රංග­නය කියන්නෙ උණක් | දිනමිණ

රංග­නය කියන්නෙ උණක්

V i r a j   P e r e r a

 

සිල්ලර සමනල්ලු බොහොම ජනප්‍රියයි. කාලයක් තිස්සෙ මියුසික් වීඩියෝවල පෙම්වතා විදිහට ප්‍රධාන චරිතය කළාට, මට ටෙලි නාට්‍යවල පෙම්වතා නොවී, වෙනස් චරිතයක් ලැබුණා. ඒක මට අභියෝගයක්. ඒ චරිතයෙන් මම සාර්ථක වෙලා තියෙනවා.

මම කැමැති ජනප්‍රිය නළුවා නෙමෙයි, දක්ෂ නළුවා කියන තැනටයි. එතැනට එන්න කරන්න ඕනෙ මොන විදිහෙ කැප කිරීමක්ද? ඒ දේ කරන්න මම සූදානම්. කලාකරුවා කියන්නෙ කාටවත් අයිති කෙනෙක් නෙමෙයි. කලාකරුවා නිර්මාණය කරන්නෙ, සොබාදහම, හුදී ජනයා වෙනුවෙන්. ඔවුන් සතුටු කරන්න. මටත් සොබාදහමෙන් එවැනි වරමක් ලැබිලා තියෙනවා.

 

රූප රචනා (මියුසික් වීඩියෝ) කලාව ශ්‍රී ලංකාව තුළ කොතරම් ජනප්‍රියද, ඔහු ද ඒ තරමටම ජනප්‍රිය ය. ශ්‍රී ලංකාවේ නිදපවූ මියුසික් වීඩියෝවලින් වැඩි ම සංඛ්‍යාවකට නිරූපණයෙන් දායක වී සිටින නළුවා වන විරාජ් පෙර්රා, අද වනවිට රංගනයට ද ප්‍රවිශ්ටව සිටී.

 

ඔබගේ කලා දිවියේ ඇරැඹුම පිළිබඳ කතා ක‍ළොත්?

මට මියුසික් වීඩියෝවකට පෙනී සිටින්න පළමු අවස්ථාව ලැබෙන්නේ මීට අවුරුදු තුනහමාරකට කලින්. මට ළහිරු මුදලිගේ ගෙ මියුසික් වීඩියෝවෙ නිරූපණයේ යෙදෙන්නෙ ඇරියුමක් කළේ, එරංග වනිගසේකර. එදා සිට මේ දක්වා මම, මියුසික් වීඩියෝ දෙසිය පණහක පමණ රඟපාලා තියෙනවා.

මේ තරම් වීඩියෝ සංඛ්‍යාවක නිරූපණය යෙදන්න හේතු වුණු කාරණා මොනවද?

මුල් කාලෙ මම තෝරාගැනීමක් කළේ නැහැ. මම මට ලැබූණ බොහෝ මියුසික් වීඩියෝවල වැඩ කළා. ඒ වගේම, මට ලැබුණු බොහොමයක් වැඩ අතහැරුණා. ඒකට හේතුව මම රැකියාවත් කරන කෙනෙක් නිසා, ඒවා කරන්න කාලය හොයා ගන්න අපහසු වීමයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගායක ගායිකාවන්ගෙන් සියයට හැත්තෑවකගෙ පමණ ගීතවල මම නිරූපණයේ යෙදිලා තිබෙනවා. ඒ වගේම, අලුත් පරම්පරාවෙ මියුසික් වීඩියෝවල පෙනී සිටින හැම නිළියක් එක්කම වාගේ මම වැඩ කරලා තියෙනවා. මට ඕනැම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්, නම්‍යශීලී මනුෂ්‍යයෙක් කියලයි මම හිතන්නෙ. මම මාසයකට මියුසික් වීඩියො අටක්, දහයක් අතර ප්‍රමාණයක පෙනී සිටිය මාස තිබුණා. ඒ වේගයටම මට වැඩත් ලැබුණා. ඒ හැම එකක්ම බාර අරෙගන කළා නම්, මේ වෙද්දි මට මේ සංඛ්‍යාව තුන්සියය ඉක්මවා යන්න තිබුණා.

