දුම්කොළ වෙනුවට ගම්මිරිස් අපනයන කෘෂිකර්ම නිලධාරීන් ඇගයේ | දිනමිණ

දුම්කොළ වෙනුවට ගම්මිරිස් අපනයන කෘෂිකර්ම නිලධාරීන් ඇගයේ

දුම්කොළ වගාව වෙනුවට විකල්ප ආර්ථික බෝගයක් ලෙස ගම්මිරිස් වගාව හදුන්වාදීමේ වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒ සදහා දායක වු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපහාර පිදීමේ උළෙලක් පැවැත්වීමට සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය කටයුතු යොදා ඇත. මෙම උපහාර උළෙල පෙබරවාරි මස 11 වන දින ප.ව. 1.30ට උඩදුම්බර ප්‍රාදේශිය සභාවේ තිස්ස අත්තනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ප්‍රතිපත්තිය හා ක්‍රියාකාරී වැඩපිළිවෙළ යටතේ දුම්කොළ වගාව වෙනුවට විකල්ප ආර්ථික බෝග හදුන්වා දෙන ලදී. එහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දුම්කොළ වගාව වෙනුවට විකල්ප ආර්ථික බෝගයක් ලෙස ගම්මිරිස් වගාව හදුන්වා දෙන ලදි. මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර හා තෙල්දෙණිය ප්‍රදේශවල දුම්කොළ වගාකරුවන් වැඩි පිරිසක් සිටින බැවින් එම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

දුම්කොළ වෙනුවට විකල්ප බෝග හදුන්වාදීමේ වැඩසටහන යටතේ දුම්කොළ වගාව වෙනුවට ගම්මිරිස් බෝගය වගා කිරිමේ වැඩසටහන 2017 වසරේ සිට 2020 දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිතය. මෙම වැඩසටහනේ මුලික අරමුණ වන්නේ ලංකාව තුළ දුම්කොළ භාවිතය අවම කරලීමයි. වර්ෂ 2020 වනවිට අක්කර 250ක් තුළ දුම්කොළ වෙනුවට විකල්ප ආර්ථික බෝගයක් ලෙස ගම්මිරිස් වගාව හදුන්වාදීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බලාපොරොත්තුවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මගින් ඒ සදහා ලබා දී ඇති මුදල රුපියල් ලක්ෂ 180 කි. ( මිලියන 18) එය උඩුදුම්බර හා තෙල්දෙණිය ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 185 දෙනෙක් සදහා ආයෝජනය කර තිබේ. එම ගොවීන් හට ජල ටැංකි. රෝපණ ද්‍රව්‍ය ආදිය ආයෝජන ආධාර ලෙස ලබා දි තිබේ. මේ වනවිට මෙම ප්‍රදේශයේ ඉඩම් අක්කර 155ක දුම්කොළ වෙනුවට ගම්මිරිස් වගා කර ඇත. එසේම වගා කිරීම සදහා ගොවියන්හට ගම්මිරිස් පැළ 105, 230 (එක්ලක්ෂ පන්දහස් දෙසිය තිහක්) ලබා දී ඇත. ව්‍යාපෘතිය ආරම්භ කොට වසර පහක් ගතවන විට අවම වශයෙන් රුපියල් ලක්ෂ 250ක ආදායමක් මෙම ගොවියන් හට උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතිය කෙටි කලකින් ඉතා සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු ඒ සදහා දායක වු දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇගයීමට ලක් කිරීම මෙදින පැවැත්වෙන උපහාර උළෙලේදී සිදු කෙරේ. මෙම උත්සවයේ විශේෂ ආරාධිතයින් ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න, කෘෂිකර්ම රාජ්‍ය ඇමති වසන්ත අළුවිහාරේ. අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ. පී. හීන්කෙන්ද සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමයේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරින් රැසක් සහභාගිවීමට නියමිතය.


නව අදහස දක්වන්න