කාර්මීකරණයට තාක්ෂණය ලබාදීමට අපි සූදානම් | දිනමිණ

කාර්මීකරණයට තාක්ෂණය ලබාදීමට අපි සූදානම්

දිනෙන් දින කාර්මීකරණය වන ලෝකය තුළ ලංකාවේ ගමන් මග ඊට සමගාමීව ඉදිරියට ගෙන යන්නට දේශීය කර්මාන්ත සංවර්ධනය කිරිම මෙන්ම නව කර්මාන්ත හඳුනාගෙන ඒවා නඟා සිටුවීම කළ යුතුය. ලංකාවේ කර්මාන්ත සංවර්ධනය කිරීමෙහිලා ප්‍රමුඛතම ආයතනය ලෙස ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හඳුන්වාදිය හැක. එහි තාක්ෂණික සේවා අංශය කර්මාන්ත සංවර්ධනය කෙරෙහි දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව අදහස් දක්වන අතිරේක අධ්‍යක්ෂ මොහාන් ගුණසිංහ මහතා,

"තාක්ෂණික සේවා අංශය මගින් අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන්නට අවශ්‍ය තාක්ෂණය ලබා දෙන අතර පවතින කර්මාන්ත වැඩිදියුණු කරන්නට අවශ්‍ය කටයුතුද සිදු කරනවා. අපේ අවධානය විශේෂයෙන්ම යොමු වන්නේ අපනයනය කළ හැකි නිෂ්පාදන කෙරෙහි මෙන්ම ආනයන ආදේශක ලෙස භාවිතා කළ හැකි නිෂ්පාදන කෙරෙහි. ඒ තුළින් විදේශ විනිමය උපයාගත හැකි වනවා සේම විදේශ රටවල් කරා ඇදී යන අපේ රටේ මුදල් රට තුළම රඳවා ගැනීමට හැකියාව ලැබෙනවා.

අප ආයතනය තුළ කෙටි කාලීන සහ දිගු කාලීන පාඨමාලා, එක්දින වැඩමුළු සහ සහතික පත්‍ර පාඨමාලා පවත්වාගෙන යනවා. මෙම පාඨමාලා අතර ආහාර, රසායන ද්‍රව්‍ය, තෙල් සහ කෙඳි, ගොඩනැඟිලි, පරිගණක ආදී අංශවලට විශේෂත්වයක් දක්වනවා. තාක්ෂණ සේවා අංශයට අනුබද්ධව රබර් සහ ලෙදර් සඳහා වෙනම අංශ පිහිටුවා තිබෙනවා. අපි විසින් පවත්වන පාඨමාලා සඳහා කිසිදු අධ්‍යාපන සුදුසුකමක්, වයස් මට්ටමක් හෝ මූල්‍යමය සුදුසුකමක් බලපාන්නේ නැහැ. පාඨමාලා ආරම්භ කරන කාලයට පුවත්පත් සහ අපගේ වෙබ් අඩවිය මගින් එහි විස්තර පල කරනවා. ඊට අමතරව අපේ දිස්ත්‍රික් කාර්යාල මගින් විස්තර ලබාගන්න පුළුවන්.

සෑම දිස්ත්‍රික්කයකම අපේ දිස්ත්‍රික්ක කාර්යාල පිහිටා තිබෙනවා. දිගු කාලීන පාඨමාලා පැවැත්වෙන්නේ අපගේ ප්‍රධාන ආයතනය පරිශ්‍රය තුළ නමුත් එක් දින සහ කෙටිකාලීන පාඨමාලා පිට ප්‍රදේශවලට අරගෙන යන්නට අපට හැකියාව තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රාජ්‍ය නොවන සංවිධාන ආදිය එවැනි පාඨමාලා සඳහා අපෙන් ඉල්ලීම් කරනවා."

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට අනුබද්ධව පිහිටා ඇති තාක්ෂණික සේවා අංශයෙන් ක්‍රියාත්මක වන පාඨමාලා අතර පානීය ජලය බෝතල් කිරීම, කුළුබඩු සැකසීම, අයඩීන් ලුණු නිෂ්පාදනය, පරිගණක දෘඨාංග සහ ජාලකරණය, පී එල් සී යන්ත්‍රෝපකරණ වැනි පාඨමාලා සඳහා වැඩි අවධානයක් යොමු කෙරේ.

තාක්ෂණ සේවා අංශයෙන් පුහුණුව ලබන පුහුණුලාභීන් ණය පහසුකම් ලබාදෙන අතර ලක්කම් ප්‍රදර්ශනාගාරය තුළ අලෙවි අවස්ථාද සලසා දී තිබේ.

"අපි විශේෂයෙන්ම කියන දෙයක් තමයි අලෙවි කරන්නට හැකි දෙයක් නිෂ්පාදනය කරන්න කියලා . තාක්ෂණය සහ අවශ්‍ය කරන මූලික ප්‍රතිපාදන ලබා දෙන්නට අපට හැකියාව තිබුණත් අලෙවි කර ගැනීම තමා විසින් සිදු කළ යුතු වෙනවා. පරිගණක දෘඪාංග සහ ජාලකරණය පාඨමාලාව හදාරන සියලු දෙනාටම පාහේ පාඨමාලාව අවසාන වන විට රැකියා අවස්ථා උදාවනවා. එයට හේතුව අප විසින් මාස හයක ප්‍රායෝගික පුහුණුවකට යොමු කරමින් ඔවුන් ආයතන සමග සම්බන්ධ කරවීම."

කර්මාන්ත සංවර්ධන මණ්ඩලයට අනුබද්ධ තාක්ෂණ සේවා අංශය ආයතනයක් වන නිසා අයකිරීම සාධාරණය. පුහුණු ගුරු මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන මෙම පාඨමාලා තුළින් නිවැරදි තාක්ෂණය සිසුන් තුළට බද්ධ කිරීම සිදුවේ. තමන් ඉගෙන ගන්නා විෂයය පිළිබඳව තවදුරටත් හදාරන්නට අවශ්‍ය කරන පුස්තකාලයක්ද ආයතනය තුළ ස්ථාපිතය. මෙම වසරේ මැද භාගයේ දී ආහාර ප්‍රතීක රසායනාගාරයක් ආරම්භ කිරීමටද තාක්ෂණ සේවා අංශය සැලසුම් සකස් කරමින් පවතී.

"බොහෝ තරුණ පිරිස් වැරදිවලට පෙළඹෙන්නේ නිසි මඟ පෙන්වීමකින් තොරව යහපත් ආර්ථික මට්ටමක් නැතිව අතරමං වීම තුළින්. අප ආයතනය තුළින් ඒ තත්ත්වය අවම කර තාරුණ්‍යයට සුදුසුකම් සහිත ව්‍යවසායකයන් බවට පත් වන්නට අවශ්‍ය අවබෝධය සහ දැනුම ලබා දෙමින් ඔවුන් නිවැරදි මාර්ගයට අවතීර්ණ කරනවා. මාසික වැටුපක් ලබන සේවකයකුට වඩා ව්‍යවසායකයකුට ඉදිරියට යන්නට ඇති අවස්ථා වැඩියි. ඔවුන්ට රැකියා අවස්ථා බිහි කිරීමටත් පුළුවන්කම තිබෙනවා." තවදුරටත් මොහාන් ගුණසිංහ මහතා එසේ අදහස් ප්‍රකාශ කළා.

දිල්රූ ජයසේකර

නව අදහස දක්වන්න