ඔබගෙ අත්දැකීමට අනුව, මියුසික් වීඩියෝවල නිරූපණයෙ යෙදෙනවා කියන්නෙ සරල කාර්යයක්ද?

මේ දේ පහසු වැඩක් කියන්න අපහසුයි. ඒකට හේතුව, දෙබස් නැතිව මිනිත්තු තුනක්, තුනහමාරක් වගේ කාලයක් ඇතුළත, අපේ හැඟීම්වලින් තමයි කතාවක් පෙන්නුම් කරන්න වෙන්නෙ. එතැනදි ගීතයෙන් කියන්න හදන කතාව, රසිකයාට දනවන්න රඟපාන්නත් පුළුවන් වෙන්න ඕනැ. හින්දි, දෙමළ සිනමාව රසවිඳින්න මම දැඩි සේ යොමුවෙලා ඉන්න කෙනෙක්. ඒ වගේම, අන්තර් ජාලය හරහා අලුතින් එන හැම විත්‍රපටයක්ම, මියුසික් වීඩියෝවක්ම වාගෙ මම බලනවා. මට දමිළ භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. ජනප්‍රිය දමිළ නළුවන් වන වික්‍රම් ධනූෂ වැනි අයගේ රංගන උපක්‍රම මම හදාරනවා සහ අනුකරණය කරනවා. මේ නිරීක්ෂණ මඟින් මම හැඟීම් ඉදිරිපත් කිරීම හොඳට හදාගෙන තිබුණා . ඒ නිසා, මියුසික් වීඩියෝවල ඒ ඒ අවස්ථාවල දැක්විය යුතු දුක, සතුට එළියට දෙන්න මට පහසු වුණා.

ආරම්භයේ ඔබට පැවැති ඉල්ලුමම, අදත් පවතිනවා කියා ඔබ විශ්වාස කරනවද?

ඔව්. මට එදා තිබුණු ඉල්ලුම ම අදත් තිබෙනවා. මම පසුගිය සතියේ මංජුල පුෂ්පකුමාරගෙ ගීතයේ මියුසික් වීඩියෝවෙ නිරූපණය කරලා අවසන් කළා. ලබන සතියෙ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයගෙ අලුත් ගීතයේ වීඩියෝවෙ වැඩ බාර අරන් තියෙනවා. අලුත් අයගෙ ඒවා මම දැන් බලලා තමයි බාර ගන්නෙ . ඒකට හේතුව, මියුසික් වීඩියෝ රස විඳින්නෙ, එක්තරා සමාජ ස්ථරයක් විතරයි . ටෙලි නාට්‍ය මඟින් බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අතරට යන්න පුළුවන්. සිනමාව ගත්තහම, මේ කලාවේ මුදුන්මල්කඩ වගෙයි. මගෙ අරමුණ ඒ තැනට යෑමටයි . මේ වෙද්දි, මියුසික් වීඩියෝවල පෙනී සිටීම, මම ටික ටික අඩු කළා. වැඩිපුර පෙනෙන්න ගියහම, වැඩිපුර පේනවා කියලා අපට ටෙලි නාට්‍යවල වැඩ දෙන්නෙ නැහැ. ඔවුන් ඒකෙ අනෙක් පැත්ත හිතන්නෙ නැහැ. නිතර පේන්න ඉන්නෙ, මට වැඩිපුර මියුසික් වීඩියෝ ලැබුණු නිසානෙ. එහෙම වැඩ ලැබෙන්නෙ, අනෙක් අයට වඩා සාර්ථකව මට ඒ කාර්ය කරන්න පුළුවන් වුණු නිසා වෙන්නැති .

ටෙලි හා සිනමාව වගේම, මියුසික් වීඩියෝ කලාව තුළත් වෘත්තීය මට්ටමෙන් රැඳී සිටින් පුළුවන් ආර්ථික මට්ටමක් තියෙනවද?

