රටඉඳිවල තිබෙන කෙඳි ස්වභාවය නිසා, මළ පිරිසුදු කරන අතර, මුත්‍රා පීඩා දුරු කරයි. ශරීරයේ පිත්තාධික රෝග හා ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්නායු දුර්වලතා මඟ හරවා, කායික ශක්තිය වඩයි. ලිංගික දුර්වලතා මගහැරවීමට ගුණදායකයි.

රටඉඳිවල කොලෙස්ටරෝල් අවම ය. එහි, ඉතා සුළු වශ‍යෙන් මේදය අඩංගු වන නිසා, හෘදයට හිතකර වේ. දෛනික ආහාර වේලට, කුඩා ප්‍රමාණවලින් අනුභව කිරීම මඟින්, කොලෙස්ටරෝල් මට්ටම සමබරව තබා ගැනීම සහ බර අඩු කර ගැනීම සඳහා යොදා ගත හැකි ය.

මෙහි B1, B2, B3 සහ B5 වැනි විටමින් අඩංගු වන අතර, A1 සහ C වැනි විටමින් වර්ග ද අඩංගු වේ. දිනකට රටඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් ඔබට විටමින් අතිරේක ලබා නොගෙන සිටිය හැකි ය. මෙනිසා, රසවත්, ගුණවත් රටඉඳි, ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමට අමතක නොකරන්න.

 

යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න