රජුගේ තීරණය නිසා තායි රක්ෂ චාත් පක්ෂය දැඩි අපහසුතාවයක | දිනමිණ

රජුගේ තීරණය නිසා තායි රක්ෂ චාත් පක්ෂය දැඩි අපහසුතාවයක

 මහා වජිරලොන්කොන් රජු ගේ විරෝධතාව මත තායිලන්ත මහ මැතිවරණයේ අගමැති ධුරය සඳහා  උබොල්රතන මහිදොල් කුමරිය ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කිරීමත් සමග තායි රක්ෂ චාත් පක්ෂය දැඩි අපහසුතාවයකට පත් ව ඇති බව එරට දේශපාලන වාර්තා සඳහන් කරයි. 
 
ඇය දේශපාලනයට පැමිණෙන බවට වාර්තා වීමත් සමග තායිලන්තයේ දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් මුහුණුවරක් ගත්තේ දේශපාලනයෙන් දුරස්ව සිටීමේ තායි රජ පවුලේ සම්ප්‍රදාය මෙයින් නව මගකට පිවිසෙනු ඇති බවට ඇති වූ විශ්වාසයත් සමගිනි. 
 
එහෙත් තායිලන්ත රජ පවුලේ සාමාජිකයන් කිසිදු අවස්ථාවක දේශපාලනයට පිවිස නැති බවත්, එම සම්ප්‍රදාය දිගටම පවතිනු ඇති බවත් පෙන්වා දෙමින් මහා වජිරලොන්කොන් රජු සිය වැඩිමල් සොයුරිය අගමැති ධුර අපේක්ෂිකාව ලෙස නම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත. 
 
එසේම ඇය ‘තායි රක්ෂ චාත්’ පක්ෂය තම සොහොයුරිය අගමැති ධුර අපේක්ෂිකාවක ලෙස නම් කිරීමත් ඇගේ නම ලියාපදිංචි කිරීමටත් පියවර ගැනීම සම්බන්ධයෙන් රජු විසින් දැඩි විරෝධය දක්වා ඇත. 
 
මෙම ප්‍රකාශය රජුගේ අණක් ලෙස පිළිගනිමින් අගමැති ධුර අපේක්ෂිකාව ලෙස කුමරියගේ නම ඉවත් කර 
ගන්නා බවත්, අගමැති ධුරය වෙනුවෙන් වෙනත් සුදුස්සකු නම් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත් ‘තායි රක්ෂ චාත්’ පක්ෂය ප්‍රකාශ කරයි. 
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහිදොල් කුමරිය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.

නව අදහස දක්වන්න