ඔව්. වෘත්තීය මට්ටමෙන් කරගෙන යන්න පුළුවන්. මම මේ දේ කරගෙන යන්නෙ, වෘත්තීය මටට්මෙන්. ඒ වෙනුවෙන් මම සෑහෙන කැප කිරීමක් කරනවා. මේ මඟින් මුදල් හොඳට හම්බ කන්න පුළුවන් වගේම, අපිත් සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනැ. මගෙත් එක්ක මේ කලාවට ආව සමකාලීන නළුවො කිහිප දෙනෙක් හිටියා. එයාලා එක වීඩියෝවක පෙනී සිටින්න, රුපියල් අසූ දහස, ලක්ෂය වගේ මුදලක් ඉල්ලා සිටියා. මගේ තර්කය වෙන්නෙ, ඇයි අපි මෙච්චර ලොකු ගණන් කියන්නෙ? මේ කර්මාන්තය ශ්‍රී ලංකාවේ එච්චර දියුණු නැහැ. අලුත් කෙනෙක් බොහොම අමාරුවෙන් තමයි සල්ලි ටිකක් හොයාගෙන, මේ වගේ වීඩියෝවක් කරන්නෙ. අපි ඉහළ මිලක් කිව්වහම, ඒක සාධාරණ වෙන්නෙ නැහැ. මම රුපියල් විසිදහට, විසිපන්දහසට වැඩ කරලා තියෙනවා. මම අඩු ගානට වැඩ කරනවා කියලා, දෝෂාරෝපණයක් ආවා. ඒත්, මම ඒ ගැන එච්චර හිතුවෙ නැහැ. මගේ බිරිය විශේෂවේදි උපාධිධාරී ගුරුවරියක් වෙලා, මාසෙම මහන්සිවෙලා, ඇය ලබන වැටුප රුපියල් තිස් දහසයි. ඇය පාන්දර හතරහමාරට අවදි වෙලා, පාන්දර පහයි හතළිස් පහට ගෙදරින් යනවා. ඇය ආපහු ගෙදර එන්නෙ, හවස හයහමාරට. ඒ විදිහට ඇය මාසයක් එහෙම මහන්සිවෙලා, ඒ වගේ ගානක් නම් උපයන්නෙ, මම රුපියල් විසි දහසක් එක දවසෙන් හොයන එක ඇත්තටම සාධාරණයි කියලා මම හිතුවා . අතැම්විට, වීඩියෝවල මාත් එක්ක පෙනී සිටි නිළියන් මට වඩා වැඩි ගණනට වැඩ කරන්න ඇති. මට ඒක අදාළ නැහැ. මම මගේ ගණනට වැඩ කළා. ඒ නිසා, මට වැඩ ලැබුණා . මම මේ ක්ෂේත්‍රයේ අනෙක් අය එක්ක සහයෝගයෙන් වැඩ කරන විදිහ, මගේ සාධාරණ ප්‍රතිපත්තිය නිසා, ලැබෙන වැඩ ප්‍රමාණය වැඩි වුණා. මේ පසුබිම ඇතුළෙ මගේ නිර්මාණ සංඛ්‍යාව පනහ, සියය, දෙසියය, දෙසිය පනහා වුණා.

මේ දිනවල අතිශය ජනප්‍රිය 'සිල්ලර සමනල්ලු' හි, ඔබ වෙනස් ම චරිතයටක පිවිසිලා ඉන්නවා නේද?

මේ දවස්වල මම මගේ හතර වැනි ටෙලි නාට්‍යයේ වැඩ කරමින් ඉන්නවා. මම දැන් ටෙලි නාට්‍ය රංගනය පැත්තට ඇවිත් ඉන්නේ. සිල්ලර සමනල්ලු බොහොම ජනප්‍රියයි. කාලයක් තිස්සෙ මියුසික් වීඩියෝවල පෙම්වතා විදිහට ප්‍රධාන චරිතය කළාට, මට ටෙලි නාට්‍යවල පෙම්වතා නොවී, වෙනස් චරිතයක් ලැබුණා. ඒක මට අභියෝගයක්. ඒ චරිතයෙන් මම සාර්ථක වෙලා තියෙනවා.

ඔබ තවමත් සිනමා නළුවා කියන තැනට පැමිණ නැහැ නේද?

