ජනපතිගෙන් සමස්ත රාජ්‍ය සේවයට ආරාධනාවක් | දිනමිණ

ජනපතිගෙන් සමස්ත රාජ්‍ය සේවයට ආරාධනාවක්

මැතිවරණ වර්ෂයක් වන මෙම වසරේ දේශපාලනඥයන් තම තම මැතිවරණ සටන්වල නිරතව සිටින අතරතුර, රටක් ලෙස අප මෙම වසරේ ඉටුකරගත යුතුම අරමුණක් වන මෙරට ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් මෙම වර්ෂය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගැනීමට එකට එක්වන ලෙස ජනාධිපතිතුමා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි.
 
එසේ නොවුණහොත් රටක් ලෙස ආර්ථික වශයෙන් අපට මුහුණ දීමට සිදුවන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකට බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බව ද අවධාරණය කළේය.
 
එමෙන්ම රට මුහුණ දී ඇති ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගනිමින් යහපත් සමාජයක් සහ නීතිගරුක රටක් ගොඩනැගීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ ද කිසිසේත් පසුබෑමකට ලක් නොකළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමිනි.
 
දිළිදුකම පිටුදැකීම සහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කර ඇති ග‍්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ‍්‍රිතව පොදු ජනතා සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් කි‍්‍රයාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ 2019 ඉලක්ක පිළිබ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම සහා ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබිණි.
 
පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් සහ ආණ්ඩුකාරවරුන් මෙන්ම දැනට ක්‍රියාත්මකවන පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරු, සියල රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප‍්‍රධාන ලේකම්වරු, දිස්ති‍්‍රක් ලේකම්වරු, ප‍්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ ක්ෂේත‍්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.
 
ග‍්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය අද සාර්ථකව දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබේ. නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළින් දුගීබව තුරන් කර ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වය වන අතර මේ වසරේදී එය තවදුරටත් පුළුල් කිරීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. එම අරමුණ පෙරදැරිව මෙම පෙබරවාරි 18 වනදා සිට 24 වනදා දක්වා සතිය ග‍්‍රාමශක්ති ජාතික සතිය ලෙස ද ප‍්‍රකාශයට පත් කොට තිබේ.
 
එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහ, ජාතික පෝෂණ වැඩසටහන, ආබාධ සහිත සහ වැඩිහිටි පුද්ගලයන් සවිබල ගැන්වීමේ වැඩසටහන, සංස්කෘතික පුනර්ජීවන වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් පොදු ජන සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් කි‍්‍රයාවට නංවා තිබෙන අතර එම වැඩසටහන්හි කි‍්‍රයාකාරිත්වය මෙම වසරේදී තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂාවයි.
 
එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අනුව යමින් තිරසර සංවර්ධන අරමුණු ජයගත් සහ 2025 වන විට දිළිදුබවින් තොර ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේක්ෂාව පෙරදැරිව ජනාධිපතිතුමාගේ පූර්ණ මගපෙන්වීමෙන් මෙම ජාතික වැඩසටහන් කි‍්‍රයාවට නංවා තිබේ.
 
මෙම ජාතික වැඩසටහන් පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය යාන්ත‍්‍රණය තවදුරටත් දැනුවත් කරමින් 2019 නව ඉලක්ක සහිත වැඩපිළිවෙළ හඳුන්වාදීම අද පැවති හමුවේ දී සිදු විය.
 
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ 3‍්‍% ක – 4‍්‍%ක වැනි අඩු මට්ටමක පවතින මෙරට ආර්ථික වර්ධන වේගය දේශපාලන කරුණු හේතුවෙන් තවදුරටත් මෙම වසරේ දී පහළ වැටුණහොත් රටක් ලෙස නැගී සිටීමට එය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බවයි.
 
රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගනිමින් මිලියන 21 වූ ජනතාවට හොඳ ජීවන තත්ත්වයක් උදාකරදීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවීමෙන් වගකීම් ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය . එහිදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා ඉලක්ක සහගතව වැඩ කිරීම මෙන්ම ප‍්‍රතිපාදනවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමේ වැදගත්කම පැහැදිලි කළේය.
 
දැනට පුළුල් ලෙස දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් දැඩි නීති රීති කි‍්‍රයාත්මක කරනවා සේම ඊට ඇබ්බැහිවූවන් නිදහස් කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ද ඒ සමගම කි‍්‍රයාවට නංවන බවයි.
 
වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන ජාතික වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා පැමිණි සිටි පිරිස දැනුවත් කළේය.
 
මේ අතර ගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්ෂෝ යන්ත‍්‍රවල සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා සියලු යන්ත‍්‍රවලට අනිවාර්යයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ද ජනාධිපතිතුමා මෙහි දී ප‍්‍රකාශ කළේය.
 
ඒ අනුව එවැනි යන්ත‍්‍ර ළග තිබෙන පුද්ගලයන් මෙම පෙබරවාරි 15 වනදා සිට මාර්තු 01 වනදා දක්වා කාලය තුළ එය ළඟම තිබෙන පොලිසියට වාර්තා කළ යුතුය. සෑම පොලිස් ස්ථානයක්ම තම බලප‍්‍රදේශය තුළ එවැනි යන්ත‍්‍ර ළඟ තිබෙන පුද්ගලයන් පිළිබඳ නාම ලේඛනයක් පවත්වාගෙන යා යුතු අතර ඒ අනුව එම යන්ත‍්‍ර සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට පියවර ගැනේ.
 
බලපත‍්‍රයක් නොමැතිව එවැනි යන්ත‍්‍ර පරිහරණය කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම සියලු තීන්දු තීරණ රටේත් මතු පරපුරේත් යහපත වෙනුවෙන්ම බව කියා සිටියේ ය.

නව අදහස දක්වන්න