පහුගිය කාලෙ මම ඩී. වී. ඩී චිත්‍රපට කිහිපයකම රඟපෑවා. මේ වෙද්දි ඒකටත් විරාමයක් දීලා තියෙනවා. ඒකට හේතුව, ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් එක්ක අපට අනුගත වෙන්න වෙන නිසයි. ඩී. වී. ඩී. චිත්‍රපටවලින් වෙනත් පැතිවලට යන නිර්මාණනෙ වැඩියෙන් කෙරෙන්නෙ . ඒත්, හොඳ කලාකරුවන්ගෙන් ආපු ඩී.වී. ඩී චිත්‍රපටවල මම රඟපෑවා. මට චිත්‍රපට නොලැබුණා නෙමෙයි. හොඳ චිත්‍රපට කිහිපයටකට ඇරියුම් ලැබුණා . හැබැයි ඒ හැම චිත්‍රපටයකම මට තිබුණෙ, අඩ නිරුවත් චරිත. මට එවැනි මියුසික් වීඩියොත්, ඩී. වී. ඩී චිත්‍රපට ලැබුණෙ නැතිවා ම නෙමෙයි. අද ජනතාවගේ කැමැත්ත, ආකර්ෂණය ලබා ගන්න, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ කරනවනෙ. හැබැයි මම ඒකට සූදානම් වුණේ නැහැ. මම ඒ වගේ චරිත රඟපාන්නෙ නැහැ කියනවා නෙමෙයි. මම ඒ කැප කිරීම, නිර්මාණකරුවකුගේ හොඳ නිර්මාණයක් වෙනුවෙන් කරනවා.

ඔබ කැමැති දක්ෂ නළුවෙක් වෙන්නද? ජනප්‍රිය නළුවෙක් වෙන්නද?

මම කැමැති ජනප්‍රිය නළුවා නෙමෙයි, දක්ෂ නළුවා කියන තැනටයි. එතැනට එන්න කරන්න ඕනෙ මොන විදිහෙ කැප කිරීමක්ද? ඒ දේ කරන්න මම සූදානම්. කලාකරුවා කියන්නෙ කාටවත් අයිති කෙනෙක් නෙමෙයි . කලාකරුවා නිර්මාණය කරන්නෙ, සොබාදහම, හුදී ජනයා වෙනුවෙන්. ඔවුන් සතුටු කරන්න. මටත් සොබාදහමෙන් එවැනි වරමක් ලැබිලා තියෙනවා. ඒ නිසයි මම අදටත් කලාවෙ රැඳිලා ඉන්නෙ. මේ පසුබිම මගේ පවුලේ උදවිය තේරුම් අරගෙන තියෙනවා. මම හොඳ නිර්මාණයක් වෙනුවෙන්, වඩා යහපත් කලාකරුවෙක් වෙන්න කරන කැපවීමට, කවුරුවත් බැම්මක් දායි කියලා මම හිතන්නෙ නැහැ. මම තවමත් වෙනත් රැකියාවක් කරන නිසා, මම මේ ක්ෂේත්‍රයේ සිරවෙලා ඉන්නෙ. මම බොහොම හෙමින් යන්නෙ. කවදාක හරි මම මගේ රැකියාවට තිත තියනවා. ඒ, මම මේ ක්ෂේත්‍රයට අවශ්‍ය නළුවෙක් කියන තැනට පත් වුණාට පස්සෙයි.

නුවර පළාතෙ ඉපැදුණු ඔබ, කොළඹට ඇවිත් කලාව ජය ගැනීම දක්වා ගමන බොහෝදුරයිද?

මම ඉපැදුණේ නුවර. නළුවෙක් වෙන කැමැත්ත එදා ඉඳන් තිබුණට, කොළඹට එන්න අපට සල්ලි බාගෙ තිබුණෙ නැහැ. මම අනුරාධපුරේ, අම්පාරේ වගේ පළාත්වල රැකියාවක් කරලා, සල්ලි ටිකක් හොයාගෙන කොළඹට ආවෙ. මම පටන් ගත්තෙ, අලෙවි සහකරු කියන පුංචිම තැනින්. මේ වෙද්දි, සහකාර අලෙවි ප්‍රවර්ධන කළමනාකාරවරයෙක් විදිහට රැකියාව කරනවා. ටයි එකක් දාගෙන, රස්සාවක් කරන්න ජීවිතේට හිතුවෙ නැහැ. පොඩි කාලෙ ඉඳන් නළුකම තමයි ඔළුවෙ තිබුණෙ. මගේ තාත්තා, පොත්පත් කියවපු, කලාවට කැමැති කෙනෙක්. තාත්තට ඕන වුණේ, මා නළුවෙක් කරන්න. නාට්‍යයක් පෙන්වනවා කියලා දැන ගත්තොත්, තාත්තා ශාන්ත අන්තෝනි විද්‍යාලයෙ රංග ශාලාවට මා වඩාගෙන එක්කගෙන යනවා. අපට නාට්‍ය බලන්න ටිකට් ගන්න සල්ලිත් නැහැ. හැබැයි තාත්තා කොහොම හරි රංග ශාලාවට මා අරගෙන යනවා. නාට්‍ය ඉවර වෙන්න කලින් මාවත් වඩාගෙන එළියට එනවා. මට අද ඒ අතීතය මතක් වෙද්දි, මහා දුකක් දැනෙනවා. මගේ තාත්තා එදා දැකපු හීනය, මම හැබෑ කරලා තියෙනවා. ඒත්, දැන් තාත්තා අපි එක්ක නැහැ. තාත්තා පැවිදි වෙලා, භාවනානුයෝගී හිමි නමක් විදිහට ආරණ්‍යගත වෙලා ඉන්නෙ. පුතෙක් විදිහට මට කැමැතියි තාත්තට රස කෑම වේලක් දෙන්න. මගේ වාහනේ තාත්තා රවුමක් එක්ක යන්න. මගෙ හිතේ හැටියට තාත්තට සළකන්න. මම තාත්තට ආපහු එන්න කියා කිව්වා. භික්ෂුවටකට සිවුරක් හැරදාලා එන්න කියන එක, සමාජය පිළිගන්න නැතිව ඇති . ඒත්, ඒ මගේ තාත්තා. අපි මෙතැනට එන්න විඳපු දුක, අපේ ජීවිත ගැන දැකපු හීන දන්නෙ අපි විතරයි. ඒත්, තාත්තා ඒ ජීවිතයෙන් මිදිලා, අපි ළඟට ආයෙ එන්නෙ නැහැ.

ඔබේ බිරියත් කලා ලෝකයෙ ජනප්‍රිය කෙනෙක් නේද?

බිරිය චතූ විජේසිංහ. ඇය, වසර දහයක් විතර චන්න - උපුලි කලායතනයේ නර්ථන ශිල්පිනියක් විදිහට හිටියා. එයත් නුවර. මගේ පාසල්වියේ පෙම්වතිය ඇය. චතූ කැලණිය විශ්වවිද්‍යාලයේ නර්ථනය උපාධිය හදාරලා, දැන් ගලහ භද්‍රාවති මහා විද්‍යාලයේ උසස් පෙළ නර්ථන ගුරුවරිය විදිහට වැඩ කරනවා.

ආ මඟ දෙස ආපසු හැරී බලද්දි, ඔබ සෑහීමකට පත් වෙනවද?

මම කරලා තියෙන වැඩ ප්‍රමාණය, සංඛ්‍යත්මකව වැඩි වුණාට, මම තවම ඉන්නෙ පටන් ගත්ත තැනමයි කියලා මට හිතෙන්නෙ. රංගනය කියන්නෙ එක්තරා පිපාසයක්. සරල විදිහට කියනවා නම්, මේක එක්තරා උණක් . මම චරිතවලට පුදුමාකාර විදිහට කැමැත්තක් දක්වනවා. මම විවිධ චරිත කරන්න කැමතියි. ෂූටිං බල්නන කැමැතියි. මට හොඳට දමිළ භාෂාව කතා කරන්න පුළුවන් නිසා, දමිළ පුද්ලයකුගෙ චරිතයක්, භික්ෂූන්වහන්සෙ නමකගෙ චරිතයක් රඟපාන්න මම කැමැතියි. මට තවම සුනිල් ආරියරත්න, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයෙකාඩි, අශෝක හඳගම වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරු හමුවෙ නැහැ. ඔවුන් මා ගැන දන්නෙ නැහැ . මට ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි වගේ නළුවො එක්ක රඟපාන්න ලැබිලා නැහැ .මේ දේ බලද්දි, මම ඉන්නෙ බොහෝ පසුපසින්.

ධම්මිකා සුරංජි පති­රණ

නව අදහස දක්වන්න